සුත්ත නිපාතය
කාම සූත්‍රයේ නිදාන කතාව:
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින කාලයෙහි අචිරවතී ගඟ සමීපයෙහි යව වැපිරීම පිණිස කෙතක් සීසාන බ්‍රාහ්මණයෙක් විය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එම මාවතේ ගමන් කරද්දී ඔහු දැක, නුවණින් විමසා බැලූ සේක. එවිට ඔහුගේ මේ යව කෙත විනාශ වන බවත්, නැවතත් එම බ්‍රාහ්මණතුමාට සෝතාපත්ති ඵලය ලැබීමට හේතු සම්පත් ඇති බවත් බුදු නුවණට දැකගන්නට ලැබුණි.
ඒ සෝතාපත්ති ඵලය ලබන්නේ කවදාදැයි තථාගතයන් වහන්සේ නුවණින් විමසා බැලූහ. එසේ නුවණින් විමසද්දී මෙසේ අවබෝධ විය: "මොහුගේ අස්වැන්න විනාශ වූ පසු කණගාටුවෙන් යුතුව නිවසට වී වාසය කරයි. එම අවස්ථාවේදී ධර්මය අසා සෝතාපත්ති මාර්ග ඵලය අවබෝධ කර ගනී. ඒ දිනය උදාවන තෙක් මම වරින් වර බ්‍රාහ්මණතුමා වෙත ගමන් කරන්නෙමි. ඔහු මාගේ මිතුරෙකු බවට පත් කරගන්නෙමි" යි සිතූ සේක.
එසේ සිතා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණතුමා ළඟට ගොස්, "බ්‍රාහ්මණතුමනි, ඔබ කුමක් කරන්නේද?" යි ඇසූහ. එවිට බ්‍රාහ්මණතුමා මෙසේ සිතී ය: "මෙබඳු උසස් කුලයක ඉපදුණු ගෞතම නම් වූ මහණ මම සමඟ කතා කරයි. එබැවින් මම භාග්‍යවතුන් වහන්සේ සමඟ ප්‍රියමනාපව කතා කළ යුතුය." මෙසේ සිත පහදවාගෙන, "ගෞතමයිනි, මම කෙත සීසාමි, යව වපුරමි" යනුවෙන් ප්‍රකාශ කළේය.
ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ සිතූහ. භාග්‍යවතුන් වහන්සේ බමුණා සමඟ පිළිසඳර කතා කළ සේක. කතා කළේ හේතුවක් ඇතුවමය; හේතුවක් නැතුව තථාගතයන් වහන්සේලා එසේ නොකරති. මම බ්‍රාහ්මණතුමා සමඟ කතා කරමි යි සිතා ඔහු සමීපයට ගොස් කතාබහ කළහ. එසේම මුගලන් මහ රහතන් වහන්සේ ද, අසූමහා ශ්‍රාවකයෝ ද බ්‍රාහ්මණතුමා සමඟ කතා කළහ. එයින් එතුමා මහත් සේ සතුටට පත් විය.
මේ අතර භාග්‍යවතුන් වහන්සේ අස්වැන්න පැසෙන දවසක බ්‍රාහ්මණතුමා සමීපයට ගොස්, "බ්‍රාහ්මණතුමනි, ඔබේ යව කෙත සරුසාරයි නේද?" කියා ප්‍රකාශ කළහ. "එසේය ගෞතමයිනි, කෙත සරුසාරය; අස්වැන්න නෙළා ගත් පසු ඔබටත් දානයක් ලබා දෙන්නෙමි."
මෙසේ සිව් මසක් ගත වූ පසු යව කෙත පැසුණි. බ්‍රාහ්මණතුමා "අද හෝ හෙට යව කපන්නෙමි" යි ඊට අදාළ කටයුතු ගැන සිතමින් කල් ගත කළේය. යව කැපීමට පෙර දින,මුළු රැය පුරාම මහා වර්ෂාවක් ඇද වැටුණේය; අචිරවතී ගංගාව දෙගොඩතලා ගලන්නට විය. මුළු යව කෙතම ජලයෙන් යටවිය.
බමුණා මුළු රැයම නොනිදා , නොසතුටු වී රාත්‍රිය එළිවන තෙක් කල් ගත කළේය. උදෑසන කෙතට ගොස් බලන විට මහත් සේ කෙත විනාශයට පත් වී තිබුණි. "මම නැසුණෙමි! මම දැන් ජීවත් වන්නේ කෙසේද?" යනුවෙන් බලවත් සෝකයක් ඇති විය.
භාග්‍යවතුන් වහන්සේ ද ඒ රැයෙහි අලුයම බුදු ඇසින් ලොව බලද්දී බමුණාට ධර්ම දේශනා කිරීමට සුදුසු කාලය බව දැනගත් සේක. පිඬු පිණිස හැසිරෙමින් සැවැත් නුවරට පිවිස බ්‍රාහ්මණතුමාගේ ගේ දොරකඩට වැඩම කළහ. . භාග්‍යවතුන් වහන්සේ දුටු බ්‍රාහ්මණතුමා ඉතා සෝකයෙන් යුතුව, "මා අස්වැසීමට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පැමිණ ඇත" යනුවෙන් සිතා ආසනයක් පනවා පාත්‍රය ගෙන භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ සිටින ලෙස සඳහන් කළේය. භාග්‍යවතුන් වහන්සේ ආසනය මත වැඩ සිටි සේක.
"ඇයි බ්‍රාහ්මණතුමා, නොසතුටු සිතින් සිටින්නේ?" යනුවෙන් විමසූහ.
"එසේය ගෞතමයිනි, මගේ යව කෙත සම්පූර්ණයෙන්ම වතුරින් යටවිය; විනාශ වී ගියේය."
එවිට බුදුරජාණන් වහන්සේ, "බ්‍රාහ්මණතුමනි, විපතට පත් අවස්ථාවන්වලදී නොසතුටු වීමක්, දොම්නස් වීමක් සිදු නොකළ යුතුය. තමා බලාපොරොත්තු වන දේ ලැබුණු අවස්ථාවන්වලදී, ඉෂ්ට වූ අවස්ථාවන්වලදී අධික ලෙස සතුටු වීමක් නොකළ යුතුය" යනුවෙන් දේශනා කරමින් ධර්ම දේශනා කළහ.
මේ ධර්ම දේශනාව අසා ඔහුගේ සිත ශාන්ත බවට පත් වූ පසු මෙම කාම සූත්‍රය දේශනා කළ සේක.මේ දේශනාව අසා බ්‍රාහ්මණතුමාද බ්‍රාහ්මණ තුමියද සෝතාපත්ති ඵලයට පත්විය. .