ප්‍රඥාව හා සමාන වූ වෙනත් ආලෝකයක් නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙහිදී ප්‍රඥාව යනු කුමක්දැයි විමසා බැලිය යුතුය. ප්‍රඥාව යනු නුවණට කියන නමකි. අලෝභ, අදෝස, අමෝහ යනුවෙන් කුසල මූලයෝ තිදෙනෙකි. එම කුසල මූලයන්ගෙන් 'අමෝහ' යනුවෙන් හඳුන්වන්නේ ප්‍රඥාවයි. කර්මය සහ කර්ම ඵලය පිළිබඳ අවබෝධය 'කම්මස්සකතා ඥානය' නම් වූ ප්‍රඥාවයි. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ අවබෝධය 'චතුසච්ච ඤාණ' ප්‍රඥාවයි.
ප්‍රඥාව ඉපදීමට හේතුවන ධර්මතා ඇත. කුසල අකුසල ධර්ම, සාවද්‍ය අනවද්‍ය හෙවත් වැරදි නිවැරදි ධර්ම, යහපත පිණිස පවතින ධර්ම සහ අයහපත පිණිස පවතින ධර්ම යන මෙබඳු ධර්මයන් කෙරෙහි යෝනිසෝමනසිකාරය බහුල කිරීමෙන් ප්‍රඥාව උපදී.