ඉතිවුත්තක පාලිය - තික නිපාතය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.
“තිස්සෝ ඉමා, භික්ඛවේ, වේදනා. කතමා තිස්සෝ? සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛමසුඛා වේදනා. ඉමා ඛෝ, භික්ඛවේ, තිස්සෝ වේදනා”ති.
මහණෙනි, මේ වේදනා තුනකි. එම වේදනා තුන කවරේද? සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛමසුඛා (දුක් නැති, සැප නැති, මැදහත්) වේදනාව. මහණෙනි, මේවා ත්‍රිවිධ වේදනාවෝය.
අතිරේක විස්තරය
වේදනා යනු අරමුණු රසය විඳියි යන තේරුම ඇති වචනයකි. අරමුණෙහි ඇති රසය අනුභව කරන්නේ ද වේදනාවය. එම වේදනාව සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව යනුවෙන් කොටස්වලට බෙදෙයි.
සැප වේදනාව යනු කුමක්ද?
සැප සහගත ස්පර්ශයකින් හටගන්නා වූ වේදනාව සැප වේදනාව යන නමින් හඳුන්වනු ලැබේ. 'සුඛං සෝමනස්සං' යනුවෙන් ද සැප වේදනාව හඳුන්වයි. සුඛං යනු කායික සැපයයි. සෝමනස්සං යනු මානසික සැපයයි. ප්‍රිය වූ, මිහිරි වූ විඳීම සැප වේදනාවය.
දුක් වේදනාව යනු කුමක්ද?
දුක් සහගත වූ ස්පර්ශයෙන් දුක් වේදනාව හටගනී. දුක් වේදනාව යනු කායික දුක සහ මානසික දුක හැඳින්වීමට භාවිතා කරන වචනයකි. දුක විඳිනවා යන අර්ථයෙන් දුක් වේදනාව යැයි කියනු ලැබේ. දුක් සහගත අරමුණක ඇති දුක් ස්වභාවය අනුභව කරන්නේ දුක් වේදනාවයි. දුක් වේදනාව උපදින විට මුළු ශරීරයම කලඹන්නාක් මෙන්, මිරිකන්නාක් මෙන්, මුළු ශරීරයෙහිම පැතිරෙන්නාක් මෙන් ද, රත් වූ කබලක් ඇතුල් කරන්නාක් මෙන් ද, උණු කරන ලද තඹ ලෝහ වක් කරන්නාක් මෙන් ද අනේ දුකයි, අනේ දුකයි යනුවෙන් විකාර දොඩවමින්ම උපදී.
උපේක්ෂා වේදනාව යනු කුමක්ද?
සැපයක් නොවන, දුකත් නොවන වේදනාව උපේක්ෂා වේදනාවයි. එය හඳුනාගැනීම අපහසුය. එම වේදනාව අපැහැදිලිය, එම වේදනාව අඳුරු සහගතය, එම වේදනාව අප්‍රකටය. ඒ අදුක්ඛමසුඛ වේදනාව, දුක් වේදනාව සහ සැප වේදනාව ඉවත් වූ විට මිහිරි-අමිහිරි දෙක ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් මධ්‍යස්ථ ආකාරයකින් යුක්ත වෙයි. උපේක්ෂා වේදනාව 'මිග පද ව්‍යංජනයෙන්' දතයුතු බව අටුවාවේ සඳහන් වෙයි. මුවෙක් වනාන්තරයේ ඇවිදගෙන යයි. පසුව එම මුවා ගල්තලාවක් උඩට නගියි. පසුව ගල්තලාවෙන් බැස වනය තුළට යයි. මුවා අල්ලා ගනු කැමැති මිනිසෙකු මුවාගේ අඩි සලකුණු ඔස්සේ මුවා සොයාගෙන එයි. ගල ළඟට ආවාට පසු අඩි සලකුණු දක්නට නොලැබේ. ඉන්පසු එම තැනැත්තා ගල්තලාවෙන් මුවා බැසගෙන ගොස් ඇත්තේ කිනම් පැත්තට දැයි ගල්තලාව හාත්පස පරීක්ෂා කර බලයි. එවිට මුවා ගිය මාවතේ අඩි සලකුණු නැවත හමුවෙයි. ඒ අනුව මුවා මෙතැනින් ගලේ උඩට නැග මේ දක්වා පැමිණෙන්නට ඇතැයි අනුමාන කරයි. අන්න ඒ ආකාරයෙන් යම් මොහොතකදී සැප වේදනාවක් නොපවතී, දුක් වේදනාවකුත් නොපවතී ද, මේ පවතින්නේ සැපත් නැති, දුකත් නැති මධ්‍යස්ථ වූ හෙවත් උපේක්ෂා වේදනාවය කියා නුවණින් දැනගත යුතුය.
වේදනා විමසුම
“ලක්ඛණංච අධිට්ඨානං - උප්පත්ති අනුසයෝ තථා
ඨානං පවත්ති කාලෝ ච - ඉන්ද්‍රියංච ද්විධාදිතා”
ලක්ෂණය ද, අධිෂ්ඨානය ද, උප්පත්තිය ද, අනුසය ද, ස්ථානය ද, පවතින කාලය ද, ඉන්ද්‍රිය ද, හේතු දෙයාකාර බව ද යනුවෙන් වේදනාවේ විස්තර දත යුතුය.
1. ලක්ෂණය
විඳින ස්වභාවය වේදනාවේ ලක්ෂණයයි. “වේදයතීති වේදනා” – විඳින නිසා වේදනාව යැයි කියනු ලැබේ (ඛජ්ජනීය සූත්‍රය). අරමුණෙහි ඇති රසය විඳින්නා වේදනාවය.
2. අධිෂ්ඨානය
අධිෂ්ඨානය යනු ආසන්නම කාරණාවයි. වේදනාවට ආසන්නම කාරණාව ස්පර්ශයයි. “ඵස්ස පච්චයා වේදනා” (ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව හටගනී) යන පාඨයෙන් ඒ බව සනාථ වෙයි. සැප වේදනාවට හේතුව සැප සහගත වූ ස්පර්ශයයි. දුක් වේදනාවට හේතුව දුක් සහගත වූ ස්පර්ශයයි. උපේක්ෂා වේදනාවට හේතුව සැපත් නැති, දුකත් නැති මධ්‍යස්ථ ස්පර්ශයයි.
ස්පර්ශය හම ඉවත් කරන ලද එළදෙනකගේ උපමාවෙන් දත යුතුය. මිනිසුන් පිරිසක් විසින් එළදෙනකගේ හම ඉවත් කරනු ලබයි. ඉන්පසු එළදෙනට කැමති තැනකට යාමට අවස්ථාව ලබාදෙයි. එම එළදෙන පළමුවෙන්ම බිත්තියක් අසලට ගමන් කරයි. බිත්තියෙහි සිටින සතුන් ඇවිදින් ඇයව කන්නට පටන් ගනියි. ඒ තුළින් මහත් වූ පීඩාවක් විඳියි. ඇය ගසක් මුලට යයි. ගස ඇසුරු කරගත් ප්‍රාණීහු ඇය කන්නට පටන් ගනිති. ඒ හේතුවෙන් ද එළදෙන මහත් පීඩාවක් ලබයි. ඇය ජලයට බැස ගනී. ජලයේ සිටින කිඹුලන්, මාළුන්, ඉබ්බන් ආදී සතුන් පැමිණ ඇයව කන්නට පටන් ගනිති. එයින් පීඩාවට පත් වූ එළදෙන එළිමහනකට ගමන් කරයි. එළිමහන ඇසුරු කරගත් සතුන් ඇයව කන්න පටන් ගනිති.
ස්පර්ශය ද හම ගලවන ලද එළදෙනක් බඳුය. ස්පර්ශය නිසා නිරන්තරයෙන්ම වේදනා හටගනී. එක ස්පර්ශයකින් එක වේදනාවක් හටගනී. ස්පර්ශය චෛතසිකයකි. චෛතසිකයක ආයු කාලය චිත්තක්ෂණ එකකි. එක ස්පර්ශයකින් හටගන්නා වූ වේදනාවෙන් එක චිත්තක්ෂණයක් පැවතී නැති වී යයි. ස්පර්ශය අනිත්‍ය නිසා වේදනාව ද අනිත්‍ය වෙයි.
3. උප්පත්තිය
උප්පත්තිය යනුවෙන් විස්තර කර දෙන්නේ ඉපදීමට හේතුවන කාරණාවයි. සැප වේදනාව ඉපදීමට හේතුව වන්නේ ඉෂ්ටාරම්මණ වූ හෙවත් තමන් කැමති, බලාපොරොත්තු වන ප්‍රියමනාප සත්ත්වයන් සහ සංස්කාරයන්ය. තමා කැමති සත්ත්ව, සංස්කාර නිසා සැප වේදනාව උපදී. දුක් වේදනාවේ ඉපදීමට හේතුව අනිෂ්ටාරම්මණ හෙවත් අකමැති වූ සත්ත්වයන් සහ සංස්කාරය. උපේක්ෂා වේදනාවේ උප්පත්ති කාරණාව ප්‍රියත් නැති, අමිහිරිත් නැති සත්ත්ව සංස්කාරයන්ය.
4. අනුසය
නිදාගෙන සිටින්නාක් මෙන් සිත තුළ පවතින ක්ලේශ ධර්මයන් අනුසය යන නමින් හඳුන්වනු ලැබේ. සැප වේදනාව තුළ රාගානුසය බැසගනී. සැප වේදනාව තුළ දිට්ඨානුසය ද බැසගනී. සැප වේදනා විඳින, ශාස්වත දෘෂ්ටිය තුළ පිහිටා සිටින සත්ත්වයෝ “මම සැප වේදනාව විඳිමි” යනුවෙන් හෝ “ආත්මය සැප වේදනා විඳී” යනුවෙන් හෝ ආත්ම දෘෂ්ටියට බැසගනිති. මානානුසය හේතු කරගෙන සැප වේදනා විඳින විට “මම අන් අයට වඩා උසස් ලෙස සැප වේදනා විඳින්නෙමි” යනුවෙන් සෙය්‍යමානය උපදවා ගනී. “මම අන් අය හා සමානවම සැප විඳිමි” කියා සදිසමානය උපදවා ගනී. “මම අන් අයට වඩා පහත් සේ වේදනාව විඳිමි” කියා හීනමානය උපදවා ගනී. මේ අනුව සැප වේදනාව තුළින් රාගානුසය, දිට්ඨානුසය ද, මානානුසය ද බැසගන්නා බව අවබෝධ කරගත යුතුය. දුක් වේදනාව තුළ පටිඝානුසය බැසගනී. පටිඝය යනු ව්‍යාපාදයට කියන තවත් නමකි. උපේක්ෂා වේදනාව තුළ අවිද්‍යානුසය බැසගනී. අවිද්‍යාව යනු මෝහයයි.
5. ඨාන (ස්ථානය)
ඨාන යනු ස්ථානයයි. හෙවත් වේදනාව පවතින තැනයි. “යස්මිං සමයේ කායිකං සුඛං කායසම්පස්සජං සාතං සුඛං වේදයිතං... යං තස්මිං සමයේ චේතසිකං සුඛං චේතෝසම්පස්සජං සාතං සුඛං වේදයිතං.”
එසමයෙහි යම් කායික සැපයක්, කාය ස්පර්ශයෙන් උපන් මිහිරි වූ විඳින සැපයක් ඇත් ද, එසමයෙහි යම් චෛතසික සැපයක්, චෛතසික ස්පර්ශයෙන් උපන් මිහිරි වූ විඳින සැපයක් ඇත් ද, මෙම පාලි පාඨය අනුව වේදනාවේ ස්ථානය තේරුම් ගත හැකිය.
6. පවත්ති කාලෝ (පවතින කාලය)
පවතින කාලය හෙවත් පවතින මොහොත අනුව වේදනාව තීරණය කරනු ලැබේ. සැප වේදනාවේ පවතින ස්වභාවය සැපයකි. එම සැප වේදනාව විපරිණාම වන (වෙනස් වන) මොහොත දුකකි. දුක් වේදනාවේ පවතින මොහොත දුකකි. දුක් වේදනාව විපරිණාම වන මොහොත සැපයකි. උපේක්ෂා වේදනාවේ දැනීම සැපයකි. උපේක්ෂා වේදනාවේ නොදැනීම දුකකි. මේ අනුව පවතින කාලය හෙවත් මොහොත තේරුම් ගත යුතුය.
7. ඉන්ද්‍රිය
වේදනාව ඉන්ද්‍රියවලට බෙදා දක්වා ඇත. සැප වේදනාව සුඛ ඉන්ද්‍රියට අයත් ය. දුක් වේදනාව දුක්ඛ ඉන්ද්‍රියට අයත් ය. සෝමනස්ස වේදනාව සෝමනස්ස ඉන්ද්‍රියට අයත් ය. දෝමනස්ස වේදනාව දෝමනස්ස ඉන්ද්‍රියට අයත් ය. උපේක්ෂා වේදනාව උපේක්ඛා ඉන්ද්‍රියට අයත් ය. මෙසේ වේදනාව ඉන්ද්‍රියන්ට බෙදා ඇත.
8. ද්විධාදිතා (ද්විධාදිය)
සියලු වේදනා විඳිනු ලබන අර්ථයෙන් මෙය ආකාර එකකි. සැප-දුක් වශයෙන් ආකාර දෙකකි. සැප-දුක්-උපේක්ෂා වශයෙන් ආකාර තුනකි. සතර යෝනි වශයෙන් ආකාර හතරකි. ගතිය හෙවත් උපදින ස්ථාන අනුව ආකාර පහකි. අරමුණු අනුව ආකාර හයකි. මෙසේ නොයෙක් ආකාර ඇත්තේය.
මෙසේ විස්තර සහිතව වේදනාව පිළිබඳව ප්‍රකීර්ණක කතාව දත යුතුය.
පඨම වේදනා සූත්‍රයේ ගාථා විග්‍රහය
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එම අර්ථය ගාථාවලින් ද මෙසේ කියනු ලැබේ:
සමාහිතෝ සම්පජානෝ
සතෝ බුද්ධස්ස සාවකෝ
වේදනාච පජානාති
වේදනානංච සම්භවං
සමාධිගත වූ සිත් ඇති, මනා නුවණ ඇති, සිහිය ඇති බුද්ධ ශ්‍රාවකයා වේදනාව ද දැනගනී, වේදනාව හටගැනීමට හේතුව ද දැනගනී.
යත්ථ චේතා නිරුජ්ඣන්ති
මග්ගඤ්ච ඛයගාමිනං
වේදනානං ඛයා භික්ඛු
නිච්ඡාතෝ පරිනිබ්බුතෝති
යම් තැනක වේදනාවෝ නිරුද්ධ වෙත් නම් ඒ නිර්වාණය ද, වේදනාව ක්ෂය කරන මාර්ගය ද දැනගනී. ඒ භික්ෂුව වේදනාව ක්ෂය කොට, ආසා රහිතව පිරිනිවන් පායි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.
පඨම වේදනා සූත්‍රය අවසානය.