පොත් ලැයිස්තුව

නත්‍ථිපුත‍්තසුත‍්තං

star_outline

සංයුත‍්තනිකායො සගාථවග‍්ගො. දෙවතාසංයුත‍්තං. නන්‍දනවග‍්ගො

​"නත්ථි පුත්ත සමං පේමං, නත්ථි ගෝ සමිතං ධනං, නත්ථි සූරිය සමා ආභා, සමුද්ද පරමා සරාති."

​අර්ථය:

පුත්‍ර ප්‍රේමය හා සමාන වූ වෙනත් ප්‍රේමයක් නැත. ගව සම්පත හා සමාන වූ වෙනත් ධනයක් නැත. සූර්යයා හා සමාන වූ වෙනත් ආලෝකයක් නැත. මුහුද හා සමාන වූ වෙනත් විලක් නැත.

​නත්ථි පුත්ත සමං පේමං.

පුත්‍ර ප්‍රේමය හා සමාන වූ ප්‍රේමයක් නැතැයි දෙවි කෙනා පවසයි. මවුපියන්ට දාව විරූපී දරුවෙක් ලැබුණහොත් රත්තරන් පිළිමයක් සේ සිතමින් ආදරයෙන් පිළිගනියි. මල් මාලාවක් හිස මත තබා ගන්නා සේ, වරින් වර දරුවා ආදරයෙන් හිස මත තබා ගනියි. දරුවා මළ-මුත්‍ර බැහැර කළ කල්හි, සුවඳවත් වූ දෙයක් බැහැර කළාක් මෙන් සිනහමුසු මුහුණින් ඒවා පිරිසිදු කරයි. එබැවින් දරු සෙනෙහස හා සමාන වූ ප්‍රේමයක් ලෝකයෙහි නැතැයි දෙවි කෙනා පවසයි.

​නත්ථි ගෝ සමිතං ධනං.

ගවයන් හා සමාන වූ වෙනත් ධනයක් නැතැයි දෙවි කෙනා සඳහන් කරයි. ගවයා නිසා මිනිසුන් බොහෝ සම්පත් ලබා ගනියි. කිරි ටික දොවා ගනියි, ඒවා පානය කරයි. දොවා ගත් කිරි මුදවා ගනියි. මිදුණු කිරි අනුභව කරයි. කිරි උණු කරන අවස්ථාවේදී එයට ඇඹුල් එකතු කොට කැටි ගස්සවා වෙඬරු හෙවත් බටර් හෝ චීස් හෝ සකසා ගනියි. කිරි උණු කරන අවස්ථාවේදී යොදය ඉවත් කර ගෙන එම යොදය භාවිතා කරමින් එළඟි තෙල් සකසා ගනියි. මිදුණු කිරි බඳුනකට දමා, කිරිමෙන් දස ගුණයක් වතුර එකතු කොට රතුළූණු, අමුමිරිස්, ලුණු ආදිය යොදා හොඳින් කලවම් කර මෝරු සකස් කර ගනියි. ඒවා පානය කිරීමෙන් කායික ශක්තියද, නුවණද, වැටහීමද ලබන බව පැරණි පොතපතෙහි සඳහන් වෙයි. මෙසේ පස් ගෝ රස ලැබෙන බැවින් ගවයා මහත් සම්පතකි. ගොවිතැන් කටයුතු ආදියටද එකල බහුල ලෙස ගවයෝ යොදා ගත්හ. බඩු එහා මෙහා ගෙන යාමටද, කරත්ත ඇදගෙන යාමටද ගවයෝ උපකාර වූහ. එබැවින් ගව සම්පත ඉතා වටින්නේය.

නත්ථි සූරිය සමා ආභා.

සූර්යයා හා සමාන වූ වෙනත් ආලෝකයක් නැත. මෙහිදී දෙවි කෙනා ලොව ඇති ප්‍රධානම ආලෝකය සූර්යාලෝකය බව සඳහන් කරයි.

​සමුද්ද පරමා සරා.

මුහුද තරම් විශාල වූ වෙනත් විලක් නැති බව සඳහන් කරයි. ලෝකයේ කොතෙක් විල් තිබුණද, එම සෑම විලකටම වඩා මුහුද විශාලය. ලොව ඇති විශාලම ජල නිධානය මුහුදයි. ඒ හේතු කරගෙන දෙවි කෙනා එසේ පවසන ලදී.

​ඉන්පසු, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අදහස ද ගාථාවකින් දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු දේශනාව

​"නත්ථි අත්ත සමං පේමං, නත්ථි ධඤ්ඤ සමං ධනං, නත්ථි පඤ්ඤා සමා ආභා, වුට්ඨීවේ පරමා සරා."

​අර්ථය:

ආත්ම ප්‍රේමය හා සමාන වූ ප්‍රේමයක් නැත. ධාන්‍ය වර්ග හා සමාන වූ වෙනත් ධනයක් නැත. ප්‍රඥාව හා සමාන වූ වෙනත් ආලෝකයක් නැත. වැස්ස ලෝකයේ ලොකුම විලයි.

ගාථා විස්තරය

​නත්ථි අත්ත සමං පේමං.

ආත්ම ප්‍රේමය හා සමාන වූ ප්‍රේමයක් නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. සමහර මවුපියෝ ඇතැම් අවස්ථාවල දරුවන් අතහැර දමා, දරුවන් පෝෂණය නොකර තමා පමණක් පෝෂණය කරති. මෙයින් පැහැදිලි වන්නේ මේ ලෝකයේ තමා වැඩියෙන්ම ආදරය කරන්නේ තමාටම බවයි.

​දිනක් කොසොල් මහ රජතුමා සිරියහන් ගබඩාවේදී මල්ලිකා දේවියගෙන් මෙසේ විමසුවේය: "දේවිය, ඔබ මේ ලෝකයේ වැඩියෙන්ම ප්‍රිය කරන්නේ කාටද?" එවිට මල්ලිකා දේවිය ලබා දුන් පිළිතුර රජතුමාව මවිතයට පත් කරවීය: "මහ රජතුමනි, මම මේ ලෝකයෙහි වැඩියෙන්ම ප්‍රිය කරන්නේ, ආදරය කරන්නේ මටමය."

​මෙම පිළිතුරෙන් යම් නොසතුටකට පත් රජතුමා බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් මෙසේ විමසීය: "ස්වාමීනි, මේ ලෝකයේ කෙනෙක් වැඩියෙන්ම ප්‍රිය කරන්නේ කාටද?" එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක: "මහ රජතුමනි, මේ ලෝකයේ සිටින අය වැඩියෙන්ම ප්‍රිය කරන්නේ තමාටමය. දස දිසාවන්හි සොයා බැලුවත් තමා, තමාට වඩා ප්‍රිය කරන කෙනෙකු සොයා ගත නොහැකිය." එබැවින් ආත්ම ප්‍රේමයම අන් සියලු ප්‍රේමයන් පරදවන්නේය. තමා වැඩිපුරම තමාට ප්‍රිය කරන බැවින්, මෛත්‍රී භාවනා වැඩීමේදීද පළමුවෙන්ම මෙත් වඩන්නේ තමාටය.

නත්ථි ධඤ්ඤ සමං ධනං.

ධාන්‍යවලට සමාන වූ වෙනත් ධනයක් නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ගවයන්, යාන වාහන, රන් රිදී මුතු මැණික් සහ ගේදොර වතුපිටි, ඉඩකඩම් මිනිසුන් සතු වටිනා වස්තූහු වෙති. එහෙත් ධාන්‍ය වර්ග සපයා ගැනීමට නොහැකි වුවහොත්, සත්වයාට කුසගින්නේ ජීවත් වීමට සිදුවේ. ධාන්‍ය වර්ග ලබා ගැනීම සඳහා මිනිසුන් ආහාරපාන පිණිස ගේදොර වතුපිටි ඉඩකඩම් පවා විකුණා දමති. රන් රිදී මුතු මැණික් වියදම් කරති. මෙයින් පැහැදිලි වන්නේ ලෝකයේ වටිනාම ධනය ධාන්‍ය වර්ගම වන බවයි.

නත්ථි පඤ්ඤා සමා ආභා.

ප්‍රඥාව හා සමාන වූ වෙනත් ආලෝකයක් නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙහිදී ප්‍රඥාව යනු කුමක්දැයි විමසා බැලිය යුතුය. ප්‍රඥාව යනු නුවණට කියන නමකි. අලෝභ, අදෝස, අමෝහ යනුවෙන් කුසල මූලයෝ තිදෙනෙකි. එම කුසල මූලයන්ගෙන් 'අමෝහ' යනුවෙන් හඳුන්වන්නේ ප්‍රඥාවයි. කර්මය සහ කර්ම ඵලය පිළිබඳ අවබෝධය 'කම්මස්සකතා ඥානය' නම් වූ ප්‍රඥාවයි. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ අවබෝධය 'චතුසච්ච ඤාණ' ප්‍රඥාවයි.

​ප්‍රඥාව ඉපදීමට හේතුවන ධර්මතා ඇත. කුසල අකුසල ධර්ම, සාවද්‍ය අනවද්‍ය හෙවත් වැරදි නිවැරදි ධර්ම, යහපත පිණිස පවතින ධර්ම සහ අයහපත පිණිස පවතින ධර්ම යන මෙබඳු ධර්මයන් කෙරෙහි යෝනිසෝමනසිකාරය බහුල කිරීමෙන් ප්‍රඥාව උපදී.

වුට්ඨීවේ පරමා සරා.

වැස්ස ලොකුම ජල නිධානයයි. වැස්ස වැටීම හා සමාන වූ වෙනත් ජල නිධානයක් නැත. වැස්ස සම්පූර්ණයෙන්ම නැවතුණහොත් මහ මුහුද ද සිඳී යන්නේය. වැස්ස වැඩි වූ අවස්ථාවන්හිදී ආභස්සර බ්‍රහ්ම ලෝකය දක්වා ද එකම ජල කඳක් බවට පත් වන්නේය. එබැවින් බුදුරජාණන් වහන්සේ "වැස්ස පරම විලයි" යනුවෙන් දේශනා කළ සේක.