පොත් ලැයිස්තුව

උදය සූත්‍රය

star_outline

සුත්ත නිපාතය

උදය මානවක මෙසේ විමසයි.

(ඉච්චායස්මා උදයෝ)

ඣායිං විරජමාසීනං

කතකිච්චං අනාසවං

පාරගුං සබ්බධම්මානං

අත්ථි පඤ්හේන ආගමං

අඤ්ඤා විමොක්ඛං පබ්‍රෑහි

අවිජ්ජාය පභේදනං

​ධ්‍යාන වඩන්නා වූ, දුරුකරන ලද කෙලෙස් දූවිලි ඇති, ලෝකෝත්තර මාර්ගඥානයන්ගෙන් කළ යුතු කටයුතු අවසන් කරන ලද, ආශ්‍රව රහිත වූ, සියලු ධර්මයන්හි පරතෙරට ගියා වූ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට ප්‍රශ්නයක් අසන්නට පැමිණියෙමි. අවිද්‍යාව බිඳීම නම් වූ අඤ්ඤාවිමෝක්ෂය (රහත් බව/නිර්වාණය) දේශනා කරනු මැනවි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ.

(උදයාති භගවා)

පහානං කාමච්ඡන්දානං

දෝමනස්සාන චූභයං

ථීනස්ස ච පනූදනං

කුක්කුච්චානං නිවාරණං

​උදය මානවකතුමනි, කාම වස්තූන් කෙරෙහි ඇති කැමැත්ත නම් වූ කාමච්ඡන්දයද, දෝමනස්සයද යන දෙදෙනාම ප්‍රහාණය කිරීමද, ථීනමිද්ධය දුරු කිරීමද, කුක්කුච්ච නිරාවරණය කිරීමද...

​(මෙම ගාථාවෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද (දෝමනස්ස), ථීනමිද්ධ, උද්දච්ච-කුක්කුච්ච, විචිකිච්චා යන පංචනීවරණ ධර්මයන් ප්‍රහාණය කර ඇති බව දේශනා කරනු ලැබේ.)

උපේඛා සති සංසුද්ධං

ධම්මතක්කපුරේජවං

අඤ්ඤා විමොක්ඛං පබ්‍රෑමි

අවිජ්ජාය පභේදනං

​සතරවන ධ්‍යානයෙහි පවතින උපේක්ෂාවෙන් සහ සිහියෙන් මනාව පිරිසිදු වූ, ධර්ම තර්ක හෙවත් සම්මා සංකප්පය පෙරටු කොට ඇති, අරිහත් ඵල විමුක්තිය අවිද්‍යාව බිඳීම යැයි කියමි.

උදය මානවක මෙසේ විමසයි.

(ඉච්චායස්මා උදයෝ)

කිංසු සංයෝජනෝ ලෝකෝ

කිංසු තස්ස විචාරණා

කිස්සස්ස විප්පහානේන

නිබ්බානමිති වුච්චති

​ලෝක සත්ත්වයා කුමක් බන්ධනය කොට (සංයෝජනෝ) ඇත්තේද, ඔහුගේ හැසිරීමට කරුණු කුමක්ද, කුමන දහමක් විශේෂයෙන් ප්‍රහාණය කිරීමෙන් නිර්වාණය යැයි කියනු ලැබේද?

​ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

(උදයාති භගවා)

නන්දි සංයෝජනෝ ලෝකෝ

විතක්කස්ස විචාරණා

තණ්හාය විප්පහානේන

නිබ්බානමිති වුච්චති

​ලෝක සත්ත්වයා තණ්හාව බන්ධනය කොට ඇත. විතර්ක ඔහුගේ හැසිරීමයි. තණ්හාව විශේෂයෙන් ප්‍රහාණය කිරීමෙන් නිර්වාණය යැයි කියනු ලැබේ.

​ උදයමානවකයා මෙසේ විමසයි.

(ඉච්චායස්මා උදයං)

කථං සතස්ස චරතෝ

විඤ්ඤාණං උපරුජ්ඣති

භගවන්තං පුට්ඨුමාගම්ම

තං සුණෝම වචෝ තව

​සිහියෙන් යුතුව හැසිරෙන (වාසය කරන) තැනැත්තාගේ විඤ්ඤාණය කෙසේ නිරුද්ධ වේද? භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීමට පැමිණියෙමි, ඔබ වහන්සේගේ ඒ වචන අසන්නෙමු.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

​අජ්ඣත්තං ච බහිද්ධා ච

වේදනං නාභිනන්දිතෝ

ඒවං සතස්ස චරතෝ

විඤ්ඤාණං උපරුජ්ඣතී ති

​ආධ්‍යාත්මික බාහිර අරමුණු වල උපදනා වේදනාව ප්‍රාර්ථනා නොකරන, සිහියෙන් යුතුව හැසිරෙන තැනැත්තාගේ විඤ්ඤාණය මෙසේ නිරුද්ධ වෙයි