උපසමානුස්සතිය වඩන යෝගාවචරයාගේ සිත තුළින්, භාවනාව වඩන අවස්ථාවේදී රාග, ද්වේෂ, මෝහ ආදියෙන් ඇතිවන පීඩාවන් සංසිඳීමට පත්වෙයි. උපසමය අරමුණු කරගෙනම සිත සෘජු බවට පත්වෙයි. බුද්ධානුස්සති ආදී භාවනාවන්හි සේම පංච නීවරණයෝ තාවකාලිකව යටපත් වීම හෙවත් විෂ්කම්භනය වීම සිදුවේ. ධ්‍යාන අංග උපදී. උපසම ගුණය ඉතා ගැඹුරු බැවින් ද, නොයෙක් නොයෙක් ගුණ සිහි කළ යුතු බැවින් ද ධ්‍යාන සමාධි නොලැබෙයි; උපචාර සමාධිය පමණක්ම ලැබෙයි. උපසම ගුණය සිහිකරන බැවින් මෙය "උපසමානුස්සතිය" යි කියනු ලැබේ.
එසේම මෙම භාවනා ක්‍රමය මාර්ගඵල ලැබූ ආර්ය ශ්‍රාවකයන්ටම ඉතා සාර්ථක වන්නේය. පෘථග්ජන පුද්ගලයන් විසින් ද මෙය මෙනෙහි කළ යුතුය. එසේ මෙනෙහි කිරීමෙන් ඇසීම් වශයෙන් ද, සිහිකිරීම් වශයෙන් ද නිවන කෙරෙහි සිත පැහැදීමට පත් වන්නේය.
උපසමානුස්සතිය වඩන කල්හී එහි ලැබෙන ආනිසංස වශයෙන්:
සුවසේ නිදන්නේය.
සුවසේ අවදි වන්නේය.
සන්සුන් ඉඳුරන් ඇති කෙනෙකු වන්නේය.
සන්සුන් සිතක් ඇති කෙනෙකු වන්නේය.
පව කෙරෙහි ලැජ්ජා භය උපදින්නේය.
තෙරුවන් කෙරෙහි ප්‍රසාදය උපදින්නේය.
ඉතා උසස් වූ ප්‍රණීත අදහස් ඇති කෙනෙක් වන්නේය.
තමා සමඟ සිටින මිතුරන්ට ගරු සම්භාවනීය කෙනෙක් වන්නේය.
අනාගතයෙහි චතුරාර්ය සත්‍යය අවබෝධ නොකළේ නම්, මරණින් මතු සුගති පරායන වන්නේය.