සුත්ත නිපාතය - මහා වර්ගය
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කළ සේක. එම කාලයේදී මෙම දේශනාව වදාළ සේක.
මහණෙනි, අංග හතරකින් යුක්ත වූ වචනය සුභාෂිත වචනයක් බවට පත්වෙයි; දුර්භාෂිතයක් නොවෙයි; නිවැරදි වෙයි; බුද්ධිමතුන් විසින් දොස් නොකියන ලද්දක් වෙයි. කවර කාරණා හතරකින්ද?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව:
- සුභාෂිතයම කියයි, දුර්භාෂිතය නොකියයි.
- ධර්මයම කියයි, අධාර්මය නොකියයි.
- ප්‍රිය වූ වචන කියයි, අප්‍රිය වචන නොකියයි.
- සත්‍ය වචන කියයි, අසත්‍ය වචන නොකියයි.
මහණෙනි, මේ අංග හතරෙන් යුක්ත වූ වචන සුභාෂිත වචන වෙයි; දුර්භාෂිත වචන නොවෙයි; නිවැරදි වචන වෙයි; බුද්ධිමතුන් විසින් දොස් නොකියන වචන වෙයි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙය දේශනා කොට නැවතද ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක.
සුභාසිතං උත්තමමාහු සන්තෝ
ධම්මං භණේ - නාධම්මං තං දුතියං
පියං භණේ - නාප්පියං තං තතියං
සච්චං භණේ - නාලිකං තං චතුත්ථන්ති
බුද්ධාදී සත්පුරුෂයෝ සුභාෂිත වචන උතුම් යැයි දේශනා කළහ:
1 ධර්මය කියන්නේය, අධර්මය නොකියන්නේය.
2ප්‍රිය වූ වචන කියන්නේය, අප්‍රිය වූ වචන නොකියන්නේය.
3 සත්‍ය වචන කියන්නේය, අසත්‍ය (මුසා) වචන නොකියන්නේය.
4 ධර්මය කියන්නේය අධර්මය නොකියන්නේය
(මෙය සුභාෂිත වචනවල තිබිය යුතු අංග වේ.)
ධර්මාර්ථ විස්තරය
මුසාවාදෝ භික්ඛවේ, ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරයසංවත්තනිකෝ තිරච්ඡානයෝනිසංවත්තනිකෝ පෙත්තිවිසයසංවත්තනිකෝ, යෝ සබ්බලහුසෝ මුසාවාදස්ස විපාකෝ මනුස්සභූතස්ස අභූතබ්‍යාක්ඛානසංවත්තනිකෝ හෝති..
මහණෙනි, මුසාවාදය (බොරු කීම) ඇසුරු කරයි නම්, සේවනය කරයි නම්, වඩයි නම්, බහුල වශයෙන් පුරුදු කරයි නම්, එය නිරයෙහි උපත ලැබීමට හේතු වෙයි; තිරිසන් ලෝකයෙහි උපත ලැබීමට හේතු වෙයි; ප්‍රේත ලෝකයෙහි උපත ලැබීමට හේතු වෙයි. එහි ඇති සැහැල්ලුම විපාකය නම්, මිනිස් ලොව උපත ලබන ලද අවස්ථාවන්වලදී හේතු කාරණා රහිතව හෙවත් අභූතයෙන්ම චෝදනා ලබන කෙනෙක් බවට පත්වීමයි. (අපාය සංවර්ථනික සූත්‍රය - අංගුත්තර නිකාය)
පිසුණා භික්ඛවේ, වාචා ආසේවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා තිරච්ඡානයෝනිසංවත්තනිකා පෙත්තිවිසයසංවත්තනිකා, යෝ සබ්බලහුසෝ පිසුණාය වාචාය විපාකෝ මනුස්සභූතස්ස මිත්තේහි භේදනසංවත්තනිකෝ හෝති.
මහණෙනි, යමෙක් කේලම් කීම ඇසුරු කරයි නම්, පුරුදු කරයි නම්, බහුල ලෙස සිදු කරයි නම්, එය නිරයේ උපත ලැබීමට හේතු වෙයි; තිරිසන් ලෝකයේ උපත ලැබීමට හේතු වෙයි; ප්‍රේත ලෝකයේ උපත ලැබීමට හේතු වෙයි. මිනිස් ලොව උපදින කාලවලදී මිතුරන් සමඟ අසමගි වීමට (මිතුරන්ගෙන් වෙන්වීමට) හේතු වෙයි. (අපාය සංවර්ථනික සූත්‍රය - අංගුත්තර නිකාය)
ඵරුසා භික්ඛවේ, වාචා ආසේවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා තිරච්ඡානයෝනිසංවත්තනිකා පෙත්තිවිසයසංවත්තනිකා, යෝ සබ්බලහුසෝ ඵරුසාය වාචාය විපාකෝ මනුස්සභූතස්ස අමනාපසද්දසංවත්තනිකෝ හෝති.
මහණෙනි, පරුෂ වචනය ඇසුරු කරයි නම්, පුරුදු කරයි නම්, බහුල ලෙස සිදු කරයි නම්, නිරයේ උපත ලැබීමට හේතු වෙයි; තිරිසන් ලෝකයෙහි උපත ලැබීමට හේතු වෙයි; ප්‍රේත ලෝකයෙහි උපත ලැබීමට හේතු වෙයි. එහි ඇති සැහැල්ලුම විපාකය නම්, මිනිස් ලොව උපන් කාලවලදී අප්‍රිය වූ, අමනාප වූ, අමිහිරි වූ වචන අසන්නට ලැබීමයි. (අපාය සංවර්ථනික සූත්‍රය - අංගුත්තර නිකාය)
සම්ඵප්පලාපෝ භික්ඛවේ, ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරයසංවත්තනිකෝ තිරච්ඡානයෝනිසංවත්තනිකෝ පෙත්තිවිසයසංවත්තනිකෝ, යෝ සබ්බලහුසෝ සම්ඵප්පලාපස්ස විපාකෝ මනුස්සභූතස්ස අනාදෙය්‍ය වාචාසංවත්තනිකෝ හෝති.
මහණෙනි, හිස් වචන ඇසුරු කරන්නේ නම්, පුරුදු කරන්නේ නම්, නැවත නැවත පුරුදු කරන්නේ නම්, නිරයේ උපත ලැබීමට හේතු වෙයි; තිරිසන් ලෝකයෙහි උපත ලැබීමට හේතු වෙයි; ප්‍රේත ලෝකයෙහි උපත ලැබීමට හේතු වෙයි. එහි ඇති සැහැල්ලුම විපාකය නම්, මිනිස් ලොව උපන් කාලවලදී තමාගේ වචන අන් අය පිළිනොගැනීම, විශ්වාස නොකිරීමයි. (අපාය සංවර්ථනික සූත්‍රය - අංගුත්තර නිකාය)
අංගුත්තර නිකායේ සඳහන් වන අපාය සංවර්ථනික සූත්‍ර දේශනාවට අනුව, වචී දුෂ්චරිත හතරෙහි දරුණු විපාක මැනවින් තේරුම් ගත හැකිය. එය මැනවින් අවබෝධ කරගෙන සත්පුරුෂයෝ සුභාෂිත වචන ප්‍රකාශ කිරීමට කැමැත්ත උපදවාගත යුතුය, පුහුණු විය යුතුය.
කතමෝ ච භික්ඛවේ, පුග්ගලෝ මධුභාණී? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති. යා සා වාචා නේලා කණ්ණසුඛා පේමනීයා හදයංගමා පෝරින් බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හෝති. අයං වුච්චති භික්ඛවේ, පුග්ගලෝ මධුභාණී. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති.
මහණෙනි, මධුභාණී (ප්‍රිය වචන කතා කරන) පුද්ගලයා කවුද?
මහණෙනි, මේහ් ශාසනයෙහි ඇතැමෙක් පරුෂ වචන අතහැර දමා, පරුෂ වචනයෙන් වැළකුණේ වෙයි. යම් වචනයක් වේ නම්, එය වරදින් තොර විය; කනට සුවදායක විය; ප්‍රේමනීය විය; හදවතට එකඟ විය; නගරවාසීන්ගේ බස මෙන් පිරිසිදු විය; (ශිෂට සම්පන්න වචන යන අර්ථයයි) බොහෝ ජනයාට ප්‍රිය විය; බොහෝ ජනයාගේ මනදොළ සපුරන්නක් විය; එබඳු වූ වචනම පවසන්නේ වෙයි. මහණෙනි, මේ පුද්ගලයා "මධුභාණී" ( මී පැණි මෙන් ප්‍රිය වචන කතා කරන) පුද්ගලයා යැයි කියනු ලැබේ. මහණෙනි, ලෝකයෙහි මෙවැනි පුද්ගලයන් දකින්නට ලැබෙයි.
අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයට අනුව, "යා චතූහි වචීදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො සම්මාවාචා මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සම්මාවාචා" යනුවෙන් සම්මාවාචා දක්වා ඇත.
සතරාකාර වූ වචී දුෂ්චරිතයෙහි නොඇලීම, වැළකීම, විශේෂයෙන් වැළකීම, නොකිරීම, නොකරන ස්වභාවය, වචී දුෂ්චරිතයට නොපැමිණීම, වචී දුෂ්චරිතය නොඉක්මවා යාම, හේතු නැසීම, සම්මාවාචා මාර්ග අංගය මෙය සම්මාවාචා යැයි කියනු ලැබේ.
සුභාෂිත වචන.
යහපත් ලෙස කතා කරන වචන සුභාෂිත යන නමින් හඳුන්වයි. යහපත් අර්ථයක් ඇති වචනම සුභාෂිත වන බව දත යුතුය.
න දුබ්භාසිතා...
දුර්භාෂිත වචන නොකියන්නේය. අයහපත් ලෙස කියන වචන දුර්භාෂිත නම් වෙයි. එහි ඇති අර්ථය අයහපත් බව නිසාම දුර්භාෂිතය. එබඳු වචනයෙන් වැළකීම මින් අදහස් කරයි.
අනවජ්ජා... නිවැරදි වචන භාවිතා කිරීම.
වැරදි ලෙස කියන ලද වචන යනු රාගය, ක්‍රෝධය ඇතිකරවන වචනයි. එම වචන අකුසලයන්ට අයත් වේ. එබඳු වැරදි වචන භාවිතා නොකිරීම හෙවත් කෙලෙස් උපදින වචන භාවිතා නොකිරීම නිවැරදි වචන භාවිතයයි.
නුවණැති සත්පුරුෂයන් විසින් නින්දා නොකරන, ගැරහීමට ලක්නොවන වචනම කතා කළ යුතුය.
සුභාෂිත සූත්‍රයෙහි අවසාන කොටස
එකල්හි වංගීස තෙරුන් වහන්සේ ආසනයෙන් නැගිට, සිවුර ඒකාංස කර පොරවා, භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ, මෙසේ ප්‍රකාශ කළේය: "භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි. භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි."
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක: "වංගීස, ඔබට වැටහේවා." ඉන්පසු වංගීස තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ගැළපෙන මේ ගාථා පැවසූහ:
තමේව භාසං භාසෙය්‍ය යායත්තානං න තාපයේ
පරේච න විහිංසෙය්‍ය සා වේ වාචා සුභාසිතා
යම් වචනයකින් තමා පීඩාවට පත් නොවන්නේ නම්, අන් අයත් පීඩාවට පත් නොවන්නේ නම්, එබඳු වචනම කිව යුතුය. ඒකාන්තයෙන් ඒ වචනම සුභාෂිත වෙයි.
පියවාචමේව භාසෙය්‍ය යා වාචා පතිනන්දිතා
යං අනාදාය පාපානි පරේසං භාසතේ පියං
යම් වචනයක් සතුටින් පිළිගනී නම්, ලාමක වචන අතහැර දමා අන් අයට ප්‍රිය වූ, ප්‍රිය වචනයක්ම කියන්නේය.
සච්චං වේ අමතා වාචා ඒස ධම්මෝ සනන්තනෝ
සච්චේ අත්ථේ ච ධම්මේච ආහු සන්තෝ පතිට්ඨිතා
ඒකාන්තයෙන් සත්‍ය වචනය අමෘතය හා සමා වෙයි; මෙය පෞරාණික ධර්මයකි. සත්‍යය තුළද, අර්ථය තුළද, ධර්මය තුළද පිහිටියා වූ සත්පුරුෂයෝ එසේ කීහ.
යං බුද්ධෝ භාසති වාචං - ඛේමං නිබ්බානපත්තියා
දුක්ඛස්සන්තකිරියාය සා වේ වාචානමුත්තමාති
දුක කෙළවර කිරීම පිණිස, නිර්වාණයට පත්වීම පිණිස, යම් නිරුපද්‍රිත වචනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරත් නම්, ඒකාන්තයෙන් ඒ වචනය වචනයන් අතරෙහි උතුම් වෙයි.