යහපත් දැක්මයි සිතුමයි හොඳ වචනයි කර්මයි
සිත ආජීවයෙහි වැරයයි හොඳ සිහියයි සමාධියයි
මග මේ අටගෙන් යුක්තයි නමින් අරිය අටගි මගයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ උදාර මාර්ග අංග අටටයි.
සම්මා දිට්ඨිය (යහපත් දැක්ම): දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය පිළිබඳව ඇති වන නිවැරදි අවබෝධය සම්මා දිට්ඨියයි. චතුරාර්ය සත්‍යය පිළිබඳව ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඇති කරගන්නා 'සුතමය ඥානයත්', ඒ ඇසූ ධර්මය පිළිබඳව තැන්පත් සිතින් ඥානාන්විතව සිතීමෙන් ඇති කරගන්නා 'චින්තාමය ඥානයත්' අපි පළමුවෙන්ම අප තුළ ඇති කරගන්නට ඕනේ.
සම්මා සංකප්පය (යහපත් සිතුම): කාම සංකල්ප (කාමයන්හි ඇලෙන සිතුවිලි), ව්‍යාපාද සංකල්ප (තරහව සහ ක්‍රෝධය සහගත සිතුවිලි), විහිංසා සංකල්ප (අනුන් පෙළීමේ සිතුවිලි) කියන වැරදි සංකල්පනා සහ අකුසල් සිතුවිලි මුළුමනින්ම බැහැර කොට; නෙක්ඛම්ම සංකල්පය (නික්මීමේ සිතුවිලි), අව්‍යාපාද සංකල්පය (මෛත්‍රී සිතුවිලි) සහ අවිහිංසා සංකල්පය (කරුණා සහගත සිතුවිලි) යන යහපත් සංකල්පනා, යහපත් සිතුවිලි දියුණු කර ගැනීම සම්මා සංකප්පයයි.
සම්මා වාචා (හොඳ වචන): බොරු කීම (මුසාවාද), කේලාම් කීම (පිසුණාවාචා), පරුෂ වචන කීම (ඵරුසාවාචා) සහ හිස් වචන කීම (සම්ඵප්පලාප) යන වචී දුෂ්චරිතයන්ගෙන් වෙන් වී; බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම සහ හිස් වචන කීමෙන් වැළකීම යන වචී සුචරිතයෙහි මැනවින් යෙදීම සම්මා වාචා නමින් හඳුන්වනවා.
සම්මා කම්මන්තය (හොඳ කර්ම): සතුන් මැරීම (පණිවාත), සොරකම් කිරීම (අදින්නාදාන) සහ කාමයන්හි වරදවා හැසිරීම (කාමේසුමිච්ඡාචාර) යන කාය දුෂ්චරිතයන්ගෙන් වෙන් වී; සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම සහ කාම මිථ්‍යාචාරයෙන් වැළකීම යන ත්‍රිවිධ කාය සුචරිතයෙහි යෙදීම සම්මා කම්මන්තයයි.
සම්මා ආජීවය (යහපත් ජීවිකාව): තමා ජීවත් වීම සඳහා සිදු කරනු ලබන අධාර්මික වෙළඳාම් (විෂ වෙළඳාම, සත්ව ඝාතනය සඳහා සතුන් වෙළඳාම, ආයුධ වෙළඳාම, ඝාතනය කර මස් වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම) ආදිය සිදු නොකර, අනුන්ට හෝ තමාට හානියක් නොවන ධර්මානුකූල වූ පිරිසිදු රැකියාවක් කිරීම සම්මා ආජීවයයි.
සම්මා වායාමය (යහපත් වැරය): (නූපන් අකුසල් නූපදවීමට, උපන් අකුසල් ප්‍රහීණ කිරීමට, නූපන් කුසල් උපදවීමට හා උපන් කුසල් වර්ධනය කිරීමට කරනු ලබන වීර්යයයි).
සම්මා සතිය (හොඳ සිහිය): සතර සතිපට්ඨාන භාවනාවන් මැනවින් ඉගෙනගෙන, එම භාවනා අරමුණු තුළම තමාගේ සිහිය මනාකොට පැවැත්වීම සම්මා සතියයි. සතිපට්ඨානයට අයිති (කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන කොටස්වලින්) එක භාවනාවක් හෝ ඉගෙනගෙන, ඒ අරමුණ තුළ සිහිය මැනවින් පැවැත්වීමෙන් සම්මා සතිය වර්ධනය වෙනවා.
සම්මා සමාධිය (හොඳ සමාධිය):
"වොස්සග්ගාරම්මණං කරිත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස ඒකග්ගතං - අයං සම්මා සමාධි"
'වොස්සග්ග' යනු අමා මහ නිවනට කියන තවත් උදාර නමකි. නිවනම අරමුණු කරගෙන, සමථ.. විදර්ශනා භාවනාවන් වඩා ලබාගන්නා වූ යම් ශාන්ත සමාධියක් වේද, සිතේ පවතින යම් ඒකාග්‍රතාවයක් (එකඟ බවක්) වේද, එය සම්මා සමාධිය නමින් හඳුන්වනු ලබනවා.