කාමං කාමයමානස්ස,
තස්ස චෙ තං සමිජ්ඣති;
අද්ධා පීතිමනො හොති,
ලද්ධා මච්චො යදිච්ඡති.
වස්තු කාමයට කැමති වන පුද්ගලයා හට, එම කාමය සමෘද්ධ වන්නේ නම්, එවිට එම සත්වයා යමක් කැමති වන්නේ නම්, එම කැමති වන දෙය ලබා ඒකාන්තයෙන්ම සතුටු සිත් ඇත්තේ වෙයි.
ධර්මාර්ථ විස්තරය:
වස්තු කාමය යනු ප්‍රිය මනාප වූ, චක්ඛු විඤ්ඤාණයෙන් දත යුතු රූපයයි, සෝත විඤ්ඤාණයෙන් දත යුතු ශබ්දයයි, ඝාන විඤ්ඤාණයෙන් දත යුතු ගඳ සුවඳයි, ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු රසයයි, කාය විඤ්ඤාණයෙන් දත යුතු ස්පර්ශයයි, මනෝ විඤ්ඤාණයෙන් දත යුතු සිතුවිලියි. එම ප්‍රියමනාප වූ යම් යම් වස්තූන් වස්තු කාමය ලෙසයි හඳුන්වන්නේ. ප්‍රාර්ථනා කරන වස්තු කාම ලැබීම සමෘද්ධිමත් වීම යනුවෙන් මෙම ගාථාවෙහි සඳහන් කරයි. තමා බලාපොරොත්තු වන වස්තු කාමය ලබාගත් සත්වයාගේ සිත මහත් සේ සතුටට පත්වෙයි.
සූත්‍රයේ ගාථා
තස්ස චෙ කාමයානස්ස
ඡන්දජාතස්ස ජන්තුනො;
තෙ කාමා පරිහායන්ති,
සල්ලවිද්ධොව රුප්පති.
කාමය කැමති වන්නා වූ, කාමවස්තු කෙරෙහි උපන් තණ්හාව ඇති පුද්ගලයාට, එම කාමවස්තු විනාශ වී යන්නේ නම්, එවිට විස පොවන ලද උලකින් අනින ලද කෙනෙකු සේ පීඩාවට පත්වෙයි.
යො කාමෙ පරිවජ්ජෙති,
සප්පස්සෙව පදා සිරො;
සොමං විසත්තිකං ලොකෙ,
සතො සමතිවත්තති.
යමෙක් වස්තු කාම, ක්ලේශකාමයන් කෙරෙහි ඇති තණ්හාව, තමාගේ පාදයෙන් සර්පයෙකුගේ හිස ඉවත් කරන කෙනෙකු මෙන් දුරුකරයි නම්, ඔහු මේ ලෝකයෙහි විසත්තිකා නමින් හඳුන්වන තණ්හාව සිහියෙන් යුතුව ඉක්මවයි
ඛෙත්‌තං වත්‌ථුං හිරඤ්‌ඤං
වා, ගවස්‌සං දාසපොරිසං;
ථියො බන්‌ධූ පුථු කාමෙ,
යො නරො අනුගිජ්‌ඣති.
යම්කිසි කෙනෙක් කුඹුරු, ගෙවතු, රන්, ගවයන්, දාස කම්කරුවන්, කාන්තාවන්, නෑදෑයින් හා වෙනත් බොහෝ කාමයන් නැවත නැවත ප්‍රාර්ථනා කරයි නම්,
අබලා නං බලීයන්‌ති,
මද්‌දන්‌තෙනං පරිස්‌සයා;
තතො නං දුක්‌ඛමන්‌වෙති,
නාවං භින්‌නමිවොදකං.
අබල නම් වූ ක්ලේශයන් ඒ පුද්ගලයා යට කරනු ලබයි. යළිත් ප්‍රකට වූද, අප්‍රකට වූද උපද්‍රව ඒ පුද්ගලයා මඬී. සිදුරු වූ නැවට ජලය ප්‍රවේශ වන්නාක් මෙන්, ඉපදීම ආදී දුක ඔහු අනුව ගමන් කරයි.
තස්‌මා ජන්‌තු සදා සතො,
කාමානි පරිවජ්‌ජයෙ;
තෙ පහාය තරෙ ඔඝං,
නාවං සිත්‌වාව පාරගූති.
එම නිසා මිනිසා සෑම කල්හිම සිහියෙන් යුතුව වස්තු කාම ක්ලේශ කාමයන් දුරුකරන්නේය. එම කාමයන් දුරුකර, සිදුරු වූ නැවෙහි ජලය ඉස, පරතෙරට යන කෙනෙකු සේ ඕඝ තරණය කරන්නේය.