සුදුසු ප්‍රදේශය යනු භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසම වාසය කරන ප්‍රදේශයන්ය. දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් පවතින්නා වූ ප්‍රදේශයන්ය. නවාංග ශාස්තෘ ශාසනය හෙවත් ත්‍රිපිටක ධර්මය ජීවමානව පවතින ප්‍රදේශයන්ය. අනුත්තරිය ධර්ම හය මුණගැසෙන ප්‍රදේශයන්ය. එබඳු ප්‍රදේශවල වාසය කරන සත්ත්වයන්ට පුණ්‍ය ක්‍රියා කිරීමට අවස්ථාව සැලසෙයි. එබැවින් සුදුසු ප්‍රදේශයක වාසය කිරීම මංගල කාරණාවකි.
ශ්‍රී ලංකාදීපයද පෙර සඳහන් කරන ලද ලක්ෂණයන්ගෙන් යුක්ත බැවින් පතිරූප දේශයකි. එබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත වූ බුරුමය, තායිලන්තය වැනි රටවල්ද පතිරූප දේශයන්ය. තවද සිව්වනක් පිරිස සිටින්නා වූ, ත්‍රිපිටක ධර්මය පවතින්නා වූ, දානාදී පුණ්‍ය ක්‍රියා කරන අය සිටින්නා වූ, අනුත්තරිය ධර්ම හය ලැබෙන්නා වූ ප්‍රදේශයෝ වෙත්නම් ඒවාද පතිරූප දේශයෝ වෙති. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා සහ ශ්‍රාවකයන් වහන්සේලා පහළ වන්නේ ද පතිරූප දේශයන්හිය. එබඳු ප්‍රදේශවල උපන් කල්හි, බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව කටයුතු කර දෙව්ලොව උපදින සත්ත්වයෝද, නිවනට පත්වන සත්ත්වයෝද සිටිති.
පුබ්බේච කත පුඤ්ඤතා (පෙර කරන ලද පින් ඇති බව)
පෙර කරන ලද පින් ඇති බව උතුම් මංගල කාරණාවකි. අතීත ජාතීන්හිදී බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන රැස්කර ගන්නා ලද කුසල ධර්මයන් ඇති බව, මෙලොව යහපතටත්, පරලොව සුගතියටත්, නිර්වාණාවබෝධයටත් සමර්ථ වන්නා වූ මංගල කාරණාවකි.
කුමන කරුණක් නිසාද යත්, බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා සම්මුඛ වී උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කොට, උන්වහන්සේලාගෙන් ධර්මශ්‍රවණය කොට ලබන ලද කුසල කර්ම බලයෙන්, අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් ඉතා උත්සන්න වූ කුසල ධර්ම සිදුකර ගත හැකිය. එම කුසල කර්මයන් අනාගතයේදී සිව්පද ගාථාවක් ඇසූ පමණින්ම ධර්මාවබෝධය කර ගැනීමට තරම් සමර්ථ වූ බලසම්පන්න කුසලයෝ වෙති.
අප බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි එබඳු පෙර කරන ලද කුසල කර්ම ඇති බොහෝ සත්ත්වයෝ, එම කුසල මූලයන් හේතු කරගෙන විදර්ශනාව වඩා කෙලෙස් දුරු කළහ. මහා කප්පින මහ රජතුමා සහ මහා කප්පින අග්ගමහේසිකාව යනාදීහු එබඳු සත්පුරුෂයන් අතර වෙති.