"සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති."
මුළු කයම දැනගනිමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි, මුළු කයම දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. මෙහි මුළු කය කියා දක්වා ඇත්තේ තමාගේ සම්පූර් ණ ශරීරය නොවේ. කය කියා දක්වා ඇත්තේ ආශ්වාස රැල්ල එක කයකි, ප්‍රශ්වාස රැල්ල තව කයකි. "කායඤ්ඤතරාහං ආනන්ද ඒතං වදාමි යදිදං අස්සාස පස්සාසා" යනුවෙන් බුදුරජාණන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස එක්තරා කයක් යැයි දේශනා කර ඇත. මෙම දේශනාවට අනුව ආශ්වාස ප්‍රශ්වාසය 'කය' කියා හඳුන්වන බව ඉතා පැහැදිලියි.
මුළු කයම දැනගැනීම යනු නාසිකා අග ආශ්වාසය ඇතිවන ආකාරයත්, පවතින ආකාරයත්, නැතිවී යන ආකාරයත් තේරුම් ගැනීමයි. ප්‍රශ්වාසය නාසිකා අගම ඇතිවන ආකාරයත්, පවතින ආකාරයත්, නැතිවන ආකාරයත් තේරුම් ගැනීමයි. මෙය ඉතා හොඳ අවධානයෙන් යුතුව, අවබෝධයෙන් යුතුව කළ යුතු දෙයකි.
බොහෝ දෙනෙකුට ආශ්වාසයෙහි ආරම්භය හිතට වැටහේ; පැවතීම හා අවසන් වීම නොවැටහේ. තව සමහර කෙනෙකුට ආශ්වාසය පවතින ආකාරය හෙවත් මැද කොටස වැටහේ; ප්‍රශ්වාසයත් එසේමය. තව කෙනෙකුට ආශ්වාසයෙහි අවසන් වීමත්, ප්‍රශ්වාසයෙහි අවසන් වීමත් පමණක් වැටහේ. බැවින් මුල, මැද, අග හෙවත් ඇතිවීම, පැවතීම, නැතිවීම යන තුන්තැනම දැනගනිමින් ඉතා සිහියෙන්, හොඳ අවධානයෙන්, නුවණින් ආශ්වාස රැල්ල විමර්ශනය කිරීම සඳහා පුහුණුවිය යුතුය. මෙය ආනාපානසතියේ සුවිශේෂී පියවරකි.