පොත් ලැයිස්තුව

ආනාපානසති භාවනාව

star_outline

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස….

ආනාපාන සති යස්ස පරිපුණ්ණෝ සුභාවිතා

අනුපුබ්බේන පරිචිතා යථා බුද්ධේන දේසිතා

සෝ ඉමං ලෝකං පභාසේති

අබ්භා මුත්තෝව චන්දිමාති

මේ ආනාපානසති භාවනාව ගැන සඳහන් වන ගාථාවකි.

​ආනාපානසති භාවනාව පිළිබඳව විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථවල ඉතා දීර්ඝ විස්තර දක්නට ලැබේ. එහෙත් මෙහිදී ඉතා සරල ලෙස පහසුවෙන් ආනාපානසතිය වඩන ආකාරය ලියා දක්වනු ලැබේ. දීර් ඝ විස්තර විසුද්ධි මාර්ගය වැනි පොත්පත් ඇසුරු කරමින් කියවා දැන ගැනීම ඉතා යහපත්ය.

​පළමුවෙන්ම අත් පා ආදිය සෝදා, දහඩිය ගඳ ආදිය ඉවත් වන සේ කය පිරිසිදු කරගන්න. දුගඳ හමන්නේ නැති පිරිසිදු ඇඳුමකින් සැරසෙන්න. තෙරුවන් වන්දනා කොට භාවනා කිරීම සඳහා පහසුවෙන් වාඩිවෙන්න. පිරිමි පාර්ශ්වය සඳහා පර් යංකයෙන් වාඩිවීමත්, කාන්තාවන් සඳහා කකුල් නමා ඒ මත වාඩිවීම හෝ අර්ධ පර් යංකයෙන් වාඩිවීම ඉතා යහපත්ය.

​දැන් කෙටියෙන් තෙරුවන් වන්දනා කිරීම, තෙරුවන් උදෙසා ජීවිතය පූජා කිරීම, තෙරුවන් සමා කර ගැනීම, ආර් යන් වහන්සේලාට, කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට, ගුරු උතුමන්ට වන්දනා කිරීම, ඔවුන්ට වරදක් සිදුවූවා නම් සමා කර ගැනීම කළ යුතුය.

​ඉන්පසු කෙටි වේලාවක් බුදුගුණ, මෛත්‍රිය, අසුභය, මරණ සතිය සිහි කරනු. ඉන්පසුව හුස්ම වෙත සිත යොමු කරන්න. එවිට හුස්ම ඉහළ පහළ යන ආකාරය ඔබට දැනෙනු ඇත. එසේ නොදැනේ නම් සිතා හුස්ම ඉහළට ගන්න. සිතමින් හුස්ම පහළට හෙරන්න. එසේ කීප වතාවක් කිරීමෙන් හුස්ම ගැන දැනුම ඔබට ඇති වේ.

​දැන් හිතා උත්සාහයෙන් යුතුව හුස්ම ගැනීම නවත්වන්න. ස්වාභාවිකව හුස්ම ක්‍රියාත්මක වීමට ඉඩ හරින්න. හුස්ම වෙතට අවධානය යොමු කරන්න. හුස්ම හොඳින් නිරීක්ෂණය කරන්න. හුස්ම ඉහළට ගමන් කරන විට "ආශ්වාස, ආශ්වාස, ආශ්වාස" කියා කීප වතාවක් සිතන්න. හුස්ම පහළට යන විට "ප්‍රශ්වාස, ප්‍රශ්වාස, ප්‍රශ්වාස" කියා කීප වතාවක් සිතන්න. වෙන කිසිම දේකට සිත යොමු කරන්නට එපා. ආශ්වාස ප්‍රශ්වාස තුළම ඔබගේ සිත රඳවා ගන්න.