පොත් ලැයිස්තුව

සම්මා සංකල්පය යනු කුමක්ද?

star_outline

"සම්මා සංකල්පය දෙයාකාරයෙන් දේශනා කරමි. මහණෙනි, ආශ්‍රව සහිත වූ, පිනට අයත් වන්නා වූ, මතු විපාක ඇත්තා වූ සම්මා සංකල්පයක් ඇත; ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ, මාර්ගාංගයක් වූ සම්මා සංකල්පයක් ඇත."

ආශ්‍රව සහිත වූ (සාසව) සම්මා සංකල්පය

ආශ්‍රව සහිත වූ, පිනට අයත් වන්නා වූ, මතු සැප විපාක ඇත්තා වූ සම්මා සංකල්පයක් ඇත. එනම්:

1. නෙක්ඛම්ම සංකප්ප (කාමයන්ගෙන් වෙන්වීම පිළිබඳ සංකල්පනා)

දන් දීමේදී, සිල් රැකීමේදී, භාවනා කිරීමේදී, බණ ඇසීමේදී, මව්පිය උපස්ථාන කිරීමේදී, බුද්ධ වන්දනා කිරීමේදී, පිරිත් දේශනා කිරීමේදී, නොයෙක් පින්දහම්වල නිරත වීමේදී ඇතිවන්නේ නෙක්ඛම්ම සංකල්පනාවන්ය. ලෝභයෙන් තොර වූ සෑම සංකල්පනාවක්ම නෙක්ඛම්ම සංකල්පනාය. ලෝභය යටපත් වූ තැන, දෝසය යටපත් වූ තැන, මෝහය යටපත් වූ තැන ඇතිවන්නේ නෙක්ඛම්ම සංකල්පනාය.

2. අව්‍යාපාද සංකප්ප (මෛත්‍රී සංකල්පනා)

අව්‍යාපාද යනු මෛත්‍රියට කියන තවත් නමකි. අව්‍යාපාද සංකප්ප යනු මෛත්‍රී සංකල්පනාවෝය.

3. අවිහිංසා සංකප්ප (කරුණා සංකල්පනා)

අවිහිංසා සංකප්ප යනු අන් අයට හිංසා පීඩා නොකිරීමේ සංකල්පනාය; හෙවත් කරුණාවට කියන නමකි. අන් අයගේ දුක දුටු විට හදවත උණුවන ස්වභාවය කරුණාවය.

"පරදුක්ඛේ සති සතං හදයං කම්පේතීති කරුණා"

යනුවෙන් ඒ බව අට්ඨකථාවෙහි දක්වා තිබේ.

ලෝකෝත්තර සම්මා සංකප්පය

මෙහිදී ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර යන නමින් හඳුන්වනු ලබයි. එසේ හඳුන්වන්නේ ලෝකෝත්තර ස්වභාවයට පත්වීමට උපකාර වන බැවිනි. මඟ ඵල ලැබීමේ අරමුණින් මාර්ගය වඩන අවස්ථාවේදී පවතින නිසා ලෝකෝත්තර යනුවෙන් මාර්ගාංග හඳුන්වනු ලැබේ. කෙසේ වුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් වර්ධනය වන අවස්ථාව හොඳින් තේරුම් ගත යුතුය. මාර්ග චිත්තයේදී ලෝකෝත්තර වශයෙන් පහළ වේ. අප විසින් මෙම මාර්ගය වඩන්නේ ලෞකික වශයෙනි, ඒ බව ද තේරුම් ගැනීම මැනවි.

මහා චත්තාරීසක සූත්‍රයට අනුව ලෝකෝත්තර සම්මා සංකප්පය පැහැදිලි කර දෙන්නෙමි:

ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකප්පය කවරේද? ආර්ය මාර්ග චිත්තය තුළ යෙදෙන, අනාශ්‍රව චිත්තය තුළ යෙදෙන, ආර්ය මාර්ගය හා සම්බන්ධ වූ, ආර්ය මාර්ගය භාවිතා කරන තැනැත්තාගේම යම්:

  • තක්කෝ - තර්කයක් වේද,
  • විතක්කෝ - විතර්කයක් වේද,
  • සංකප්පෝ - සංකල්පනාවක් වේද,
  • අප්පනා - හෙවත් සිත අරමුණෙහි පිහිටුවීමක් වේද,
  • ව්‍යප්පනා - හෙවත් විශේෂයෙන්ම සිත පිහිටුවීමක් වේද,
  • චේතසෝ අභිනිරෝපනා - සිත අරමුණට නැංවීමක් වේද,
  • වචීසංඛාරෝ - වචී සංස්කාරයක් වේද,

එය ලෝකෝත්තර සම්මා සංකප්පයයි.

මාර්ගාංගයන්හි සහසම්බන්ධතාවය

මෙම ලෝකෝත්තර සම්මා සංකප්පය උපදවා ගත් තැනැත්තා මිථ්‍යා සංකල්පය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කරයි; සම්මා සංකල්පය ලබා ගැනීම පිණිස උත්සාහ කරයි. එම උත්සාහය ඔහුගේ සම්මාවායාමය වෙයි.

ඔහු සතිමත්ව මිථ්‍යා සංකල්පය දුරලයි; සතිමත්ව සම්මා සංකල්පය උපදවා ගනියි. එය ඔහුට සම්මාසතිය වෙයි.

මෙසේ සම්මා සංකප්පය සහ මිථ්‍යා සංකප්පය වෙන් කර දැන ගැනීම සම්මාදිට්ඨියයි. සම්මා සංකල්පය සමඟම සහජාත හෙවත් සහ ඉපදීම් වශයෙන් ද, පුරේජාත හෙවත් පෙර ඉපදීම් වශයෙන් ද සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මාර්ග අංග තුන එක්ව යෙදෙයි, ගමන් කරයි.