පොත් ලැයිස්තුව

සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම

star_outline

​සක්කාය දිට්ඨිය යනු කුමක්දැයි අප විසින් ඉගෙන ගන්නා ලදී. මෙම පරිච්ඡේදයේදී සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ආකාරය පැහැදිලි කර දෙනු ලැබේ. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ, ඛන්ධ සංයුත්තයේ, උපයවර්ගයේ උදාන සූත්‍රයේදී ඕරම්භාගිය සංයෝජන ප්‍රහාණය කිරීමට හේතුවන භාවනා ක්‍රමය දේශනා කළ සේක. සක්කාය දිට්ඨිය ඕරම්භාගිය සංයෝජනයන්ට අයත් වන බැවින්, එම භාවනා ක්‍රමය සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන වැඩපිළිවෙළ ප්‍රතිපදාව හැටියට අප දක්වන්නෙමු.

​"සෝ අනිච්චං රූපං, අනිච්චං රූපන්ති යථාභූතං පජානාති. අනිච්චං වේදනං, අනිච්චං වේදනාති යථාභූතං පජානාති. අනිච්චං සඤ්ඤං, අනිච්චං සඤ්ඤාති යථාභූතං පජානාති. අනිච්චේ සංඛාරේ, අනිච්චා සංඛාරාති යථාභූතං පජානාති. අනිච්චං විඤ්ඤාණං, අනිච්චං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති."

​ඔහු අනිත්‍ය වූ රූපය, අනිත්‍ය වූ රූපයක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි. අනිත්‍ය වූ වේදනාව, අනිත්‍ය වූ වේදනාවක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි. අනිත්‍ය වූ සංඥාව, අනිත්‍ය වූ සංඥාවක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි. අනිත්‍ය වූ සංස්කාර, අනිත්‍ය වූ සංස්කාර යැයි යථාර්ථයෙන්ම දැනගනියි. අනිත්‍ය වූ විඤ්ඤාණය, අනිත්‍ය වූ විඤ්ඤාණයක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි.

​මේ ආකාරයට:

දුක් වූ රූපය, දුක් වූ රූපයක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි. දුක් වූ වේදනාව, දුක් වූ වේදනාවක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි. දුක් වූ සංඥාව, දුක් වූ සංඥාවක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි. දුක් වූ සංස්කාර, දුක් වූ සංස්කාරයක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි. දුක් වූ විඤ්ඤාණය, දුක් වූ විඤ්ඤාණයක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි.

අනාත්ම වූ රූපය, අනාත්ම වූ රූපයක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි. අනාත්ම වූ වේදනාව, අනාත්ම වූ වේදනාවක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි. අනාත්ම වූ සංඥාව, අනාත්ම වූ සංඥාවක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි. අනාත්ම වූ සංස්කාර, අනාත්ම වූ සංස්කාර යැයි යථාර්ථයෙන්ම දැනගනියි. අනාත්ම වූ විඤ්ඤාණය, අනාත්ම වූ විඤ්ඤාණයක් යැයි යථාර්ථයෙන්ම දැනගනියි.

සංඛත වූ රූපය, සංඛත වූ රූපයක් යැයි යථාර්ථයෙන් දැනගනියි. සංඛත වූ වේදනාව, සංඛත වූ වේදනාවක් යැයි යථාර්ථයෙන් දැනගනියි. සංඛත වූ සංඥාව, සංඛත වූ සංඥාවක් යැයි යථාර්ථයෙන් දැනගනියි. සංඛත වූ සංස්කාර, සංඛත වූ සංස්කාර යැයි යථාර්ථයෙන් දැනගනියි. සංඛත වූ විඤ්ඤාණය, සංඛත වූ විඤ්ඤාණයක් යැයි යථාර්ථයෙන් දැනගනියි.

​බිඳෙන සුළු රූපය, බිඳෙන සුළු රූපයක් යැයි යථාර්ථයෙන් දැනගනියි. බිඳෙන සුළු වේදනාව, බිඳෙන සුළු වේදනාවක් යැයි යථාර්ථයෙන් දැනගනියි. බිඳෙන සුළු සංඥාව, බිඳෙන සුළු සංඥාවක් යැයි යථාර්ථයෙන් දැනගනියි. බිඳෙන සුළු සංස්කාර, බිඳෙන සුළු සංස්කාර යැයි යථාර්ථයෙන් දැනගනියි. බිඳෙන සුළු විඤ්ඤාණය, බිඳෙන සුළු විඤ්ඤාණයක් යැයි යථාර්ථයෙන් දැනගනියි.

​මෙසේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් අවබෝධ කරගත් කල්හි ඕරම්භාගිය සංයෝජනයන්ගෙන් මිදෙන්නේය.

(උදාන සූත්‍රය - ඛන්ධ සංයුත්තය)