පොත් ලැයිස්තුව

ශබ්ද, ගන්ධ සහ රස රූප

star_outline

​පෙර සඳහන් කරන ලද සෝත ප්‍රසාදයෙහි හැපෙන හෝ ගැටෙන ශබ්දයෝ 'ශබ්ද රූප' නමින් හඳුන්වයි. මිනිසෙකු, සතෙකු හෝ ඇසට නොපෙනෙන දිව්‍ය, බ්‍රහ්ම, යක්ෂ, භූත ආදී සජීවී සත්වයෙකු විසින් නඟනු ලබන ශබ්ද මෙන්ම, මිනිසුන් විසින් සකස් කරන ලද උපකරණවලින් (සංගීත භාණ්ඩ ආදියෙන්) නැඟෙන ශබ්ද ද 'චිත්තජ ශබ්ද' නමින් හඳුන්වනු ලබයි. 'චිත්තජ' යන්නෙහි අර්ථය සිතින් උපන් හෙවත් සිත මුල් කරගෙන හටගත් ශබ්දය යන්නයි. එසේම සුළඟ, අව්ව, වැස්ස, පින්න ආදී ස්වභාවික ඍතු විපර්යාසයන් නිසා ඇති වන ශබ්ද 'ඍතුජ ශබ්ද' නමින් හඳුන්වනු ලබයි.

​ඝාණ ප්‍රසාදයෙහි හැපෙන හෝ ගැටෙන ගඳ සහ සුවඳ 'ගන්ධ රූපය' නමින් හඳුන්වයි.

​ජිව්හා ප්‍රසාදයෙහි හැපෙන හෝ ගැටෙන රසයන් 'රස රූපය' නමින් හඳුන්වයි. එය තිත්ත රසය, කටුක රසය, පැණි රසය, ඇඹුල් රසය, ලුණු රසය ආදී නොයෙක් ප්‍රභේදයන්ගෙන් යුක්ත වේ.

​ස්පර්ශ රූපය

​ධර්මානුකූලව 'ස්පර්ශ රූපය' කියා වෙනම රූපයක් නැත. පඨවි, තේජෝ, වායෝ යන මහා භූත රූප තුනෙහි එකතුව 'ස්පර්ශය' ලෙස හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස, ජල බඳුනකට අත දමා එය සෙලවීම සිදු කරන්න. එවිට ඔබට ජලයෙහි ඇති තද ගතිය, ගොරෝසු ගතිය, මෘදු ගතිය හෝ හැපෙන ගතිය දැනෙනු ඇත; එය ජලයෙහි ඇති පඨවි ධාතුවයි. එසේම ජලයේ පවතින උණුසුම් බව හෝ සීතල බව ඔබට දැනෙනු ඇත; එය ජලයෙහි ඇති තේජෝ ධාතුවයි. ජලය තුළ අත සෙලවෙන ආකාරය සහ ජලයේ චලනය ඔබට දැනෙනු ඇත; එය ජලයෙහි ඇති වායෝ ධාතුවයි.

​ජලය යනු ප්‍රධාන වශයෙන් ගත් කල්හි ආපෝ ධාතුවකි. එසේ වුවත් ජලයට අත දැමූ විට ආපෝ ධාතුව අපට ස්පර්ශ නොවේ. එහිදී ස්පර්ශ වන්නේ පඨවි, තේජෝ සහ වායෝ යන ධාතූන් පමණි. ස්පර්ශය පිළිබඳ මෙම ගැඹුරු විග්‍රහය තේරුම් ගෙන සිටීම යථාර්ථය දැකීමට ඉතා වටින්නේය.