පොත් ලැයිස්තුව

ඉද්ධි (විශේෂිත හැකියාවන්) යනු මොනවාද?

star_outline

"ඉද්ධි" යන වචනය ඇසෙන විටම අපට සිහියට නැගෙන්නේ පහත සඳහන් අභිඥා ධර්මයන්ය:

  • පෙර ජීවිත දැකීම (පුබ්බේනිවාසානුස්සති ඥානය)
  • මැරෙන උපදින සත්ත්වයන් දැකීම (චුතූපපාත ඥානය)
  • අනුන්ගේ සිත් සතන් කියවීම (පරචිත්තවිජානන ඥානය)
  • දෙවියන්ගේ සහ මිනිසුන්ගේ ශබ්ද ඇසීම (දිබ්බසෝත ඥානය)
  • නොයෙක් නොයෙක් ප්‍රාතිහාර්යයන් පෑම (ඉද්ධිවිධ ඥානය)

එහෙත්, ඉද්ධි යනු ඒවා පමණක්ම නොවේ.

  • යම් කෙනෙක් තමා තුළ සීලවන්ත බව ඇති කර ගනී නම්, එයද ඉද්ධියකි.
  • යමෙක් තමා තුළ සමාධියක් ඇති කර ගනී නම්, එයද ඉද්ධියකි.
  • සිත තුළ ධ්‍යානයක් ඇති කර ගනී නම්, එයද ඉද්ධියකි.
  • මාර්ග ඵල ආදිය ලබා ගැනීමද ඉද්ධියකි.

එම උදාර ඉද්ධීන් සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාර වන ගුණධර්ම සමුදාය "ඉද්ධිපාද" නමින් හඳුන්වනු ලබයි.

සංයුත්ත නිකායේ, ඉද්ධිපාද සංයුක්තයට අයත් උන්නාභ බ්‍රාහ්මණ සූත්‍ර දේශනාවට අනුව ඉද්ධිපාද හතර පිළිබඳව ඉතා මනාව පැහැදිලි වෙයි.

දිනක් උන්නාභ බ්‍රාහ්මණතුමා විහාරස්ථානයට පැමිණ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියේය:

"ස්වාමීනි, ඉද්ධිපාද පිළිබඳව මා හට පැහැදිලි කර දෙන සේක්වා!"

එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණයාට වැටහෙන පරිදි උපමාවකින් මෙසේ කරුණු පැහැදිලි කළහ:

ආනන්ද හිමි: "බ්‍රාහ්මණතුමනි, ඔබට නිවසේ සිටින විට 'විහාරස්ථානයට යන්නට ඕනෑ' කියා කුසල කර්මයක් කිරීමේ ඡන්දයක් (කැමැත්තක්) ඇති වූවා නේද?"

බ්‍රාහ්මණයා: "එහෙමයි ස්වාමීනි."

ආනන්ද හිමි: "ඔබට විහාරස්ථානයට යන්නට උවමනාය කියා ඔබ විසින් වීර්යයක් කරන්නට යෙදුණා නේද?"

බ්‍රාහ්මණයා: "එහෙමයි ස්වාමීනි."

ආනන්ද හිමි: "ඔබ 'අද මම විහාරස්ථානයට යන්නෙමි' යනුවෙන් සිත තුළ අධිෂ්ඨානයක් ඇති කර ගත්තා නේද?"

බ්‍රාහ්මණයා: "එහෙමයි ස්වාමීනි."

ආනන්ද හිමි: "ඔබ 'විහාරස්ථානයට මම මෙසේ යමි, මෙසේ භික්ෂූන් වහන්සේලා වඳිමි, මෙසේ කරුණු විමසමි' ආදී වශයෙන් නුවණින් කල්පනා කළා නේද?"

බ්‍රාහ්මණයා: "එහෙමයි ස්වාමීනි."

එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක:

"බ්‍රාහ්මණතුමනි, ඔබ විහාරස්ථානයට පැමිණීමෙන් පසු, මෙහි එන්නට තිබූ කැමැත්ත (ඡන්දය) දැන් අවසන්ය. විහාරස්ථානයට එන්නට තිබූ වීර්යයද අවසන්ය. විහාරස්ථානයට එන්නට තිබූ සිත හෙවත් අධිෂ්ඨානයද අවසන්ය. එමෙන්ම විහාරස්ථානයට පැමිණීම පිළිබඳව ඔබ සිතූ, කල්පනා කළ, නුවණ මෙහෙයවූ කරුණු (විමංසාව) දැන් අවසන්ය. බ්‍රාහ්මණතුමනි, ඉද්ධිපාද ඒ ආකාරයටම තේරුම් ගත යුතුය."

සූත්‍ර දේශනාවට අනුව ඉද්ධිපාද හතරේ අර්ථය:

ඡන්ද ඉද්ධිපාදය:

කුසලයක් කරන්නට ඕනෑය යන කුසල් කිරීමේ කැමැත්ත හෙවත් කත්තුකම්මතා කුසලච්ඡන්දයයි.

විරිය ඉද්ධිපාදය:

එම කුසල් කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ඇති කර ගන්නා වීර්යයයි.

චිත්ත ඉද්ධිපාදය:

කුසල් කිරීමට ඇති වන එකඟ වූ සිත හෙවත් දැඩි අධිෂ්ඨානයයි.

විමංසා ඉද්ධිපාදය:

එම කුසල් කිරීම පිළිබඳව නුවණින් විමසීම සහ ප්‍රඥාවෙන් කල්පනා කිරීමය

"අභිඤ්ඤෙය්‍යෙසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි, පරිඤ්ඤෙය්‍යෙසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි, පහාතබ්බෙසු ධම්මේසු පහාන සිද්ධි, සච්ඡිකාතබ්බෙසු ධම්මේසු සච්ඡිකිරියා සිද්ධි, භාවේතබ්බෙසු ධම්මේසු භාවනා සිද්ධි."