"වුත්තං හේතං භගවතා වුත්තමරහතාති මේ සුතං."
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී, අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී, මා විසින් මෙසේ අසන ලදී.
ද්වේමේ භික්ඛවේ තපනීයා ධම්මා. කතමේ ද්වේ? ඉධ භික්ඛවේ ඒකච්චෝ අකතකල්‍යාණෝ හෝති, අකතකුසලෝ, අකතභීරුත්තානෝ, කතපාපෝ, කතලුද්දෝ, කතකිබ්බිසෝ. සෝ ‘අකතං මේ කල්‍යාණන්’තිපි තප්පති, ‘කතං මේ පාපන්ති’පි තප්පති. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ තපනීයා ධම්මා."
මහණෙනි, දෙලොවම පසුතැවීම ඇති කරන, පසුතැවීමට හේතුවන මේ ධර්මතා දෙකකි. කවර ධර්මතා දෙකක්ද? මහණෙනි! මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් නොකරන ලද යහපත් දේ ඇත. නොකරන ලද කුසල් ඇත. කරන ලද පාප කර්ම ඇත. කරන ලද කිලිටි කර්ම ඇත. එම තැනැත්තා "මා විසින් පින් නොකරන ලද්දේය" කියා පසුතැවෙයි. "මා විසින් පව් කරන ලද්දේය" කියා පසුතැවෙයි. මහණෙනි, මේ පසුතැවීමට හේතුවන ධර්මයෝ දෙදෙන වෙති.
"ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති."
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එය මෙහි ගාථාවලින් මෙසේ ද කියනු ලැබේ:
පළමුවන ගාථාව
කායදුච්චරිතං කත්වා,
වචීදුච්චරිතානි ච,
මනෝදුච්චරිතං කත්වා,
යඤ්චඤ්ඤං දෝසසංහිතං.
දෙවන ගාථාව
අකත්වා කුසලං කම්මං,
කත්වාන අකුසලං බහුං,
කායස්ස භේදා දුප්පඤ්ඤෝ,
නිරයං සෝ උපපජ්ජති."
ඒ අඥාන පුද්ගලයා කාය දුශ්චරිත සිදුකොට, වචී දුශ්චරිත සිදුකොට, මනෝ දුශ්චරිත සිදුකොට, වෙනත් දෝෂ සහිත අකුසල ධර්මයන් සිදුකොට, කුසල කර්ම නොකර, බොහෝ අකුසල කර්ම සිදුකොට, කය බිඳී මරණින් මතු ඒ අඥාන පුද්ගලයා නිරයෙහි උපදින්නේය.
"අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා, ඉති මේ සුතං."
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.
අතිරේක විස්තරය
පසුතැවීම
"ඉධ තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ථ තප්පති,
පාපං මේ කතන්ති තප්පති, භීය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ."
පාපකාරී පුද්ගලයා මෙලොව ද තැවෙයි. පරලොව ද තැවෙයි. මෙලොව, පරලොව යන දෙලොවම තැවෙයි. "මා විසින් පව් කරන ලද්දේය" යැයි සිතා මෙලොව තැවෙයි. දුගතියට ගිය විට වඩාත් බොහෝ සේ තැවෙයි. (ධම්මපදය)
නොකරන ලද කුසලය ගැන සිතා පසුතැවීමත්, කරන ලද පාප කර්මය ගැන සිතා පසුතැවීමත් යන දෙකම අකුසලයකි. තපනීය සූත්‍රය තුළ ඒ පිළිබඳව සඳහන්ය. එසේ පසුතැවෙන තැනැත්තා මරණින් මතු නිරයගාමී වන බව එහි දක්වා ඇත. "නිරය" යන වචනය පමණක් යොදා තිබුණ ද, පසුතැවෙන තැනැත්තා සතර අපායෙන් එක් ස්ථානයක උපත ලබයි. ඒ බව අටුවාවේ මනාව දක්වා ඇත.
සංසාර මෝචක ප්‍රේත වස්තුව
දිනක් සාරිපුත්ත තෙරුන් වහන්සේට ප්‍රේතියක් දක්නට ලැබුණි. ඇය දැක සාරිපුත්ත තෙරුන් වහන්සේ මෙසේ විමසූහ:
"1..ඔබ ඇඳුම් නොමැතිව වාසය කරයි. දුර්වල වූ ශරීර වර්ණ ඇතුව, කෙට්ටු වූ නහර ඉලිප්පුණු ශරීරයක් ඇතිව සිටියි. ඔබගේ ශරීරයෙහි ඉල ඇට මතුවී පෙනෙයි. ශරීරය ඉතා සිහින්ය. මා ඉදිරියෙහි සිටින ඔබ කවුද?"
2 එවිට එම ප්‍රේතිය මෙසේ පිළිතුරු ලබා දෙයි: "ස්වාමීනී, මම දුකට පත් වූ යම ලොව ඉපදී සිටින ප්‍රේතියෙක්මි. පාප කර්ම සිදු කොට මිනිස් ලෝකයෙන් ප්‍රේත ලෝකයට පැමිණියෙමි."
3 එවිට තෙරුන් වහන්සේ මෙසේ විමසයි: "කයින්, වචනයෙන්, සිතින් යන තිදොරින් ඔබ විසින් කුමන පාප කර්මයක් කළාද? කුමන පාප කර්මයක විපාකයක් විදිහට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියාද?"
4 ප්‍රේතිය මෙසේ පිළිතුරු ලබා දෙයි: "ස්වාමීනී, අනුකම්පාවෙන් යුතුව මා හට උපදෙස් ලබා දෙන කිසි කෙනෙක් සිටියේ නැත. පැහැදුණාවූ සිතින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන්න යනුවෙන් මාව පිනෙහි යෙදවීමට පිය කෙනෙකු සිටියේ නැත. මට උපදෙස් දෙන මව් කෙනෙකු සිටියේ නැත. මට උපදෙස් දෙන වෙනත් ඥාතිවරයෙකු සිටියේ නැත."
5 "ආර්යයන් වහන්ස, මම පැහැදුණාවූ සිතින් යුතුව ඔබ වහන්සේට වන්දනා කරමි. මහත් ආනුභාව ඇති මහා ප්‍රාඥයන් වහන්ස, මම ඔබ වහන්සේට වන්දනා කරමි. යම් කිසි දෙයක් දන් දී මට පින් අනුමෝදන් කරනු මැනවි. මාව දුගතියෙන් මුදවනු මැනවි."
6
සාධූති සෝ පටිසුත්වා. සාරිපුත්තෝනුකම්පකෝ.
භික්ඛූනං ආලෝපං දත්වා. පණිමත්තඤ්ච චේලකං.
ථාලකස්ස ච පානීයං. තස්සා දක්ඛිණමාදිසි.
7 කරුණාවන්ත වූ ඒ සාරිපුත්ත තෙරුන් වහන්සේ "හොඳයි" කියා ඇයට පිළිතුරු ලබාදී, එක බත් පිඬක් ද, රියනක් පමණ රෙදි කඩක් ද, පැන් භාජනයක් ද භික්ෂූන් වහන්සේ නමකට පූජා කර, ඇයට පින් අනුමෝදන් කළ සේක.
8 ඒ පින් දීමට අනතුරුවම ඒ දානයෙහි විපාක ලැබුණි. එම ප්‍රේතියට ප්‍රණීත වූ භෝජනයන්ද, මනහර වූ ඇඳුම් ද, නොයෙක් ආකාරයේ පාන වර්ග ද ලැබුණි. ඒ ප්‍රාප්තිදානයේ හෙවත් පින් දීමෙහි විපාකයයි.
9 ඉන්පසු එම ප්‍රේතිය ජලස්නානය කොට ශරීරය පිරිසිදු කර ගත්තාය. ඉතා පිරිසිදු වූ සුදු කසී සළු හැඳ පොරව ගත්තාය. විසිතුරු වූ ආභරණයන්ගෙන් සැරසී සාරිපුත්ත තෙරුන් වහන්සේ සමීපයට පැමිණියාය.
10දෙවඟනක් බඳු ඇය දැක සාරිපුත්ත තෙරුන් වහන්සේ මෙසේ විමසූහ: "දෙව්දුව, ඔබ බබලන ශරීර වර්ණයෙන් යුක්තයි. ඕෂධී තාරකාවක් මෙන්ම දස දිසා බබළවමින් මෙහි සිටියි."
"11 කුමන හේතුවක් නිසා ඔබට මෙවැනි ශරීර වර්ණයක් ලැබුණාද? කුමන හේතුවකින් ඔබ සමෘද්ධිමත් බවට පත් වූවාද? මන වඩන භෝග සම්පත් ලැබීමට හේතුව කුමක්ද?"
"මහත් ආනුභාව ඇති දෙව්දුව, ඔබගෙන් මම මෙසේ අසමි. ඔබ මනුස්ස ලෝකයේ ජීවත් වන කාලයේදී කරන ලද පින්කම කුමක්ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිළිසෙන ආනුභාව සම්පන්න ශරීරයක් ලැබුවාද? ඔබගේ ශරීර වර්ණයෙන්ම සියලු දිසාවන් බබළවයි."
(පින් ලබා ගැනීමෙන් පසු ඇය ප්‍රේත බවින් නිදහස් වී දේවත්වයට උසස් විය. දැන් ඇය වෘක්ෂ දේවතාවියක වැනි බල සම්පන්න තැනැත්තියකි.)
එම දිව්‍යාංගනාව මෙසේ පිළිතුරු ලබා දෙයි:
11 "ලෝකයෙහි කරුණා ගුණයෙන් යුතු සාරිපුත්ත තෙරුන් වහන්සේ, පඬුවන් ශරීරයක් ඇති, කෙට්ටු ශරීරයක් ඇති, අධික කුසගින්නෙන් පීඩා විඳින ලද, ඇඳුම් නැතුව ජීවත් වූ, බිඳී ගිය ශරීර වර්ණය සහිත දුගතියෙහි උපන් මා ඔබ දුටුවෝය."
12"බත් පිඬක් පමණ ආහාර, දියනක් පමණ වූ රෙදි කඩක් ද, පැන් බඳුනක් ද භික්ෂූන්ට දන් දී මා හට පින් ලබා දුන්හ."
"ස්වාමීනී, බත් පිඬක් පූජා කර ලබා දුන් පිනෙහි ප්‍රතිඵලය බලන්න. මට තව වසර දහසක් යනකම් අන් අය විසින් පවා ප්‍රිය කරන ආකාරයට රසවත් වූ ආහාරපාන ලැබෙනවා."
13 "ස්වාමීනී, රියනක් පමණක්ම රෙදි කඩක් පූජා කරමින් මා හට පින් දුන් සේක. එයින් මා හට ලැබුණ ප්‍රතිඵලය බලන්න. නන්ද රජුගේ විජිතයෙහි යම් තාක් ඇඳුම් පැළඳුම් තිබේ නම්, මටත් දැන් ඒ වගේ බොහෝ ඇඳුම් පැළඳුම් ඇත."
13"ස්වාමීනී, මට කෝසෙයිය වස්ත්‍ර ඇත. කම්බිලි ඇත. කොමූ පිළි, කපු ඇඳුම් ඇත. ඇඳීමට, පෙරවීමට බොහෝ වස්ත්‍ර ඇත."
"පැන් බඳුනක් පූජා කිරීමෙන් මා හට ලැබුණ ප්‍රතිඵලය බලන්න. මට හතරැස් පොකුණක් පහළ වී ඇත."
14 "එම පොකුණෙහි පිරිසිදු ජලය, වැලිතලා ඇත. යහපත් තොටුපොළක් ඇත, සිසිල් දිය පිරී පවතී. සුවඳ හමන රතු පාට නෙළුම් මල් ද, සුදු පාට නෙළුම් මල් ද ඇත. මල් රේණුවලින් යුක්ත වූ ජලය පිරී පවතී."
15 "මම කිසිම කාරණාවක් නිසා බියට පත් නොවී සතුටින් වාසය කරමි. ක්‍රීඩා කරමි. ලෝකයෙහි කරුණාවන්ත වූ මුනිවරයාණන් වහන්ස, මම ඔබගේ පාද වැඳීමට මෙහි පැමිණියෙමි."
සංසාරමෝචක ප්‍රේත වස්තුවයි.
පව් කරන තැනැත්තා පසුතැවෙන ආකාරයත්, පින් නොකරන ලද තැනැත්තා පසුතැවෙන ආකාරයත් මෙම කතා පුවතින් මනාව පැහැදිලි වෙයි. මියගිය අයටත් පින් දිය හැකි බව ද, එසේ පින් දෙන අවස්ථාවේදී ඒ මොහොතේදීම ඒ අයට එහි ප්‍රතිඵලය ලැබෙන බව ද මෙම කතාවෙන් ඉගෙන ගත යුතුය.
තපනීය සූත්‍රය අවසානයි.