උදය මානවකයා චතුර්ථ ධ්‍යාන ලාභී කෙනෙකි. ඔහු බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ, ප්‍රඥාවෙන් වැටහෙන ආකාරයෙන් මිදීම පිළිබඳව විමසයි. හෙවත් විමුක්තිය හා විමෝක්ෂය ගැන ඔහු අසයි. ඔහු අසන්නේ අවිද්‍යාව බිඳ දැමිය හැකි විමෝක්ෂයක් පිළිබඳවයි. හෙවත් නිවන පිළිබඳවයි. ධ්‍යානවලට සම වැදීම් වසයෙන් නොයෙක් ආකාරයේ විමෝක්ෂ දක්වමින් බුදුරජාණන් වහන්සේ ඔහුට පිළිතුරු ලබා දුන් සේක.
කාමච්ඡන්දය ප්‍රථම ධ්‍යානයෙන් ප්‍රහාණය වන බවත්, එය එක් මිදීමක් බවත්, ව්‍යාපාදය ප්‍රථම ධ්‍යානයෙන් ප්‍රහීණ වන බවත්, එයද එක විමුක්තියක් බවත්, ථීනමිද්ධ, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්චා ආදී නීවරණයන් ප්‍රථම ධ්‍යානයෙන් ප්‍රහාණය වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මෙහිදී ප්‍රහාණය යනුවෙන් අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීම නම් වූ සමුච්ඡේද ප්‍රහාණය නොවේ. ධ්‍යාන වශයෙන් යටපත් කිරීම පමණකි. එය විස්කම්භන ප්‍රහාණය යනුවෙන් හඳුන්වයි.
දෙවන ගාථාවේදී බුදුරජාණන් වහන්සේ චතුර්ථ ධ්‍යානය පිළිබඳවද අදහසක් ප්‍රකාශ කරයි. චතුර්ථ ධ්‍යානයේදී ඉතා පාරිශුද්ධ වූ උපේක්ෂාවක් පවතින බව සඳහන් කරන උන්වහන්සේ, ධම්ම තක්ක හෙවත් ධර්ම තර්කයක් යනුවෙන් හඳුන්වන සම්මා සංකප්පය පෙරටු කරගත්, ඒ නිර්වාණය අවබෝධ කර ගැනීමෙන් අවිද්‍යාව බිඳින බව දේශනා කළහ. මෙහිදී නිවනේ දී අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වන බව දේශනා කළ සේකැයි දත යුතුයි.
ඉන්පසුව නැවතත් ප්‍රශ්න අසන උදයමානවකයා, "සත්වයාට ඇති සංයෝජනය කුමක්ද? සත්ත්වයාගේ හැසිරීම කුමක්ද? කුමක් ප්‍රහාණය කිරීමෙන් නිර්වාණය යැයි කියනු ලැබේද?" යනුවෙන් විමසයි. තථාගතයන් වහන්සේ පිළිතුරු දේශනා කරමින්, "මේ ලෝකයෙහි තණ්හාව සංයෝජනය හෙවත් බන්ධනය වෙයි. විතර්ක කිරීම හැසිරීම වෙයි. තණ්හාව විශේෂයෙන් ප්‍රහාණය කිරීමෙන් නිර්වාණය යැයි කියනු ලැබේ" යනුවෙන් පිළිතුරු දේශනා කළහ.
නැවතත් උදය මානවකයා මෙසේ විමසයි: "සතිමත්ව හෙවත් සිහියෙන් යුතුව හැසිරෙන තැනැත්තාගේ විඤ්ඤාණය නිරුද්ධ වන්නේ කෙසේද? භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේ මෙම කාරණාව ඇසීමටයි, අපි ඔබ වහන්සේගේ වචනය අසන්නෙමු" යනුවෙන් ඔහු සඳහන් කරයි.
එයට පිළිතුරු දෙමින් තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කළහ: ආධ්‍යාත්මික හා බාහිර අරමුණු මුල් කරගෙන උපදින වේදනාවන් ප්‍රාර්ථනා නොකරන්නේ නම්, සිහියෙන් හැසිරෙන්නේ නම් විඤ්ඤාණය නිරුද්ධ වෙයි. ආධ්‍යාත්මික යනු ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන ධර්මයන්ය. බාහිර යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලියි. ආධ්‍යාත්මික හා බාහිර අරමුණු මුල් කරගෙන වේදනාව උපදී. එහෙත් එම වේදනාව ප්‍රාර්ථනා නොකරන, තණ්හාවෙන් ඒ වේදනාව අපේක්ෂා නොකරන, සිහියෙන් යුතුව හැසිරෙන තැනැත්තාගේ විඤ්ඤාණය නිරුද්ධ වන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.