ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං
පුට්ඨස්ස ලෝකධම්මේහි චිත්තං යස්ස න කම්පති (අටලෝ දහමින් කම්පා නොවීම)
ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රශංසා, සැප-දුක යන අටලෝ දහමෙහි පහස ලද විට, යමෙකුගේ සිත කම්පාවට පත් නොවේ නම්, එය මංගල කාරණාවකි. අටලෝ දහමේ ස්පර්ශය ලැබුණ විට, බොහෝ දෙනාගේ සිත කම්පනයට පත් වෙති; චලනය වෙති; පීඩාවට පත් වෙති. රහතන් වහන්සේලාගේ සිත අටලෝ දහම අභියස කම්පා නොවේ. එබැවින් උන්වහන්සේලා තාදී ගුණයෙන් යුක්තය.
රහත් ඵලය අවබෝධ කර නොගත්තා වූ අප විසින් ද අටලෝ දහමට මුහුණ දෙන අවස්ථාවලදී, "මෙය අනිත්‍ය වූ ධර්මයකි; වෙනස් වන ධර්මයකි; සදාකාලික නොවන ධර්මයකි" යනුවෙන් නුවණින් සිතා, කම්පාවට පත් නොවී සිටීමට වෙහෙසිය යුතුය.
අසෝකං විරජං ඛේමං
අසෝකං යනු ශෝක නොකිරීමය; ශෝකය නැමැති උල් උදුරා දැමීමය.
විරජං යනු කෙලෙස් දූවිලි නැති බවය; දුරු කරන ලද කෙලෙස් ඇති බවය.
ඛේමං යනු බය නැති බවය; උපද්‍රව නැති බවය.
මෙම වචන රහතන් වහන්සේලාගේ සිත හැඳින්වීම සඳහා යොදා ඇත. මෙම ගාථාවෙන් සඳහන් වන්නේම රහතන් වහන්සේගේ උතුම් ස්වභාවය පිළිබඳවයි.