පොත් ලැයිස්තුව

ආනාපානසති කමටහන වැඩීම සහ දීර්ඝ හුස්ම හඳුනාගැනීම

star_outline

​ආශ්වාස ප්‍රශ්වාසය නිරීක්ෂණය කරමින් වෙනත් අරමුණුවලට සිත යා නොදී, පෙර සඳහන් කළ පරිදි වෙනත් අරමුණු මගහරිමින් දිගටම භාවනා කිරීම කළ යුතුය. භාවනා කිරීම හැඳින්වීම සඳහා 'කමටහන වැඩීම' යන වචනය භාවිතා කරයි. ආනාපානසති කමටහන වඩන විට වෙනත් දේවල් සිතන්නට යාමෙන් හා ඉරියව් වෙනස් කරන්නට යාමෙන් සිත දමනය කර ගැනීම අපහසු වේ. එබැවින් පෙර සඳහන් කරන ලද අවවාද අනුශාසනා තුළ මනාව පිහිටා ඉතා හොඳින් භාවනා කිරීම කළ යුතුය.

​"දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති..."

​පෙර සඳහන් කළ පරිදි ආනාපානසති භාවනාව වඩන විට "ආශ්වාස, ආශ්වාස, ආශ්වාස" කියා කීප වතාවක් මෙනෙහි කළ හැකිනම් එය දීර් ඝ වූ ආශ්වාසයකි. ඒ බව දැනගත යුතුයි. එහෙත් "දීර් ඝ ආශ්වාසයක්, දීර් ඝ ආශ්වාසයක්" කියා මෙනෙහි කිරීම නොකළ යුතුයි; දැනගැනීම් මාත්‍රය පමණක් ප්‍රමාණවත්ය. හුස්ම පහළට හෙළන විට "ප්‍රශ්වාස, ප්‍රශ්වාස, ප්‍රශ්වාස" කියා කීප වතාවක් සිතන්නට පුළුවන්නම් එය දීර් ඝ ප්‍රශ්වාසයකි. ඒ බව දැනගත යුතුය. "දීර් ඝ ප්‍රශ්වාසයක්, දීර් ඝ ප්‍රශ්වාසයක්" කියා මෙනෙහි නොකළ යුතුය; දීර් ඝ ප්‍රශ්වාසයක් බව දැන ගැනීම ප්‍රමාණවත්ය.

​ආනාපානසතිය වඩන කෙනෙකුට "තමාගේ සිත තබා ගත යුත්තේ කොහේද? කොතැනද? කිනම් ස්ථානයකද?" මෙබඳු ප්‍රශ්න යෝගාවචරයන්ට ඇත. ඔවුන් සැබවින්ම සිත තබාගත යුත්තේ කම්මට්ඨානාභිමුඛවය (කමටහනට අභිමුඛ වන පරිදිය). තවත් සරලව කීවොතින් ආනාපානසතියේ කමටහන ආශ්වාස ප්‍රශ්වාසයයි. ඔබ සිත තබාගත යුත්තේ ආශ්වාස ප්‍රශ්වාස තුළය.

​මෙනෙහි කරන විට "ආශ්වාස, ආශ්වාස, ආශ්වාස" කියා සහ "ප්‍රශ්වාස, ප්‍රශ්වාස, ප්‍රශ්වාස" කියා මෙනෙහි කළ යුතුය. මෙනෙහි කරන්නේ හුස්ම රැල්ල දැනෙන්න පටන් ගත්ත මොහොතේ පටන් දැනීම අවසන් වන තෙක් පමණි. නාසිකා අග ආශ්වාසය ඇතිවී, පැවතී, ගෙවී යයි. නාසිකා අගම ආශ්වාසය දැනී අවසන් වන තෙක්ම එය මෙනෙහි කිරීම කළ යුතුය. මෙනෙහි නොකර සිටින විට අලස බව, කම්මැලිකම ඇති වේ; වීර් ය අඩුවී යයි.