අංගුත්තර නිකාය තික නිපාතය. බුද්ධ ජයන්ති පිටු: 538
තිස්සෝ ඉමා භික්ඛවේ පටිපදා. කතමා තිස්සෝ? ආගාළ්හා පටිපදා, නිජ්ඣමා පටිපදා, මජ්ඣිමා පටිපදා.
මහණෙනි, ප්‍රතිපදා තුනකි: ආගාළ්හ ප්‍රතිපදාව, නිජ්ඣමා ප්‍රතිපදාව, මධ්‍යම ප්‍රතිපදාව.
මෙහි පළමු ප්‍රතිපදා දෙක පළමුවන පටිපදා සූත්‍රයෙහි විස්තර කළ පරිද්දෙන්මය. මධ්‍යම ප්‍රතිපදාව ලෙස සඳහන් කර ඇත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමයි.
සම්මාදිට්ඨිං භාවේති, සම්මාසංකප්පං භාවේති, සම්මාවාචං භාවේති, සම්මාකම්මන්තං භාවේති, සම්මාආජීවං භාවේති, සම්මාවායාමං භාවේති, සම්මාසතිං භාවේති, සම්මාසමාධිං භාවේති. අයං වුච්චති භික්ඛවේ මජ්ඣිමා පටිපදා.
සම්මා දිට්ඨිය වඩයි. සම්මා සංකප්පය වඩයි. සම්මා වාචාව වඩයි. සම්මා කම්මන්තය වඩයි. සම්මා ආජීවය වඩයි. සම්මා වායාමය වඩයි. සම්මා සතිය වඩයි. සම්මා සමාධිය වඩයි. මහණෙනි, මෙය මධ්‍යම ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.
ආර්ය අෂ්ටාංගික මාර්ගය
"අය මේව කෝ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථිදං: සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති, සම්මාසමාධීති."
කාටත් ඉතා හොඳින් හුරුපුරුදු ඉහත සඳහන් පාලි පාඨය බොහෝ සූත්‍ර දේශනාවල දක්නට ලැබේ. එම පාලි පාඨය තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කර දී තිබේ.
සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති, සම්මාසමාධි යන අංග අටකින් යුක්ත වූ එම මාර්ගයම නිවන් මාර්ගයයි. අතීත බුදුවරුන් විසින් සොයාගන්නා ලද මාවතෙහි ගමන් කොට, අතීතයෙහි බොහෝ බුද්ධ ශ්‍රාවකයෝ සියලු කෙලෙසුන් නසා නිවන් පුර වැඩම කළහ. බුදු කෙනෙකුගේ ශාසනය අවසන් වීමෙන් පසු එම මාර්ගය වැසී යන්නේය; නැවත එම මාවත සොයා ගන්නේ බුදු කෙනෙකු විසින්මය.
පුරාණ නගර උපමාව:
එක්තරා තරුණයෙකු වනයක ඇවිදීමට යයි. ඒ ගමන අතරතුරදී වල් බිහි වී ගියා වූ ප්‍රාකාර, පොකුණු, ගොඩනැඟිලිවල නෂ්ටාවශේෂ දක්නට ලැබෙයි. ඔහු මෙසේ සිතයි: "මේ පැරණි නගරයකි, මම ද මේ නගරය ගොඩනැඟිය යුතුය." ඔහු එම නගරය සුද්ද පවිත්‍ර කර, නැවත ගොඩනැඟීම ආරම්භ කරයි.
එසේම තථාගතයන් වහන්සේලා ද පැරණි බුදුවරුන් සොයාගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත සොයා ගනිති; එම මාර්ගය පිළිසකර කර, පැහැදිලි කරමින් ශ්‍රාවකයන්ට දේශනා කරති.
එබැවින් මෙම මාවත ප්‍රථමයෙන් ලොවට විවර කරන්නේ බුදුරජාණන් වහන්සේමය. උන්වහන්සේ ලොව පහළ වූ පළමුවන ආර්යයන් වහන්සේය. එබැවින් "ආර්ය" යන වචනයෙන් ප්‍රධාන වශයෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේමය. තථාගතයන් වහන්සේ විසින් සොයාගත් බැවින් මේ මාවත "ආර්ය මාවතක්" නමින් ද, අංග අටකින් යුක්ත වන බැවින් "අෂ්ටාංගික මාර්ගය" නමින් ද හඳුන්වනු ලබයි.
සම්මා දිට්ඨිය
යහපත් දැකීම, නිවැරදි දැකීම, අවිපරීත දර්ශනය, සම්‍යක් දර්ශනය, යථාර්ථ දර්ශනය ආදී නොයෙක් නම්වලින් සම්මා දිට්ඨිය හඳුන්වනු ලැබේ. කම්මස්සකතා සම්මා දිට්ඨිය සහ චතුසච්ච සම්මා දිට්ඨිය යනුවෙන් සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදේ.
කම්මස්සකතා සම්මා දිට්ඨිය: කර්මය සහ කර්මඵලය පිළිබඳව ඇති අවබෝධයයි.
චතුසච්ච සම්මා දිට්ඨිය: චතුරාර්ය සත්‍යය පිළිබඳව ඇති අවබෝධයයි.
කම්මස්සකතා සම්මාදිට්ඨිය
1. අත්ථි දින්නං (දීමෙහි විපාක ඇත)
මෙයින් අනුග්‍රහ බුද්ධියෙන් දීම අදහස් කරයි. දුප්පත් කෙනෙකුට, අසරණ කෙනෙකුට, නැති බැරි කෙනෙකුට යමක් දෙන්නේ ඔහුට අනුග්‍රහ කිරීම පිණිසයි; හෙවත් උපකාර කිරීම පිණිසයි. එබඳු දීම් මෙම සම්මා දිට්ඨියට ඇතුළත්ය. අසරණ අහිංසක දුප්පත් කෙනෙකුට යමක් දීම පිනක් බව විශ්වාස කිරීම "අත්ථි දින්නං" යන සම්මා දිට්ඨියයි.
2. අත්ථි යිට්ඨං (පූජා බුද්ධියෙන් දීමෙහි විපාක ඇත)
තමාට වඩා සීලයෙන් උසස්, ගුණයෙන් උසස් අය කෙරෙහි යමක් දීම, පරිත්‍යාග කිරීම, ත්‍යාග කිරීම යාගය, පූජාව මේ නමින් හඳුන්වයි. සිල්වතුන් ගුණවතුන් උදෙසා යමක් ලබා දෙන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය සලකාගෙන නොව, ඔවුන්ගේ සීලවන්ත බව ගුණවන්ත බව සලකාගෙනය.
සිල්වතුන් ගුණවතුන් උදෙසා යමක් ලබා දුන් විට අපේ ජීවිතයට මහා පිනක් රැස්වෙයි. වැඩිපුර පින් ලැබෙන්නේ ද අවශ්‍යතාවය ඇති කෙනාට දීමෙන් නොවේ; සිල්වත් කෙනාට දීමෙන්ය.
3. අත්ථි හුතං (ආශීර්වාද පතා දෙන දානයෙහි විපාක ඇත)
අත්ථි හුතං යනු මහා යාගයේ විපාක ඇතැයි සැලකීමයි. යාගය යනු කුමක්ද? ආශීර්වාද පතා දෙන දානය යාගය නමින් හඳුන්වයි. පුරාතනයේ පටන් මිනිසුන් ආශීර්වාදය පතා නොයෙක් දානමය පිංකම් සිදු කළහ. උපන්දිනය සමරා දන් දුන්නහ; විවාහ සංවත්සරය සමරා දන් දීම සිදු කළහ. ගෙයකට මුල්ගල් තැබීම, උළුවස්ස තැබීම, වහලය තැබීම, පදිංචි වීම වැනි අවස්ථාවලදී ද දන් දීම සිදු කළහ. සීල සමාදානයෙහි යෙදෙන පිරිස් වෙත ද දන්සල් පැවැත්වීම මේ කොටසට අයත් වේ.
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර බොහෝ අය බ්‍රහ්මයා උදෙසා පූජා පැවැත්වූහ. ඒවා "හුතං" යන වචනයෙන් අදහස් කරන ලදී. දෙවියන් උදෙසා පවත්වන ලද පූජාවන් ද ඒ නමින් හඳුන්වන ලදී. තථාගතයන් වහන්සේ ලොව පහළ වීමෙන් පසු එම පූජාවේ සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප නොකරම එයට නව අර්ථකථනයක් ඉදිරිපත් කළහ. ආශීර්වාද පතා යමක් දෙන විට එම පූජාව හැඳින්වීම සඳහා බුදුරජාණන් වහන්සේ "හුතං" යන වචනය භාවිතා කරන ලදී.
"යෝ ච වස්සසතං ජන්තු - අග්ගිං පරිචරේ වනේ
ඒකඤ්ච භාවිතත්තානං -භාවිතත්තානං මුහුත්තමපි
පූජයේ සා යේව පූජනා සෙය්‍යෝ - යඤ්චෙ වස්සසතං හුතං."
යන ධම්මපදයේ සඳහන් වෙන ගාථාවෙන්, පුරාණ බ්‍රාහ්මණවරුන් විසින් දෙවියන් උදෙසා කරන ලද පූජා "හුතං" යනුවෙන් හඳුන්වන ලද බවත්, වසර සියයක් එබඳු පූජා පැවැත්වීමටත් වඩා, භාවිත ආත්මභාව ඇති, ශීලාදී ගුණ සම්පන්න වූ, දුර සිට වුවත් යමක් ගෙන විත් පිදීමට සුදුසු වූ ආහුණෙය්‍ය ගුණ ඇති උතුමන්ට මොහොතක් වුවත් දන් දීම සුදුසු වන බව දේශනා කළහ.
එබැවින් ආශීර්වාද පතා දෙන දානයත්, ආහුණෙය්‍ය හෙවත් යමක් දුර සිට ගෙනවිත් පිදීමට සුදුසු අය උදෙසා කරන පූජාවත් උතුම් බව (විපාක ඇති බව) විශ්වාස කිරීම මෙම සම්මා දිට්ඨියයි.
4. අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ (හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත)
යහපත් ලෙස කරන ලද දෙය හෙවත් කුසලය තුළ ද, අයහපත් ලෙස කරන ලද දෙය හෙවත් අකුසලය තුළ ද විපාක ඇති බව විශ්වාස කිරීම මෙම සම්මා දිට්ඨියයි. කුසල කර්ම අකුසල කර්ම පිළිගැනීමත්, කුසල විපාක අකුසල විපාක පිළිගැනීමත් අබුද්ධෝත්පාද කාලයේදී පවා නුවණැතියන් අතර තිබුණ ඉතා හොඳ ගුණධර්මයකි.
5. අත්ථි අයං ලෝකෝ (පරලොව සිටි තැනැත්තාට මෙලොවක් ඇත)
මින් අදහස් කරන්නේ අතීත සංසාර ගමන විශ්වාස කිරීමයි, පිළිගැනීමයි. මව්පියන් නිසාම පමණක්ම ඉපදුණ බව භෞතිකවාදීන්, හෙවත් භෞතික විද්‍යාව ගුරු කරගත් අය සිතති. එහෙත් එය මිත්‍යාදෘෂ්ටියකි. සෑම සත්ත්වයෙකුටම අතීත සංසාර ගමනක් තිබුණේය.
පටන් ගත්ත කෙළවරක් ද නොපෙනෙන බව සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළහ:
"අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ, පුබ්බාකෝටි න පඤ්ඤායති"
(මහණෙනි, සසර පටන් ගත්ත කෙළවර නොපෙනේ.)
යනුවෙන් බුදුරජාණන් වහන්සේ සසරෙහි දීර්ඝ බව ද දේශනා කළහ. අතීත සසරක් පැවති බව පිළිගැනීම මෙම සම්මා දිට්ඨියයි. අතීතයේ සිටි කෙනෙකු මියගොස්, කර්මානුරූපව මෙලොව උපත ලද බව විශ්වාස කිරීම මින් අදහස් කරයි.
6. අත්ථි පරෝ ලෝකෝ (මෙලොව සිටි තැනැත්තාට පරලොවක් ඇත)
පරලොවක් ඇත, හෙවත් මරණින් මතු උපතක් සිදුවෙයි යන්න විශ්වාස කිරීම මෙම සම්මා දිට්ඨියයි. භෞතිකවාදීහු මතු උපතක් පිළිනොගනිති. මරණින් මතු ජීවිතය නිමාවන්නේ යැයි සිතති; උච්ඡේද දෘෂ්ටිය යනු ද මේමය. උච්ඡේද දෘෂ්ටිය ඇතිව සිටීම බලවත් වූ පාප ධර්මයකි. මක්නිසාද යත්, පරලොව නොපිළිගන්නා බැවින් හොඳින් හෝ නරකින් හෝ පංච ඉන්ද්‍රියන් පිනවීමටම ඔවුන් යොමු වන බැවිනි. සත්ත්වයා මරණින් මතු නැවත නැවත උපත ලබයි. එසේ ඉපදීමේදී කර්මානුරූපව එය සිදු වෙයි.
"ගබ්බමේකේ උප්පජ්ජන්ති - නිරයං පාපකම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්ති - පරිනිබ්බන්ති අනාසවා"
යනුවෙන් ධම්මපදයෙහි දක්වා ඇත්තේ: මරණයට පත්වන සමහර අය මව්කුසක් තුළ උපදින බවයි. පව් කරන තැනැත්තෝ නිරයට යති (නිරය යන්නෙන් සතර අපායම විස්තර වන බව තේරුම් ගත යුතුය). පින් කරන තැනැත්තෝ සුගතියෙහි උපත ලබති (සුගතිය යනු මනුස්ස ලෝකය සහ දිව්‍ය ලෝක හය මෙන්ම බ්‍රහ්ම ලෝක දහසය හැඳින්වීමට යොදන නමකි). කෙලෙසුන් නැසූ නිකෙලෙස් උතුමෝ පිරිනිවණට පත්වෙති, යන්න ඉහත සඳහන් කරන ලද ගාථාවේ සරල අර්ථයයි.
අත්ථි මාතා: මව ඇත; මින් අදහස් කරන්නේ මවට කරන ලද උපකාරයෙන් කුසල් රැස්වන බවත්, මව උදෙසා නොසැලකීමෙන් පාප ධර්ම සිදුවන බවත්ය.
අත්ථි පිතා: පියා ඇත; හෙවත් පියතුමාට උපකාර කිරීමෙන්, සැලකීමෙන් පින් ලැබේ; නොසැලකීමෙන් පාප ධර්ම සිදුවෙයි.
අතීතයේ පටන් මව්පියන්ට නොසලකන දරුවෝ ලොව තුළ සිටියහ. තථාගතයන් වහන්සේ ඔවුන් හැඳින්වීමට "වසලයා" යන වචනය භාවිතා කළහ.
"යෝ මාතරං වා පිතරං වා - ජිණ්ණකං ගතයොබ්බනං
පහූ සන්තෝ න භරති - තං ජඤ්ඤා වසලෝ ඉති"
යම්කිසි කෙනෙක් යොවුන් බව ඉක්මවා ගිය, දිරන ලද ශරීර ඇති මවට හෝ පියාට හැකියාව තිබියදී නොසලකන්නේ නම්, ඔහු වසලයෙක් යැයි දත යුතුය. "වසලයා" යනු ඉතා පහත් කෙනෙකු හැඳින්වීම සඳහා යොදන ලද වචනයකි. පුරාණ භාරතයෙහි පහත් වූ කුලහීනයන් හැඳින්වීමට මෙම වචනය භාවිතා කළහ. එම කුලහීනයන්ට තම නිවසට ඇතුල් වීමටවත්, ඇඳ පුටු ආදියෙහි වාඩි වීමටවත් ඉඩ දුන්නේ නැත; ගෙදර ඉදිරිපස පිලෙහි වාඩි කරවා, ඔවුන් උදෙසාම ඇති වෙනම පිඟන් කෝප්පවලින් ආහාර පාන දීම සිදු කළහ; ගෙට වද්දා ගත්තේ නැත. මව්පියන්ට නොසලකන තැනැත්තා ද වසලයෙකි. ඔවුන් කෙතරම් පහත් දැයි කිවහොත්, ගෙයක් තුළට වද්දා ගැනීමටවත් සුදුසු නැති තරම් පහත් පුද්ගලයෝය. මව්පියන්ට නොසලකන තැනැත්තා එබඳු පහත් ස්වභාවයකට පත්වෙන බව බුද්ධිමත් අය විසින් ඉතා මැනවින් තේරුම් ගෙන මව්පිය උපස්ථානයෙහි යෙදිය යුතුය.
"යෝ මාතරං වා පිතරං වා - ජිණ්ණකං ගතයොබ්බනං
පහූ සන්තෝ න භරති - තං පරාභවතෝ මුඛං"
යම්කිසි කෙනෙකු, දිරන ලද ශරීර ඇති යොවුන් බව ඉක්මවා ගිය මව්පියන්ට හැකියාව තිබියදී නොසලකයි නම් එය පිරිහීමේ දොරටුවකි යනුවෙන් පරාභව සූත්‍රයේදී දේශනා කළහ. එම දේශනාව අනුව මව්පියන්ට නොසැලකීම මහා පාපකර්මයකි. එම පාප කර්මය අද හෙටම විපාක දෙන්නේ නැත; විපාක දීම සඳහා පාපය මේරීමට කලක් ගත වේ.
"යදා ච පච්චතී පාපං - අථ පාපෝ පාපානි පස්සති"
යනුවෙන් ධම්මපදයෙහි, පව් මේරීමෙන් පසු පව් කළ තැනැත්තා දුකට පත්වන බව දේශනා කොට ඇත. මව්පියන්ට නොසැලකීම නම් වූ පාප කර්මය මෝරා විපාක දීමට සුදුසු අවස්ථාවට පැමිණි කල්හි, මව්පියන්ට නොසලකන ලද දරුවා මහත් වූ පරිහානියට පත්වන්නේය. ශරීර ශක්තියෙන් ද, නීරෝගී බවෙන් ද, කීර්තිමත් බවෙන් ද, ධන සම්පත්වලින් ද, වෙනත් දූ දරුවන්ගේ සැලකීම් ආදියෙන් ද පරිහානියටම පත්වන්නේය. අව පක්ෂයෙහි හඳ මඩල දිනෙන් දින පිරිහෙන්නා සේ, ඔවුන්ගේ ලෞකික සැප සම්පත් ද පිරිහීමට පත්වේ. එතැනින් නොනැවතී මරණින් මතු නිරයෙහි උපත ලබයි.
"මාතා පිතූ උපට්ඨානං - ඒතං මංගල මුත්තමං"
යනුවෙන් බුදුරජාණන් වහන්සේ මව්පිය උපස්ථානය උතුම් මංගල කරුණක් බව දේශනා කළහ. මව්පිය උපස්ථානය මෙලොව යහපත පිණිස උපකාර වන, පරලොව සුගතිය පිණිස උපකාර වන, සසර දුක නිමාකොට අමා නිවන ලැබීමට උපකාර වන ශ්‍රේෂ්ඨ පිනකි. එබැවින් එය මංගල කාරණාවකි.
"යෝ මාතරං වා පිතරං වා - මච්චෝ ධම්මේන පෝසති
තාය නං පාරිචරියාය - මාතාපිතුසු පණ්ඩිතා
ඉධේව නං පසංසන්ති - පෙච්ච සග්ගේ පමෝදති"
යනුවෙන් යම්කිසි කෙනෙක් මව්පියන් පෝෂණය කිරීම සිදුකරයි ද, දෙවියෝ ඔහුට ගරු කරති. මරණින් මතු සුගතියෙහි ඉපදීම සැප සම්පත් ලබා සතුටු වෙති; මෙලොවම ප්‍රශංසා ලබති යනුවෙන් ද අංගුත්තර නිකායේ තික නිපාතයේ දක්වා ඇත.
ගිහි පින්වතුන්ට අයිති ප්‍රතිපත්ති පූජාව දක්වන තථාගතයන් වහන්සේ, "මාතරං උපට්ඨාති පිතරං උපට්ඨාති" යනුවෙන් මව්පිය උපස්ථානය ප්‍රතිපත්ති පූජාවක් බව දේශනා කළහ. ඒ බව මහා පරිනිබ්බාන සූත්‍ර අට්ඨකථාවේ සඳහන් වෙයි. මේ අනුව මව්පිය උපස්ථානය ලෞකික වශයෙන් බොහෝ සැප සම්පත් ලැබීමට හේතුවෙන මහා කුසලයකි. එහි ආනිසංස වශයෙන්ම මෙලොව සතුටෙන් ජීවත්වීමට අවකාශ සැලසේ, මරණින් මතු සුගතිගාමී වෙයි, සසර දුක නිමාකොට අමා නිවනින් සැනසීමට ද හේතුවන මහා ප්‍රතිපත්ති පූජාවක් බවට පත්වෙයි. එය සෘජුවම නිවන් දකින්නට හේතුවන මහා කුසලයකි.
9. අත්ථි සත්තා ඕපපාතිකා (ඕපපාතිකව උපදින සත්ත්වයන් ඇත)
ඕපපාතික සත්ත්වයන් යන වචනය බොහෝ දෙනෙකු සාමාන්‍ය ව්‍යවහාරයේදී "ඉබේ පහළ වන සත්ත්වයන්" යනුවෙන් හඳුන්වනු ලබයි. එහෙත් ඉබේ පහළ වන සත්ත්වයෝ නැත. සත්ත්වයෝ පහළ වෙන්නේ කර්මයට අනුරූපවය.
"සංඛාර පච්චයා විඤ්ඤාණං" යනුවෙන් ද කුසලාකුසල කර්ම හේතු කරගෙන ප්‍රතිසන්ධි විඤ්ඤාණයක් හටගන්නා බව දක්වා තිබේ. "භව පච්චයා ජාති" යනුවෙන් ද කර්මය හේතු කරගෙනම ඉපදීම සිදුවන බව දක්වා තිබේ.
එසේ නම් ඕපපාතික සත්ත්වයින් යනු ඉබේ පහළ වන සත්ත්වයින් නොවේ. කර්මානුරූපව, අංග සම්පූර්ණ ශරීර ඇතුව, මැරුණු මොහොතේ එකෙනෙහිම පහළ වන්නා වූ සත්ත්වයන් ඕපපාතික සත්වයෝය. නිරයේ ද, ප්‍රේත ලෝකයේ ද, අසුර අපායේ ද, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ද ඕපපාතික උපත සිදුවේ.
10. අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා... (ලොව උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටින බව පිළිගැනීම)
"අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති."
එහි සරල අර්ථය: මෙලොව සහ පරලොව යන උභය ලෝකයම තමන්ගේම විශිෂ්ට ඥානයෙන් (ප්‍රත්‍යක්ෂ ලෙස) අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන, අන් අයට ද එය දේශනා කරන, නිවැරදි මඟට පිළිපන් (සම්මා පටිපන්න) උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් (බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා) ලොව සිටින බව පිළිගැනීමයි.
බුදුරජාණන් වහන්සේලා ඇති කාලයෙහි ද බුදුරජාණන් වහන්සේලා නැති කාලයෙහි ද මෙම සම්මා දිට්ඨිය නැති පුද්ගලයෝ ලොව තුළ සිටිති. බුද්ධෝත්පාද කාලවල ද අබුද්ධෝත්පාද කාලවලදී ද මෙම සම්මා දිට්ඨිය ඇති පුද්ගලයෝ ද ලොව තුළ සිටිති.
බුද්ධ කෝලාහලය සහ මහා පුරුෂ ලක්ෂණ:
අට්ඨකථාවන්ට අනුව බුදු කෙනෙක් පහළ වීමට වසර දහසකට පෙර බ්‍රහ්මරාජයෙක් මනුලොවට පැමිණියේය. ඔහු මිනිසුන්ට පෙනෙන සේ අහසින් ඇවිදිමින්, "තව වසර දහසකින් බුදු කෙනෙක් පහළ වෙතැයි" ප්‍රකාශ කළහ. මෙම බ්‍රහ්මරාජයා විසින්ම, බුද්ධත්වයට පත්වෙන තැනැත්තා ඉපදීමෙන් පසුව ඔහුගේ අංග ලක්ෂණ පරීක්ෂා කර බලා බුද්ධත්වයට පත්වන්නේ ද නැද්ද යන්න තේරුම් කරගත හැකි බව ද ප්‍රකාශ කළහ. බුද්ධත්වයට පත් වෙන කෙනෙකුගේ ශරීරයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටන බවත්, ඒවා හඳුනාගන්නා ආකාරයත් ඉගැන්නූහ.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අතරින් දෙබැම මැද්ද විශේෂයෙන් මතකයේ තබා ගත යුතුයි. නළල මැද නොව දෙබැම මැද, ඇහිබැමි දෙක මැද ඌර්ණ රෝම ධාතුව පිහිටයි. එම ඌර්ණ රෝම ධාතුව බුද්ධත්වයට පත්වෙන කෙනෙකුගේ දක්ෂිණාවර්තව (දකුණට) කැරකැවී ඇත. සක්විති රජ වන කෙනෙකුගේ එය වම් අතට (වාමාවර්තව) කරකැවී ඇත. ඒ අනුව මේ පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා සක්විති රජ වන්නේ ද බුද්ධත්වයට පත්වන්නේ ද කියා නිශ්චිතව තේරුම් ගත හැකි බව ද ඉගැන්නූහ. එකල සිටි බ්‍රාහ්මණවරු එම ඉගැන්වීම් තමන්ගේ වේද ග්‍රන්ථවල ඇතුළත් කළහ. මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව බ්‍රාහ්මණවරු ඉගෙන ගත්හ.
නම් තැබීමේ මංගල්‍යය සහ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයාගේ තීරණය:
සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ ලොව පහළ වීමෙන් පසුව ද අංග ලක්ෂණ පරීක්ෂා කරන ලද රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන බ්‍රාහ්මණවරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් දුටුවහ. ඔවුන් අතරින් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා හැර අන් සියලු දෙනාගේ තීරණය වූයේ, සිදුහත් බෝසතුන් සක්විති රජ පදවිය හෝ බුද්ධත්වය ලබන බවයි (ඇඟිලි දෙකක් එසවීමෙන්). කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමන් පමණක් ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත්වන බවට, ඌර්ණ රෝම ධාතුවේ විස්තරය ඉදිරිපත් කරමින් පැහැදිලි කළහ (එක් ඇඟිල්ලක් එසවීමෙන්).
සක්විති රාජ පදවිය ලැබුවත්, බුද්ධ රාජ්‍යය ලැබුවත් ලොවට යහපතක් (අර්ථයක්) සිදුකරනවා යන අර්ථයෙන් "සිද්ධාර්ථ" යන නම තැබූහ. මෙයින් පැහැදිලි වන්නේ බුදු කෙනෙකු ලෝකයේ පහළ වනවා යන උතුම් වූ අදහස අබුද්ධෝත්පාද කාලවලදී පවා සමහර මිනිසුන් විශ්වාස කළ බවයි.
චතුසච්ච සම්මාදිට්ඨිය
තථාගත ශ්‍රාවකයා විසින් මුලින්ම ඇති කරගත යුත්තේ පින් පව් පිළිබඳ විශ්වාසය හෙවත් කම්මස්සකතා සම්මා දිට්ඨියයි. එම සම්මා දිට්ඨියෙන් යුක්ත වූ තැනැත්තා ඉන් පසුව චතුරාර්ය සත්‍ය ධර්මය ඉගෙන ගනිමින්, චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය හෙවත් සම්මා දිට්ඨිය ඇති කරගත යුතුය.
චතුරාර්ය සත්‍යය පිළිබඳ සම්මා දිට්ඨිය ඇති කරගන්නා ආකාර කීපයක් ධර්මයේ සඳහන් වෙයි. පළමුවෙන්ම චතුරාර්ය සත්‍යය පිළිබඳ දේශනාවන් ඇසීම හෝ කියවීම, ධර්ම සාකච්ඡා කිරීම ආදිය කළ යුතුය. ඒ තුළින් ඇති වන්නා වූ ප්‍රඥාව ඉතා වැදගත්ය.
"සෝතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං"
යනුවෙන් පටිසම්භිදාමග්ගපාලියෙහි කනින් අවධානය යොමු කොට ලබන්නා වූ ප්‍රඥාව "සුතමය ඥානය", හෙවත් ඇසීමෙන් ලබන්නා වූ නුවණ ලෙස පැහැදිලි කළහ. චතුරාර්ය සත්‍යය පිළිබඳව ද අප පළමුව ඇති කරගන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව වූ සුතමය ඥානයකි.
ශීල, සමාධි, ප්‍රඥා ප්‍රගුණ කිරීම
මෙම ඥානය ලබා ගත් තැනැත්තා කර්මය කර්මඵලය අදහන කෙනෙකු වන නිසාත්, චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමක් ඇති කෙනෙකු වන නිසාත්, එම දහම අවබෝධ කර ගැනීම සඳහා තමා තුළ ශික්‍ෂණය, හික්මීම, සංවර බව ඇති කරගත යුතුය. විශේෂයෙන් කාය සංවරය සහ වචී සංවරය උපදවා ගත යුතුය. එම සංවරය "සීලය" නමින් හඳුන්වනු ලබයි.
"සුත්වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං"
යනුවෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පසුව ඇති කරගන්නා වූ සංවර වීම "සීලමය ඥානය" නම් වූ නුවණයි.
සීලයකින් පමණක්ම චතුරාර්ය සත්‍ය වැනි ගැඹුරු දහමක් තමාගේ අවබෝධයක් බවට පත් කරගත නොහැකිය. ඒ සඳහා තැන්පත් වූ, සමාධිගත වූ සිතක් තිබිය යුතුමය.
"සමාධිං භික්ඛවේ භාවේථ, සමාහිතෝ භික්ඛු යථාභූතං පජානාති"
යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් "මහණෙනි, සමාධිය වඩන්න; සමාධිගත වූ භික්ෂුව යථාර්ථය දකී" යනුවෙන් වදාළ සේක. ඒ අනුව චතුරාර්ය සත්‍යය වැනි ගැඹුරු දහමක් අවබෝධ කර ගැනීම සඳහා සමාධිය ද අත්‍යවශ්‍යය. එබැවින් සීලයෙන් සංවර වූ තැනැත්තා සමථ භාවනාවක් වඩමින් සමථ මූලක සමාධියක් හෝ, නැතිනම් විදර්ශනා භාවනා වඩමින් විදර්ශනාවකින් ලබන්නා වූ ක්ෂණික සමාධියක් හෝ උපදවා ගත යුතුය.
"සංවරිත්වා සමාධානෙ පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං"
යනුවෙන් සීලයෙන් සංවර වූ තැනැත්තා සමථය වඩා චිත්ත ඒකාග්‍රතාවය, හෙවත් සමාධිය ලබා ගනී. ඒ පිළිබඳ ඔහුට ඇති වන නුවණ "සමාධිභාවනාමය ඥානය" නමින් හඳුන්වනු ලබයි.
නාමරූප පරිග්ගහය සහ සත්‍යාවබෝධය
සමාධිමත් සිතකින් යුතුව පංච උපාදානස්කන්ධයෙහි නාම රූප ධර්මයන් වෙන්කර දකින භාවනා ක්‍රමය, හෙවත් රූපය නුවණින් දැකීම සඳහා වඩන "රූප පරිග්ගහ භාවනාව" ද, නාම ධර්මයන් වෙන්කර දකින "නාම පරිග්ගහ භාවනාව" ද තුළින් පංච උපාදානස්කන්ධය සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නොවන බවත්, නාමරූප පමණක් වන බවත් තේරුම් ගත හැකිය. ඒ තුළින් ඔහුට දුක පිළිබඳව ඉතා පුළුල් අවබෝධයක් ඇති වෙයි (දුක්ඛ සත්‍යය).
තවදුරටත් පංච උපාදානස්කන්ධයට හේතු විමසීමේදී, දුක හට ගැනීමට හේතුව පිළිබඳව ද අවබෝධය ඇති වෙයි (සමුදය සත්‍යය). එම මාවතෙහි ගමන් කිරීම තුළින් ඔහුට යම් දවසක නිර්වාණය අවබෝධ කරගත හැකිය; නිරෝධ සත්‍යය සාක්ෂාත් කර ගත හැකිය. ඒ නිර්වාණය අවබෝධ කරවන්නා වූ, ඒ සඳහා පිළිපැදිය යුතු වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි (මග්ග සත්‍යය).
මෙසේ චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධය ඇති කරගැනීමම ප්‍රඥාවකි. දැනට තමාගේම නුවණක් විදිහට චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයක් අප හට නැත. එබැවින් සුතමය වශයෙන්, හෙවත් ඇසීම් දැරීම් බසින් හෝ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට ශ්‍රාවකයා වෙහෙස මහන්සි විය යුතුය. එපමණකින් නොනැවති පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම කෙරෙහි ශ්‍රාවකයා ප්‍රතිපත්ති පිරීම කළ යුතුය.
මහා චත්තාරීසක සූත්‍රය ඇසුරින් ද්විවිධ සම්මා දිට්ඨිය
"ද්වයං භික්ඛවේ සම්මාදිට්ඨිං වදාමි: අත්ථි, භික්ඛවේ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවේපක්කා; අත්ථි, භික්ඛවේ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා."
(මජ්ඣිම නිකාය, මහා චත්තාරීසක සූත්‍රය)
"මහණෙනි, සම්මා දිට්ඨි දෙකක් ඇතැයි දේශනා කරමි. මහණෙනි, ආශ්‍රව සහිත වූ, පුණ්‍ය භාගීය වූ, හෙවත් පිනට අයත් වූ, මතු සැප විපාක ලබා දෙන්නා වූ සම්මා දිට්ඨියක් ඇත. ආර්ය වූ, ආශ්‍රව රහිත හෙවත් අනාශ්‍රව වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියක් ඇත."
ආශ්‍රව සහිත වූ (සාසව) සම්මා දිට්ඨිය: පිනට අයත් වූ, සැප විපාක ලබා දෙන්නා වූ සම්මා දිට්ඨියක් ඇත; එනම් පෙර සඳහන් කරන ලද දසවස්තුක සම්මා දිට්ඨියයි. කම්මස්සකතා සම්මා දිට්ඨිය නමින් අප විස්තර කරන ලද්දේ එයයි.
ආර්ය වූ අනාශ්‍රව වූ (අනාසව) ලෝකෝත්තර සම්මා දිට්ඨිය: ඒ කුමක්ද? අරියචිත්තස්ස (ආර්ය සිත් ඇති), අනාසවචිත්තස්ස (ආශ්‍රවයන්ගෙන් තොර වූ සිත් ඇති), අරියමග්ගසමංගිනෝ (ආර්ය මාර්ගයෙහි යෙදී සිටින), මග්ගං භාවයතෝ (ආර්ය මාර්ගය වඩන්නා වූ) තැනැත්තාගේ යම් පඤ්ඤා (ප්‍රඥාවක්) වේද, පඤ්ඤින්ද්‍රියං (ප්‍රඥා ඉන්ද්‍රියයක්) වේද, පඤ්ඤාබලං (ප්‍රඥා බලයක්) වේද, ධම්මවිචය සම්බොජ්ඣංගෝ (ධම්මවිචය සම්බොජ්ඣංගයක්) වේද, සම්මාදිට්ඨි මග්ගංගං (මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියක්) වේද—එය ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියයි.
එම සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කරයි; සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස උත්සාහ කරයි. එය ඔහුගේ සම්මාවායාමයයි. ඔහු සිහියෙන් යුතුව මිථ්‍යාදෘෂ්ටිය දුරු කරයි; සිහියෙන් යුතුව සම්මා දිට්ඨියට පැමිණ වාසය කරයි; එය ඔහුගේ සම්මාසතියයි.
මෙසේ මේ ත්‍රිවිධ ධර්මයෝ සම්මා දිට්ඨිය සමඟ යෙදෙති, ගමන් කරති, අනුව පවතිති. කවර ත්‍රිවිධ ධර්මයෝද යත්? සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති යන ත්‍රිවිධ ධර්මයන්ය.
සම්මා සංකප්පය
යහපත් වූ සංකල්පනා හෙවත් සිතුවිලි සම්මා සංකප්ප නමින් හඳුන්වනු ලබයි. එහි "සම්මා" යන වචනයටත් අර්ථයක් ඇත. යහපත්, සම්‍යක් ආදී නම් ඒ සඳහා භාවිතා කරන්නෙමු; එහි වරදක් නැත. එහෙත් සම්මා යන වචනයේ නිවැරදිම අර්ථය වන්නේ "සම්මා දිට්ඨිය පෙරටු කොට ඇති" යන්නයි. ඒ බව මජ්ඣිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත:
"සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති"
(සම්මා දිට්ඨිය පූර්වාංගම වෙයි, මුලටම යෙදෙයි.)
"කතංච භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති? මිච්ඡාසංකප්පං මිච්ඡාසංකප්පෝති පජානාති, සම්මාසංකප්පං සම්මාසංකප්පෝති පජානාති. සාස්ස හෝති සම්මාදිට්ඨි."
"මහණෙනි, සම්මා දිට්ඨිය කෙසේ පූර්වාංගම වේද? සම්මා දිට්ඨියෙන් යුතුව, මිථ්‍යා සංකල්පය මිථ්‍යා සංකල්පයක් යැයි දැන ගනියි; සම්මා සංකල්පය සම්මා සංකල්පයක් යැයි දැන ගනියි; එසේ දැන ගැනීම ඔහුගේ සම්මා දිට්ඨිය වෙයි."
මිථ්‍යා සංකල්පය (මිච්ඡා සංකප්ප) යනු කුමක්ද?
කාම සංකල්පය, ව්‍යාපාද සංකල්පය, විහිංසා සංකල්පය—මේවා මිථ්‍යා සංකල්ප නම් වේ.
කාම සංකල්පය: රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය යන පඤ්චකාම වස්තූන් පිළිබඳව ඇති වන චේතනා, සිතුවිලි, කල්පනා, සංකල්පනා වේ.
ව්‍යාපාද සංකල්පය: අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මුල් වී ඇති වන තරහව, වෛරය, කෝපය, පළිගැනීම, ඉරිසියාව, එකට එක කිරීම, බද්ධ වෛරය ආදී සංකල්පනා වේ.
විහිංසා සංකල්පය: අන් අයට හිංසා කිරීමට, පීඩා කිරීමට, වද හිංසා කිරීමට ඇති වන සංකල්පනා වේ.
සම්මා සංකල්පය යනු කුමක්ද?
"සම්මා සංකල්පය දෙයාකාරයෙන් දේශනා කරමි. මහණෙනි, ආශ්‍රව සහිත වූ, පිනට අයත් වන්නා වූ, මතු විපාක ඇත්තා වූ සම්මා සංකල්පයක් ඇත; ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ, මාර්ගාංගයක් වූ සම්මා සංකල්පයක් ඇත."
ආශ්‍රව සහිත වූ (සාසව) සම්මා සංකල්පය
ආශ්‍රව සහිත වූ, පිනට අයත් වන්නා වූ, මතු සැප විපාක ඇත්තා වූ සම්මා සංකල්පයක් ඇත. එනම්:
1. නෙක්ඛම්ම සංකප්ප (කාමයන්ගෙන් වෙන්වීම පිළිබඳ සංකල්පනා)
දන් දීමේදී, සිල් රැකීමේදී, භාවනා කිරීමේදී, බණ ඇසීමේදී, මව්පිය උපස්ථාන කිරීමේදී, බුද්ධ වන්දනා කිරීමේදී, පිරිත් දේශනා කිරීමේදී, නොයෙක් පින්දහම්වල නිරත වීමේදී ඇතිවන්නේ නෙක්ඛම්ම සංකල්පනාවන්ය. ලෝභයෙන් තොර වූ සෑම සංකල්පනාවක්ම නෙක්ඛම්ම සංකල්පනාය. ලෝභය යටපත් වූ තැන, දෝසය යටපත් වූ තැන, මෝහය යටපත් වූ තැන ඇතිවන්නේ නෙක්ඛම්ම සංකල්පනාය.
2. අව්‍යාපාද සංකප්ප (මෛත්‍රී සංකල්පනා)
අව්‍යාපාද යනු මෛත්‍රියට කියන තවත් නමකි. අව්‍යාපාද සංකප්ප යනු මෛත්‍රී සංකල්පනාවෝය.
3. අවිහිංසා සංකප්ප (කරුණා සංකල්පනා)
අවිහිංසා සංකප්ප යනු අන් අයට හිංසා පීඩා නොකිරීමේ සංකල්පනාය; හෙවත් කරුණාවට කියන නමකි. අන් අයගේ දුක දුටු විට හදවත උණුවන ස්වභාවය කරුණාවය.
"පරදුක්ඛේ සති සතං හදයං කම්පේතීති කරුණා"
යනුවෙන් ඒ බව අට්ඨකථාවෙහි දක්වා තිබේ.
ලෝකෝත්තර සම්මා සංකප්පය
මෙහිදී ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර යන නමින් හඳුන්වනු ලබයි. එසේ හඳුන්වන්නේ ලෝකෝත්තර ස්වභාවයට පත්වීමට උපකාර වන බැවිනි. මඟ ඵල ලැබීමේ අරමුණින් මාර්ගය වඩන අවස්ථාවේදී පවතින නිසා ලෝකෝත්තර යනුවෙන් මාර්ගාංග හඳුන්වනු ලැබේ. කෙසේ වුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් වර්ධනය වන අවස්ථාව හොඳින් තේරුම් ගත යුතුය. මාර්ග චිත්තයේදී ලෝකෝත්තර වශයෙන් පහළ වේ. අප විසින් මෙම මාර්ගය වඩන්නේ ලෞකික වශයෙනි, ඒ බව ද තේරුම් ගැනීම මැනවි.
මහා චත්තාරීසක සූත්‍රයට අනුව ලෝකෝත්තර සම්මා සංකප්පය පැහැදිලි කර දෙන්නෙමි:
ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකප්පය කවරේද? ආර්ය මාර්ග චිත්තය තුළ යෙදෙන, අනාශ්‍රව චිත්තය තුළ යෙදෙන, ආර්ය මාර්ගය හා සම්බන්ධ වූ, ආර්ය මාර්ගය භාවිතා කරන තැනැත්තාගේම යම්:
- තක්කෝ - තර්කයක් වේද,
- විතක්කෝ - විතර්කයක් වේද,
- සංකප්පෝ - සංකල්පනාවක් වේද,
- අප්පනා - හෙවත් සිත අරමුණෙහි පිහිටුවීමක් වේද,
- ව්‍යප්පනා - හෙවත් විශේෂයෙන්ම සිත පිහිටුවීමක් වේද,
- චේතසෝ අභිනිරෝපනා - සිත අරමුණට නැංවීමක් වේද,
- වචීසංඛාරෝ - වචී සංස්කාරයක් වේද,
එය ලෝකෝත්තර සම්මා සංකප්පයයි.
මාර්ගාංගයන්හි සහසම්බන්ධතාවය
මෙම ලෝකෝත්තර සම්මා සංකප්පය උපදවා ගත් තැනැත්තා මිථ්‍යා සංකල්පය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කරයි; සම්මා සංකල්පය ලබා ගැනීම පිණිස උත්සාහ කරයි. එම උත්සාහය ඔහුගේ සම්මාවායාමය වෙයි.
ඔහු සතිමත්ව මිථ්‍යා සංකල්පය දුරලයි; සතිමත්ව සම්මා සංකල්පය උපදවා ගනියි. එය ඔහුට සම්මාසතිය වෙයි.
මෙසේ සම්මා සංකප්පය සහ මිථ්‍යා සංකප්පය වෙන් කර දැන ගැනීම සම්මාදිට්ඨියයි. සම්මා සංකල්පය සමඟම සහජාත හෙවත් සහ ඉපදීම් වශයෙන් ද, පුරේජාත හෙවත් පෙර ඉපදීම් වශයෙන් ද සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මාර්ග අංග තුන එක්ව යෙදෙයි, ගමන් කරයි.
සම්මා වාචා
යහපත් වචන, නිවැරදි වචන සම්මාවාචා නමින් හඳුන්වයි. සම්මා දිට්ඨිය මුල් වන බැවින් සම්මාවාචා වන බව පෙර සඳහන් කරන ලදී. සම්මා යන වචනයේ අර්ථය "සම්මා දිට්ඨිය මුල් වීමම" යන්නයි.
සම්මා දිට්ඨිය මුලින්ම යෙදෙයි, පූර්වාංගම වෙයි. ඒ කෙසේද? සම්මා දිට්ඨිය තුළින් මිථ්‍යාවාචා මිථ්‍යාවාචා ලෙස දැන ගනියි; සම්මාවාචා සම්මාවාචා ලෙස දැන ගනියි. එය ඔහුගේ සම්මා දිට්ඨියයි.
මිථ්‍යාවාචා යනු කවරේද? බොරු කීම (මුසාවාදා), කේලාම් කීම (පිසුණාවාචා), පරුෂ වචන කීම (පරුෂාවාචා), හිස් වචන කීම (සම්ඵප්පලාපා) මිථ්‍යාවාචාය.
සම්මාවාචා යනු කවරේද? සම්මාවාචා දෙයාකාර වේ; එනම් ලෞකික සම්මාවාචා සහ ලෝකෝත්තර සම්මාවාචා යනුවෙනි.
1. ලෞකික සම්මාවාචා
ආශ්‍රව සහිත වූ, පිනට අයත් වන්නා වූ, මතු සැප විපාක ගෙන දෙන්නා වූ සම්මාවාචා ඇත. (එනම් සතර ආකාර වචී දුෂ්චරිතයෙන් වැළකී සත්පුරුෂ ලෙස කතා කිරීමයි.)
2. ලෝකෝත්තර සම්මාවාචා
ආර්ය චිත්තය සමඟ යෙදෙන, අනාශ්‍රව චිත්තය සමඟ යෙදෙන, ආර්ය මාර්ගය හා සම්බන්ධ වූ, ආර්ය මාර්ගය වඩන තැනැත්තාගේම සතර ආකාර වූ වචී දුෂ්චරිතයන්ගෙන් යම්:
- ආරති - වැළකීම හෙවත් නොඇලීමක් වේද,
- විරති - වචී දුෂ්චරිතයන්ගෙන් වැළකීමක් වේද,
- පටිවිරති - විශේෂයෙන් වැළකීමක් වේද,
- වේරමණී - දුරු කිරීමක් වේද,
එය ලෝකෝත්තර සම්මාවාචාය.
සම්මාවාචා මාර්ගාංගයන්හි සහසම්බන්ධතාවය
මෙම ලෝකෝත්තර සම්මාවාචා උපදවා ගත් තැනැත්තා වීර්යයෙන් යුතුව මිථ්‍යාවාචා දුරු කරයි; වීර්යයෙන් යුතුව සම්මාවාචා උපදවා ගනියි. (එය ඔහුගේ සම්මාවායාමයයි.)
ඔහු සතිමත්ව මිථ්‍යාවාචා දුරු කරයි; සතිමත්ව සම්මාවාචා උපදවා ගනියි. එය ඔහුගේ සම්මාසතියයි.
මේ අනුව සම්මාවාචා සමඟ පෙර පසු නොවී, සහජාතව සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මාර්ග අංග තුන යෙදෙයි, ගමන් කරයි.
සම්මා කම්මන්ත
යහපත් වූ කායික ක්‍රියාවන් සම්මා කම්මන්ත නමින් හඳුන්වනු ලබයි. කායික දුෂ්චරිතයෙන් වැළකීම සම්මා කම්මන්ත නම් වෙයි. සම්මා යනු "සම්මා දිට්ඨිය මුල්වීම" බව මහා චත්තාරීසක සූත්‍රය අනුව පෙර සඳහන් කරන ලදී. අප නිරන්තරයෙන්ම කායික ක්‍රියාවක් කිරීමේදී සම්මා දිට්ඨියෙන් යුතුවම, හෙවත් පින් පව් පිළිබඳ අවබෝධයෙන්, විශ්වාසයෙන් යුතුවම ඒ දෙය කිරීම ඉතා වටී; එවිට කායික පාප ධර්ම සිදු නොවේ.
සම්මා කම්මන්ත යනු කුමක්ද?
සම්මා දිට්ඨිය මුල් වෙයි. කෙසේද? මිථ්‍යා කම්මන්තය මිථ්‍යා කම්මන්තය ලෙසත්, සම්මා කම්මන්තය සම්මා කම්මන්තය ලෙසත් සම්මා දිට්ඨියෙන් දැනගනියි.
මිථ්‍යා කම්මන්ත යනු කුමක්ද? ප්‍රාණඝාතය කිරීම, සොරකම් කිරීම, කාමයන්හි වරදවා හැසිරීම—ඒවා මිථ්‍යා කම්මන්තයෝය; හෙවත් ත්‍රිවිධ කාය දුෂ්චරිතයෝය.
සම්මා කම්මන්තය යනු කුමක්ද? සම්මා කම්මන්තය කොටස් දෙකකට බෙදේ; එනම් ලෞකික සම්මා කම්මන්ත සහ ලෝකෝත්තර සම්මා කම්මන්තය වශයෙනි.
1. ලෞකික සම්මා කම්මන්තය
ආශ්‍රව සහිත වූ, පිනට අයත් වන්නා වූ, මතු සැප විපාක ලබා දෙන්නා වූ සම්මා කම්මන්තයක් ඇත. එනම්:
පාණාතිපාතා වේරමණී - ප්‍රාණඝාතයෙන් වැළකීමය,
අදින්නාදානා වේරමණී - සොරකම් කිරීමෙන් වැළකීමය,
කාමේසුමිච්ඡාචාරා වේරමණී - කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමය.
(මජ්ඣිම නිකාය, මහා චත්තාරීසක සූත්‍රය)
2. ලෝකෝත්තර සම්මා කම්මන්තය
අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ, මාර්ග අංගයක් වූ සම්මා කම්මන්තය කුමක්ද? එනම් මාර්ග සිත සමඟ යෙදෙන, අනාශ්‍රව සිත සමඟ යෙදෙන, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය වඩන්නා වූ තැනැත්තාගේ සිත තුළින් ත්‍රිවිධ කාය දුෂ්චරිතයන් කෙරෙහි යම්:
- ආරති - නොඇලීමක් වේද,
- විරති - වැළකීමක් වේද,
- පටිවිරති - විශේෂයෙන් වැළකීමක් වේද,
- වේරමණිය - දුරු කිරීමක් වේද,
එය ලෝකෝත්තර සම්මා කම්මන්තය නම් වෙයි.
මාර්ගාංගයන්හි සහසම්බන්ධතාවය
මෙම ලෝකෝත්තර සම්මා කම්මන්තය උපදවා ගන්නා ලද තැනැත්තා මිථ්‍යා කම්මන්තය දුරු කිරීමට උත්සාහ කරයි; සම්මා කම්මන්තය උපදවා ගැනීමට උත්සාහ කරයි. එය ඔහුගේ සම්මාවායාමයයි.
ඔහු සතිමත්ව මිථ්‍යා කම්මන්තය දුරු කරයි; සතිමත්ව සම්මා කම්මන්තය උපදවා ගනියි; මෙය ඔහුගේ සම්මාසතියයි.
සම්මා කම්මන්තය සමඟින් සහජාතව සහ පුරේජාතව සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මාර්ග අංග තුන එක්ව යෙදෙයි, ගමන් කරයි.
සම්මා ආජීවය
සම්මා දිට්ඨියෙන් යුතුව රැකියාවක් කරමින් මුදල් උපයා ගැනීම, ඒ තුළින් ජීවිකාව (ආජීවය) පවත්වා ගැනීම සම්මා ආජීවයයි. අප ජීවත් වීම පිණිස රැකියාවක් කළ යුතුමය. එහෙත් එය පව් සිදුවන එකක් නොවිය යුතුය. මක්නිසාද යත් අප ජීවත් වන්නේ වසර පනහක්, සැටක්, හැත්තෑවක් පමණක් නොවේ; නිවන් දක්නා තුරාවටම සසරේ නොයෙක් නොයෙක් ලෝකවල, නොයෙක් නොයෙක් ආත්මභාව ලබා ජීවත් වන්නෙමු. එම නිසා රැකියාව කරන විටදී පවා අනාගතයේදී අපාගාමී වීමට සිදු නොවන ආකාරයට කටයුතු කළ යුතුය. එය නිවන් මඟේ කොටසකි.
මෙතැන් සිට පෙර පරිදිම මහා චත්තාරීසක සූත්‍රයට අනුව සම්මා ආජීවය පැහැදිලි කර ගනිමු.
සම්මා දිට්ඨිය පූර්වාංගම වෙයි. කෙසේද? සම්මා දිට්ඨියෙන් මිථ්‍යා ආජීවය මිථ්‍යා ආජීවය කියා දැනගනියි; සම්මා දිට්ඨියෙන් සම්මා ආජීවය සම්මා ආජීවය කියා දැනගනියි. එය ඔහුගේ සම්මා දිට්ඨියයි.
මිථ්‍යා ආජීවය යනු කුමක්ද?
කුහනා (කුහකකම): ධ්‍යාන, මාර්ගඵල, ඉර්ධිබල ආදිය නොලබා සිටියදීත්, තමා එසේ ලබා ඇති කෙනෙක් බව නොයෙක් උපක්‍රමයන් මඟින් හඟවා මිනිසුන් විස්මයට පත් කිරීම.
ලපනා (පොළඹවන කතා): ලාභ සත්කාර ආසාවෙන් යුතුව, ඒවා ලැබෙන ආකාරයට වචන කතා කිරීම (ඉච්ඡා ලපන).
නේමිත්තකතා (නිමිති කීම): ලාභ සත්කාරයන් වක්‍රාකාරව නිමිති දක්වමින් ඉල්ලා සිටීම. "ආවාසය දැන් බොහෝ කොට සකස් කර අවසන්ය; දැන් ඇත්තේ දොර පියන් ටිකක්, ජනෙල් පියන් ටිකක් සාදා ගැනීමටය; පරණ ආවාසයේ තිබෙන ආකාරයට ගාම්භීර ජනෙල් පියන් ඉතා හොඳය" ආදී වශයෙන් නොයෙක් නිමිති කියමින් වක්‍රාකාරව යමක් ඉල්ලා ගැනීම.
නිප්පේසිකතා (ගැරහීම/ප්‍රතික්ෂේප කිරීම): තම තමන්ට ලැබෙන දෙය "අපහට මෙතරම් දේවල් අවශ්‍ය නැත" ආදී වශයෙන් (තැකීමක් නැති සේ) ප්‍රතික්ෂේප කිරීම; එය කරන්නේ අනාගතයේ වඩා වටිනා දේවල් ලබන අදහසින්ය.
ලාභේන ලාභං නිජිගීසනතා (ලාභයෙන් ලාභ සෙවීම): එක් තැනකින් ලැබුණු ලාභ සත්කාර තව තැනකට පෙන්වා, එයින් තවත් ලාභ සෙවීම.
මේ සඳහන් කරන ලද්දේ මිථ්‍යා ආජීවය හෙවත් වැරදි දිවි පැවැත්මයි.
කිරිබත් කෑමේ උපමාව:
කිරිබත් පිඟානක් බෙදාගෙන හස්තයේ ඇඟිලි දිගු කොට කිරිබත් කෑල්ල මත තබා, කිරිබත් කෑල්ල ගැනීමට හැකියාවක් නැත. කිරිබත් අතට ගැනීමට නම් ඇඟිලි වකුටු කොට කිරිබත් අල්ලාගෙන ගත යුතුය.
ධාර්මිකව බොහෝ ලාභ සත්කාර උපදවා ගැනීම අපහසුය; ඒවා ලබා ගැනීමට නම් වංචනික ලෙස කටයුතු කළ යුතුය. මිථ්‍යා ආජීවයෙන් යුක්ත වූ ගිහි පැවිදි ශ්‍රාවකයෝ, ඇඟිලි වකුටු කොට කිරිබත් ගෙන කන්නා සේම, මිථ්‍යා ආජීවයෙන් වංචනික ලෙස ලාභ සත්කාර උපදවා ගනිති. එය මිථ්‍යා ආජීවයයි.
සම්මා ආජීවයේ ද්විවිධ ස්වභාවය
සම්මා ආජීවය දෙයාකාර වේ:
1. ලෞකික සම්මා ආජීවය
ආශ්‍රව සහිත වූ, පිනට අයත් වූ, මතු සැප විපාක ලබා දෙන්නා වූ සම්මා ආජීවයක් ඇත. එනම් ඉතාම ධාර්මික ලෙස තමන්ගේ ජීවනෝපාය සකසා ගැනීමයි.
2. ලෝකෝත්තර සම්මා ආජීවය
අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ, මාර්ග අංගයක් වූ සම්මා ආජීවයක් ඇත. එනම් ආර්ය චිත්තය සමඟ යෙදෙන, අනාශ්‍රව චිත්තය සමඟ යෙදෙන, ආර්ය මාර්ගය සමඟ යෙදෙන, ආර්ය මාර්ගය වඩන තැනැත්තාගේ සිත තුළින් මිථ්‍යා ආජීවය කෙරෙහි යම්:
- ආරති - නොඇලීමක් වේද,
- විරති - වැළකීමක් වේද,
- පටිවිරති - විශේෂයෙන් වැළකීමක් වේද,
- වේරමණී - දුරු කිරීමක් වේද,
එය ලෝකෝත්තර සම්මා ආජීවයයි.
මාර්ගාංගයන්හි සහසම්බන්ධතාවය
මෙම සම්මා ආජීවය උපදවා ගත් තැනැත්තා වීර්යයෙන් යුතුව මිථ්‍යා ආජීවය දුරු කරයි; වීර්යයෙන් යුතුව සම්මා ආජීවය උපදවා ගනියි. එය ඔහුගේ සම්මාවායාමයයි.
ඔහු සතිමත්ව මිථ්‍යා ආජීවය දුරු කරයි; සතිමත්ව සම්මා ආජීවය දියුණු කරයි. එය ඔහුගේ සම්මාසතියයි.
සම්මා ආජීවය සමඟ පෙර පසු නොවී, සහජාත වශයෙන් (එක්ව ඉපදීමෙන්) මෙන්ම පුරේජාත වශයෙන් ද සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මාර්ග අංග තුන එක්ව යෙදෙයි, ගමන් කරයි.
(මජ්ඣිම නිකාය, මහා චත්තාරීසක සූත්‍රය)
සම්මා වායාමය
පෙර සඳහන් කරන ලද සෑම මාර්ග අංගයක් තුළම සම්මා වායාමය යෙදුණු ආකාරය ඔබ විසින් ඉගෙන ගන්නා ලදී. එබැවින් මහා චත්තාරීසක සූත්‍රයෙහි සම්මා වායාමය පිළිබඳව වෙනම විස්තරයක් සඳහන් නොවේ.
සම්මා වායාමය යනු...
මිථ්‍යාදෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යාවාචා, මිථ්‍යා කම්මන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යාවායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මිථ්‍යා මාර්ග අංග අටම දුරු කිරීම සඳහා දරන්නා වූ උත්සාහය සම්මාවායාමයයි.
එසේම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ග අංග දියුණු කර ගැනීම සඳහා, ඇති කර ගැනීම සඳහා, තමා තුළ උපදවා ගැනීම සඳහා කරන්නා වූ වීර්යය, උත්සාහය සම්මා වායාමයයි.
විරියින්ද්‍රිය සහ සම්මාවායාමය
"අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා හෝති දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු."
(සංයුත්ත නිකාය, ඉන්ද්‍රිය සංයුත්තය)
යනුවෙන් ඉන්ද්‍රිය සංයුත්තයේ වීර්ය පිළිබඳව ඉතා ලස්සන පාඨයක් දක්වා ඇත. අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසත්:
- ථාමවා - ස්ථිර වූ,
- දළ්හපරක්කමෝ - දැඩි වූ බලවත් වූ,
- අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු - කුසල ධර්මයන් තුළ අත් නොහරින්නා වූ ධුර ඇති,
යම් වීර්යයක් වේද, එම වීර්යයෙන්ම "වීර්ය ඉන්ද්‍රිය" (විරියින්ද්‍රිය) නමින් හඳුන්වන බව එහි සඳහන් කර තිබේ. විරිය ඉන්ද්‍රිය යනු ද, සම්මා වායාම යනු ද, විරිය බලය යනු ද එකම දෙයක් බව තේරුම් ගැනීම මැනවි. එම දේශනා පාඨයට අනුව අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසත් සිදු කරන්නා වූ උත්සාහය වීර්යය බව සඳහන් වෙයි.
මෙය තව ටිකක් විස්තර කරමින් තවත් බොහෝ දේශනාවල සතර සම්‍යක්ප්‍රධාන වීර්යය ලෙස විස්තර කර දී ඇත. අපගේ ග්‍රන්ථයෙහි වෙනත් තැනක සතර සම්‍යක්ප්‍රධාන වීර්යය දීර්ඝව විස්තර කොට ඇති බැවින් මෙහිලා ඒ පිළිබඳව සටහන් නොතබන්නෙමු.
සම්මා සතිය
සම්මා සතිය යනු සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහිය පැවැත්වීමයි. සෑම මාර්ග අංගයක් සමඟම සිහිය යෙදෙන ආකාරය මහා චත්තාරීසක සූත්‍රය අනුව ඔබ විසින් ඉගෙන ගන්නා ලදී.
සම්මා සතිය යනු සතර සතිපට්ඨානය තුළ සිහිය පැවැත්වීමයි. සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තයෙහි 'දට්ඨබ්බ' නම් සූත්‍රයක් ඇත. එහි:
"කත්ථ සතින්ද්‍රියං දට්ඨබ්බං? චතුසු සතිපට්ඨානේසු."
යනුවෙන් සතිය සතර සතිපට්ඨානය තුළ දතයුතු බව දක්වා තිබේ. ඒ අනුව සිහිය යනු සතර සතිපට්ඨානය තුළ යෙදෙන්නා වූ සිහියයි.
සතිපට්ඨාන භාවනාව ඔබ ඉගෙන ගෙන ඇත. එහිදී තථාගතයන් වහන්සේ, නිවන අවබෝධ කරගැනීම සඳහා අවබෝධ කරගත යුතු ප්‍රධාන ධර්මතා හතරක් දක්වා ඇත:
නිවන අවබෝධ කරගැනීම සඳහා කය හෙවත් රූපස්කන්ධය පිළිබඳව අවබෝධ කරගත යුතුය.
සැප, දුක්, උපේක්ෂා, සාමිස, නිරාමිස යන වේදනාවන් පිළිබඳව අවබෝධ කරගත යුතුය.
සරාග සිත, දෝස සිත, මෝහ සිත ආදී සිත් පිළිබඳව අවබෝධ කරගත යුතුය.
සිත තුළ හටගන්නා වූ පංච නීවරණ ආදී අකුසල ධර්මයන්ද කුසල ධර්මයන්ද හඳුනාගත යුතුය.
මේවා පිළිබඳව තේරුම් කරදීම සඳහා තථාගතයන් වහන්සේ:
රූපස්කන්ධය අවබෝධ කරගැනීම පිණිස කායානුපස්සනාව ද,
වේදනා ස්කන්ධය අවබෝධ කරගැනීම පිණිස වේදනානුපස්සනාව ද,
විඤ්ඤාණස්කන්ධය අවබෝධ කරගැනීම පිණිස චිත්තානුපස්සනාව ද,
රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්කන්ධ ධර්මයන්ද, චතුරාර්ය සත්‍යය ධර්මය ද, බොජ්ඣංග ධර්මයද අවබෝධ කරගැනීම පිණිස ධම්මානුපස්සනාව ද දේශනා කොට වදාළ සේක.
එම සතර සතිපට්ඨාන භාවනා අරමුණක් ඉගෙනගෙන ඒ තුළ මනාව සිහිය පැවැත්වීම සම්මා සතිය නම් වූ මාර්ග අංගයයි. මෙම ග්‍රන්ථයේ බොජ්ඣංග විස්තර කිරීමේදී සති සම්බොජ්ඣංගය දීර්ඝ ලෙස විස්තර කර ඇත; එබැවින් ඒ පිළිබඳව දීර්ඝව නොලියනු ලැබේ.
සම්මා සමාධිය
සම්මා සමාධිය සිතෙහි එකඟ බව, තැන්පත් බව, එක අරමුණක සිත රඳවා ගැනීමේ හැකියාව ආදී නමින් හඳුන්වයි. බුද්ධ ශාසනයෙන් බාහිර වූ නොයෙක් ආගම් තුළ, දර්ශනයන් තුළ ද සමාධිය පිළිබඳව උගන්වති; ධ්‍යාන ආදිය පිළිබඳව ද උගන්වති. එහෙත් බුද්ධ ශාසනය තුළ පවතින්නේ එම සමාධියම නොවේ; වෙනසක් ඇත.
"නිබ්බානං ආරම්මණං කත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස ඒකග්ගතං, අයං සම්මාසමාධි."
(සංයුත්ත නිකාය)
යනුවෙන් සංයුත්ත නිකායේදී නිවන අරමුණු කරගෙන භාවනා වඩා සමාධියක් ලබයි ද, චිත්ත ඒකාග්‍රතාවයක් ලබයි ද, එය සම්මා සමාධිය බව සඳහන් කර ඇත. ඒ අනුව බුදු දහමෙහි සම්මා සමාධිය යනු නිවන අවබෝධ කරගැනීමේ අදහසින් යුතුව, සමථ භාවනාවක් හෝ විදර්ශනා භාවනාවක් හෝ දියුණු කරගෙන ඇති කරගන්නා වූ සමාධියයි.
සමථ සහ විදර්ශනා ප්‍රතිපදාවන්හි සමාධිය
සමථ ප්‍රතිපදාව තුළ: සමථ භාවනාවක් වඩා සිත පංච නීවරණයන්ට නොයන ආකාරයේ උපචාර සමාධියක් හෝ, එම උපචාර සමාධියේදී ලැබෙන පටිභාග නිමිත්ත ඇසුරු කරගෙන ධ්‍යාන හෙවත් අප්පනා සමාධියක් හෝ උපදවා ගනියි ද, එය සම්මා සමාධියකි.
විදර්ශනා ප්‍රතිපදාව තුළ: සමථ භාවනා නොවඩා, විදර්ශනා භාවනාව පමණක්ම වඩා යම් කෙනෙක් පංච නීවරණයන් යටපත් කොට සමාධිමත් බවක් ලබා ගනියි ද, එම සමාධිය තුළ ද විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන ධ්‍යාන අංග පවතින මුත් එය ධ්‍යාන ප්‍රාප්ත නොවේ; ධ්‍යානයකට ගමන් නොකරයි. එය උපචාර සමාධි මාත්‍රයක් පමණකි; එය ද සම්මා සමාධියකි.
අට්ඨකථාවේදී "සඋපචාරා අඨට සමාපත්තියෝ සම්මා සමාධි නාම" යනුවෙන් උපචාර සමාධිය ද, අෂ්ට සමාපත්තීන් ද සම්මා සමාධිය බව දේශනා කොට ඇත.
සමාධි බොජ්ඣංගය පිළිබඳව මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන කොටස හොඳින් කියවා තේරුම් ගන්න.