සූර්යයා හා සමාන වූ වෙනත් ආලෝකයක් නැත. මෙහිදී දෙවි කෙනා ලොව ඇති ප්‍රධානම ආලෝකය සූර්යාලෝකය බව සඳහන් කරයි.
සමුද්ද පරමා සරා.
මුහුද තරම් විශාල වූ වෙනත් විලක් නැති බව සඳහන් කරයි. ලෝකයේ කොතෙක් විල් තිබුණද, එම සෑම විලකටම වඩා මුහුද විශාලය. ලොව ඇති විශාලම ජල නිධානය මුහුදයි. ඒ හේතු කරගෙන දෙවි කෙනා එසේ පවසන ලදී.
ඉන්පසු, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අදහස ද ගාථාවකින් දේශනා කළ සේක.
බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු දේශනාව
"නත්ථි අත්ත සමං පේමං, නත්ථි ධඤ්ඤ සමං ධනං, නත්ථි පඤ්ඤා සමා ආභා, වුට්ඨීවේ පරමා සරා."
අර්ථය:
ආත්ම ප්‍රේමය හා සමාන වූ ප්‍රේමයක් නැත. ධාන්‍ය වර්ග හා සමාන වූ වෙනත් ධනයක් නැත. ප්‍රඥාව හා සමාන වූ වෙනත් ආලෝකයක් නැත. වැස්ස ලෝකයේ ලොකුම විලයි.
ගාථා විස්තරය
නත්ථි අත්ත සමං පේමං.
ආත්ම ප්‍රේමය හා සමාන වූ ප්‍රේමයක් නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. සමහර මවුපියෝ ඇතැම් අවස්ථාවල දරුවන් අතහැර දමා, දරුවන් පෝෂණය නොකර තමා පමණක් පෝෂණය කරති. මෙයින් පැහැදිලි වන්නේ මේ ලෝකයේ තමා වැඩියෙන්ම ආදරය කරන්නේ තමාටම බවයි.
දිනක් කොසොල් මහ රජතුමා සිරියහන් ගබඩාවේදී මල්ලිකා දේවියගෙන් මෙසේ විමසුවේය: "දේවිය, ඔබ මේ ලෝකයේ වැඩියෙන්ම ප්‍රිය කරන්නේ කාටද?" එවිට මල්ලිකා දේවිය ලබා දුන් පිළිතුර රජතුමාව මවිතයට පත් කරවීය: "මහ රජතුමනි, මම මේ ලෝකයෙහි වැඩියෙන්ම ප්‍රිය කරන්නේ, ආදරය කරන්නේ මටමය."
මෙම පිළිතුරෙන් යම් නොසතුටකට පත් රජතුමා බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් මෙසේ විමසීය: "ස්වාමීනි, මේ ලෝකයේ කෙනෙක් වැඩියෙන්ම ප්‍රිය කරන්නේ කාටද?" එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක: "මහ රජතුමනි, මේ ලෝකයේ සිටින අය වැඩියෙන්ම ප්‍රිය කරන්නේ තමාටමය. දස දිසාවන්හි සොයා බැලුවත් තමා, තමාට වඩා ප්‍රිය කරන කෙනෙකු සොයා ගත නොහැකිය." එබැවින් ආත්ම ප්‍රේමයම අන් සියලු ප්‍රේමයන් පරදවන්නේය. තමා වැඩිපුරම තමාට ප්‍රිය කරන බැවින්, මෛත්‍රී භාවනා වැඩීමේදීද පළමුවෙන්ම මෙත් වඩන්නේ තමාටය.