ප්‍රමාදය යනු කයින් පව් කිරීම නම් වූ කාය දුෂ්චරිතයෙහි ද, වචනයෙන් පව් කිරීම නම් වූ වචී දුෂ්චරිතයෙහි ද, මනසින් පව් කිරීම නම් වූ මනෝ දුෂ්චරිතයෙහි ද, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම ගුණයන් කෙරෙහි සිත මුදා හැරීම හෙවත් සිතට නිදහසේ හැසිරීමට ඉඩ දීම, නැවත නැවත සිත මුදා හැරීමයි. එසේම කුසල ධර්මයන් සිදු කරන අවස්ථාවේදී පිළිවෙළකට සකස් නොකොට කටයුතු කිරීම, නිතර නිතර කුසල ධර්මයන් නොකරන ස්වභාවය, ඉඳහිට කුසල ධර්ම කරන ස්වභාවය, කුසල ධර්මයන්හි අලස බවට පත්වීම, කුසල් කිරීමට අවශ්‍ය වන්නා වූ වීර්යය බහා තැබීම හෙවත් අතහැර දැමීම, කුසල් කිරීමට අවශ්‍ය වන්නා වූ කුසල චන්දය හෙවත් කුසල් කිරීමේ කැමැත්ත අතහැර දැමීම, කුසල් කිරීමට අවශ්‍ය වීර්යය අතහැර දැමීම, කුසල ධර්මයන් සේවනය නොකිරීම, කුසල ධර්මයන් නොවැඩීම, කුසල ධර්මයන් බහුල වශයෙන් පුරුදු නොකිරීම, කුසල ධර්මයන්හි නොපිහිටීම, කුසල ධර්මයන්හි ප්‍රතිපත්ති නොපිරීම, ප්‍රමාද වන ආකාරය, ප්‍රමාද වන ස්වභාවය යන මේ සියල්ල ප්‍රමාදය යැයි කියනු ලැබේ.