"රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති..."
ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරමින් යන විට "ආශ්වාස, ආශ්වාස" කියා කීප වතාවක් මෙනෙහි කළ නොහැකි නම්, කීප වතාවක් මෙනෙහි කිරීමට පෙර හුස්ම ඉහළට ගැනීම නොදැනී යනවා නම්, හෙවත් ආශ්වාස රැල්ල දැනී අවසන් වෙනවා නම්, "ආශ්වාස" කියා එක් වරක් පමණක් මෙනෙහි කළ හැකි නම් එය කෙටි ආශ්වාසයකි. ඒ බව දැනගන්න. "කෙටි ආශ්වාසයක්" කියා මෙනෙහි නොකරන්න; දැනගැනීම් මාත්‍රයම ප්‍රමාණවත්ය.
හුස්ම පහළට හෙළන විට "ප්‍රශ්වාස, ප්‍රශ්වාස" කියා කීප වතාවක් මෙනෙහි කළ නොහැකි නම්, "ප්‍රශ්වාස" කියා සිතන විටම ප්‍රශ්වාස රැල්ල දැනී අවසන් වේ නම් එය කෙටි ප්‍රශ්වාසයකි. ඒ බව දැනගන්න. "කෙටි ප්‍රශ්වාසයක්" කියා මෙනෙහි නොකරන්න; දැනගැනීම් මාත්‍රයම ප්‍රමාණවත් වේ.
විශේෂ අවවාදය
ආනාපානසති භාවනාව වැඩීමේදී මුලින්ම කළ යුත්තේ ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කිරීමට පුහුණුවීමයි. භාවනා කරන අවස්ථාවලදී තමාගේ සිතට එන පංච නීවරණ ධර්මයන් මගහරවා ගන්නා ආකාරය ඉහත දක්වන ලදී. ඒ ආකාරයෙන් පංච නීවරණ මගහරිමින් ද, තමන්ට සිතෙන දේවල් කරන්නට නොගොස් ඒවා මෙනෙහි කර අතහරිමින් ද ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීම දිගටම කරගෙන යා යුතුය.
මෙසේ මෙනෙහි කිරීම වෙන දෙයකට සිත නොගොස් විනාඩි දහයක් පහළොවක් පමණ කරන්නට පුළුවන් නම් එය හොඳ ප්‍රවණතාවයකි. ඒ මට්ටමට සිත සකස් කිරීම සඳහා සති කීපයක් හෝ මාස කීපයක් හෝ ඉවසා සිටීමට සිදුවේ. ඉවසීමෙන් භාවනා කිරීමට සිදුවේ. කොපමණ කලක් ගියත් ඒ මට්ටම දක්වා සිත සකස් කරගන්නා තෙක් දීර් ඝ ආශ්වාස, දීර් ඝ ප්‍රශ්වාසය හා කෙටි ආශ්වාස, කෙටි ප්‍රශ්වාසය දැනගැනීම සඳහා අවධානය යොමු නොකරන්න.