එසේ භාවනා කරමින් සිටින විට ඔබගේ සිත ඔබ කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර් ශ යන අරමුණු වෙත ගමන් කළ හැකිය. තමාගේ සිත කැමති අරමුණු වෙත ගමන් කළ ආකාරය දැනේනම් "කාමච්ඡන්දයක්, කාමච්ඡන්දයක්" කියා කීප වතාවක් සිතා එය අතහැර දමා නැවත භාවනාවේ යෙදෙන්න.
යම් අවස්ථාවකදී සිත තුළ වෛරයක්, තරහක්, අකමැත්තක් උපදවන අරමුණක් සිහිපත් වේ නම් එම අවස්ථාවේදී "ව්‍යාපාදයක්, ව්‍යාපාදයක්" කියා කීප වතාවක් සිතා එම ව්‍යාපාද අරමුණ අතහැර භාවනා කිරීමෙහි නිරත වන්න.
භාවනා කරන විට නිදිමත, අලස බව, කම්මැලිකම, එපාවීම, නොරුස්සනා ස්වභාවය, භාවනාවෙහි නොඇලීම ආදී ථීනමිද්ධයට අයත් ස්වභාවයක් ඇතිවේ නම් "ථීනමිද්ධය, ථීනමිද්ධය" කියා කීප වතාවක් සිතන්න. එසේ සිතා එම අරමුණ අතහැර දමා නැවත භාවනා අරමුණ තුළ සිත පිහිටුවන්න.
භාවනාවේදී ඇතිවන බාධා හඳුනාගෙන ඒවා පාලනය කිරීම
භාවනා කරන අවස්ථාවේදී සිත නොයෙක් නොයෙක් අරමුණු වෙත ගමන් කරයි නම් එය උද්දච්චය නම් වේ. එම අවස්ථාවලදී "උද්දච්චය, උද්දච්චය" කියා හෝ "සිතේ විසිරීම, සිතේ විසිරීම" කියා හෝ කීප වතාවක් මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරමින් එම අරමුණු අතහැර දමා භාවනා අරමුණ වෙත සිත යොමු කරන්න. භාවනා අරමුණ තුළම සිත රඳවා ගන්න.
"මම මේ කරන භාවනාව යහපත්ද, අයහපත්ද, හරිද, වැරදිද, ඵල ලැබේද, නොලැබේද?" මෙබඳු සැක සංකා ඇතිවිය හැකිය. එබඳු අවස්ථාවලදී "විචිකිච්ඡාවක්, විචිකිච්ඡාවක්" කියා හෝ "සැකයක්, සැකයක්" කියා හෝ කීප වතාවක් සිතන්න. එසේ සිතා එම අරමුණ අතහැර දමන්න. නැවත භාවනා අරමුණට සිත යොමු කරමින් භාවනාවෙහි නිරත වන්න.
භාවනාවේදී ඇතිවන කායික හා මානසික චලනයන් පාලනය කිරීම
භාවනා සිදුකරන තැනැත්තා 'යෝගාවචරයා' යන නමින් හඳුන්වනු ලබයි. භාවනා කරන යෝගාවචරයාට සමහර අවස්ථාවලදී අත දිගහැරීමට සිතෙයි. එවිට "අත දිග හරින්නට සිතෙනවා, අත දිග හරින්නට සිතෙනවා" යනුවෙන් කීප වතාවක් සිතා එම අරමුණ අතහැර දමා භාවනා කළ යුතුය.
පාදය දිගහැරීමට සිතන විට "පාදය දිග හරින්නට සිතෙනවා, පාදය දිග හරින්නට සිතෙනවා" යනුවෙන් කීප වතාවක් සිතා එම අදහස අතහැර භාවනා කළ යුතුය.
නැගිටින්නට සිතෙනවා නම් "නැගිටින්නට සිතෙනවා, නැගිටින්නට සිතෙනවා" යනුවෙන් සිතා එම අරමුණ අතහැර දමා භාවනා කළ යුතුය.
ඇස් අරින්නට සිතෙනවා නම් "ඇස් අරින්නට සිතෙනවා, ඇස් අරින්නට සිතෙනවා" යනුවෙන් සිතමින් එම අරමුණ අතහැර දමා භාවනාවම දිගටම කරගෙන යා යුතුය.
භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී සිතන දේවල් නොකළ යුතුය. හිතෙන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම කීප වතාවක් මෙනෙහි කරමින් ඒ අරමුණු, ඒ සිතුවිලි අතහැර දමා භාවනා කිරීම කළ යුතුමය.