පොත් ලැයිස්තුව

කර්මය කරන්නා කර්ම විපාක විඳී:

star_outline

​"කර්මය කරන්නා කර්ම විපාක විඳී" යනුවෙන් සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙයි. සම්මුතියට අනුව කර්මය සිදු කරන සත්වයෙක්, පුද්ගලයෙක් හෝ ආත්මයක් ඇත. එහෙත් පරමාර්ථ වශයෙන් ගත් කල්හි සත්ව, පුද්ගල, ආත්ම යනු සම්මුතීන් පමණක්ය. පරමාර්ථ වශයෙන් ඇත්තේ හේතුඵල දහමකි. සූත්‍ර දේශනා බොහෝ විට පවතින්නේ සම්මුතිය පදනම් කරගෙනය. එහෙත් සූත්‍ර දේශනා තුළද පරමාර්ථ ධර්මයන්ට අයත් වන්නා වූ ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ආදිය විස්තර කරන දේශනා බොහෝය.

​කර්මය විස්තර කරන්නේ සම්මුතිය තුළ පිහිටාගෙනය. සම්මුතියෙන් තොරව කර්මය පැහැදිලි කර දිය නොහැකිය. සූත්‍ර දේශනාවේ පේළිවලින් ඉතා මැනවින් කර්මය නොකරන්නාට විපාක නොලැබෙන බවත්, කර්මය කරන්නාටම විපාක ලැබෙන බවත් දක්වා ඇත. දෝෂ රහිත, අඩුපාඩු නැති කෙනෙක් වෙනුවෙන් යම් විපතක් හෝ කරදරයක් කළහොත් එහි දරුණු විපාක ඔහුටම ලැබෙන බවද සඳහන් කර ඇත.

​එයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක:

​"යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති

සුද්ධස්ස පෝසස්ස අනංගනස්ස

තමේව බාලං පච්චේති පාපං

සුඛුමෝ රජෝ පටිවාතංව ඛිත්තෝ"

​(කිසිවෙකුට වරදක් දෝෂයක් නොකරන, නිරාපරාධ, කෙලෙස් නැති සත්ත්වයෙකුට යමෙක් වරදක් කරයි නම්, ඒ පාපයම උඩු සුළඟට දැමූ සියුම් දූවිල්ලක් සේ දුක් විපාක වශයෙන් ඒ අඥානයා වෙතම ආපසු පැමිණෙයි.)

​සූත්‍ර දේශනා විස්තරය සහ ආශ්‍රිතව කරන ලද මෙම කර්ම විපාක විස්තරය මෙයින් අවසානය.