යහපත් ලෙස කතා කරන වචන සුභාෂිත යන නමින් හඳුන්වයි. යහපත් අර්ථයක් ඇති වචනම සුභාෂිත වන බව දත යුතුය.
න දුබ්භාසිතා...
දුර්භාෂිත වචන නොකියන්නේය. අයහපත් ලෙස කියන වචන දුර්භාෂිත නම් වෙයි. එහි ඇති අර්ථය අයහපත් බව නිසාම දුර්භාෂිතය. එබඳු වචනයෙන් වැළකීම මින් අදහස් කරයි.
අනවජ්ජා... නිවැරදි වචන භාවිතා කිරීම.
වැරදි ලෙස කියන ලද වචන යනු රාගය, ක්‍රෝධය ඇතිකරවන වචනයි. එම වචන අකුසලයන්ට අයත් වේ. එබඳු වැරදි වචන භාවිතා නොකිරීම හෙවත් කෙලෙස් උපදින වචන භාවිතා නොකිරීම නිවැරදි වචන භාවිතයයි.
නුවණැති සත්පුරුෂයන් විසින් නින්දා නොකරන, ගැරහීමට ලක්නොවන වචනම කතා කළ යුතුය.
සුභාෂිත සූත්‍රයෙහි අවසාන කොටස
එකල්හි වංගීස තෙරුන් වහන්සේ ආසනයෙන් නැගිට, සිවුර ඒකාංස කර පොරවා, භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ, මෙසේ ප්‍රකාශ කළේය: "භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි. භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි."
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක: "වංගීස, ඔබට වැටහේවා." ඉන්පසු වංගීස තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ගැළපෙන මේ ගාථා පැවසූහ:
තමේව භාසං භාසෙය්‍ය යායත්තානං න තාපයේ
පරේච න විහිංසෙය්‍ය සා වේ වාචා සුභාසිතා
යම් වචනයකින් තමා පීඩාවට පත් නොවන්නේ නම්, අන් අයත් පීඩාවට පත් නොවන්නේ නම්, එබඳු වචනම කිව යුතුය. ඒකාන්තයෙන් ඒ වචනම සුභාෂිත වෙයි.
පියවාචමේව භාසෙය්‍ය යා වාචා පතිනන්දිතා
යං අනාදාය පාපානි පරේසං භාසතේ පියං
යම් වචනයක් සතුටින් පිළිගනී නම්, ලාමක වචන අතහැර දමා අන් අයට ප්‍රිය වූ, ප්‍රිය වචනයක්ම කියන්නේය.
සච්චං වේ අමතා වාචා ඒස ධම්මෝ සනන්තනෝ
සච්චේ අත්ථේ ච ධම්මේච ආහු සන්තෝ පතිට්ඨිතා
ඒකාන්තයෙන් සත්‍ය වචනය අමෘතය හා සමා වෙයි; මෙය පෞරාණික ධර්මයකි. සත්‍යය තුළද, අර්ථය තුළද, ධර්මය තුළද පිහිටියා වූ සත්පුරුෂයෝ එසේ කීහ.
යං බුද්ධෝ භාසති වාචං - ඛේමං නිබ්බානපත්තියා
දුක්ඛස්සන්තකිරියාය සා වේ වාචානමුත්තමාති
දුක කෙළවර කිරීම පිණිස, නිර්වාණයට පත්වීම පිණිස, යම් නිරුපද්‍රිත වචනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරත් නම්, ඒකාන්තයෙන් ඒ වචනය වචනයන් අතරෙහි උතුම් වෙයි.