පොත් ලැයිස්තුව

චතුසච්ච සම්මාදිට්ඨිය

star_outline

තථාගත ශ්‍රාවකයා විසින් මුලින්ම ඇති කරගත යුත්තේ පින් පව් පිළිබඳ විශ්වාසය හෙවත් කම්මස්සකතා සම්මා දිට්ඨියයි. එම සම්මා දිට්ඨියෙන් යුක්ත වූ තැනැත්තා ඉන් පසුව චතුරාර්ය සත්‍ය ධර්මය ඉගෙන ගනිමින්, චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය හෙවත් සම්මා දිට්ඨිය ඇති කරගත යුතුය.

චතුරාර්ය සත්‍යය පිළිබඳ සම්මා දිට්ඨිය ඇති කරගන්නා ආකාර කීපයක් ධර්මයේ සඳහන් වෙයි. පළමුවෙන්ම චතුරාර්ය සත්‍යය පිළිබඳ දේශනාවන් ඇසීම හෝ කියවීම, ධර්ම සාකච්ඡා කිරීම ආදිය කළ යුතුය. ඒ තුළින් ඇති වන්නා වූ ප්‍රඥාව ඉතා වැදගත්ය.

"සෝතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං"

යනුවෙන් පටිසම්භිදාමග්ගපාලියෙහි කනින් අවධානය යොමු කොට ලබන්නා වූ ප්‍රඥාව "සුතමය ඥානය", හෙවත් ඇසීමෙන් ලබන්නා වූ නුවණ ලෙස පැහැදිලි කළහ. චතුරාර්ය සත්‍යය පිළිබඳව ද අප පළමුව ඇති කරගන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව වූ සුතමය ඥානයකි.

ශීල, සමාධි, ප්‍රඥා ප්‍රගුණ කිරීම

මෙම ඥානය ලබා ගත් තැනැත්තා කර්මය කර්මඵලය අදහන කෙනෙකු වන නිසාත්, චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමක් ඇති කෙනෙකු වන නිසාත්, එම දහම අවබෝධ කර ගැනීම සඳහා තමා තුළ ශික්‍ෂණය, හික්මීම, සංවර බව ඇති කරගත යුතුය. විශේෂයෙන් කාය සංවරය සහ වචී සංවරය උපදවා ගත යුතුය. එම සංවරය "සීලය" නමින් හඳුන්වනු ලබයි.

"සුත්වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං"

යනුවෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පසුව ඇති කරගන්නා වූ සංවර වීම "සීලමය ඥානය" නම් වූ නුවණයි.

සීලයකින් පමණක්ම චතුරාර්ය සත්‍ය වැනි ගැඹුරු දහමක් තමාගේ අවබෝධයක් බවට පත් කරගත නොහැකිය. ඒ සඳහා තැන්පත් වූ, සමාධිගත වූ සිතක් තිබිය යුතුමය.

"සමාධිං භික්ඛවේ භාවේථ, සමාහිතෝ භික්ඛු යථාභූතං පජානාති"

යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් "මහණෙනි, සමාධිය වඩන්න; සමාධිගත වූ භික්ෂුව යථාර්ථය දකී" යනුවෙන් වදාළ සේක. ඒ අනුව චතුරාර්ය සත්‍යය වැනි ගැඹුරු දහමක් අවබෝධ කර ගැනීම සඳහා සමාධිය ද අත්‍යවශ්‍යය. එබැවින් සීලයෙන් සංවර වූ තැනැත්තා සමථ භාවනාවක් වඩමින් සමථ මූලක සමාධියක් හෝ, නැතිනම් විදර්ශනා භාවනා වඩමින් විදර්ශනාවකින් ලබන්නා වූ ක්ෂණික සමාධියක් හෝ උපදවා ගත යුතුය.

"සංවරිත්වා සමාධානෙ පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං"

යනුවෙන් සීලයෙන් සංවර වූ තැනැත්තා සමථය වඩා චිත්ත ඒකාග්‍රතාවය, හෙවත් සමාධිය ලබා ගනී. ඒ පිළිබඳ ඔහුට ඇති වන නුවණ "සමාධිභාවනාමය ඥානය" නමින් හඳුන්වනු ලබයි.

නාමරූප පරිග්ගහය සහ සත්‍යාවබෝධය

සමාධිමත් සිතකින් යුතුව පංච උපාදානස්කන්ධයෙහි නාම රූප ධර්මයන් වෙන්කර දකින භාවනා ක්‍රමය, හෙවත් රූපය නුවණින් දැකීම සඳහා වඩන "රූප පරිග්ගහ භාවනාව" ද, නාම ධර්මයන් වෙන්කර දකින "නාම පරිග්ගහ භාවනාව" ද තුළින් පංච උපාදානස්කන්ධය සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නොවන බවත්, නාමරූප පමණක් වන බවත් තේරුම් ගත හැකිය. ඒ තුළින් ඔහුට දුක පිළිබඳව ඉතා පුළුල් අවබෝධයක් ඇති වෙයි (දුක්ඛ සත්‍යය).

තවදුරටත් පංච උපාදානස්කන්ධයට හේතු විමසීමේදී, දුක හට ගැනීමට හේතුව පිළිබඳව ද අවබෝධය ඇති වෙයි (සමුදය සත්‍යය). එම මාවතෙහි ගමන් කිරීම තුළින් ඔහුට යම් දවසක නිර්වාණය අවබෝධ කරගත හැකිය; නිරෝධ සත්‍යය සාක්ෂාත් කර ගත හැකිය. ඒ නිර්වාණය අවබෝධ කරවන්නා වූ, ඒ සඳහා පිළිපැදිය යුතු වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි (මග්ග සත්‍යය).

මෙසේ චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධය ඇති කරගැනීමම ප්‍රඥාවකි. දැනට තමාගේම නුවණක් විදිහට චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයක් අප හට නැත. එබැවින් සුතමය වශයෙන්, හෙවත් ඇසීම් දැරීම් බසින් හෝ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට ශ්‍රාවකයා වෙහෙස මහන්සි විය යුතුය. එපමණකින් නොනැවති පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම කෙරෙහි ශ්‍රාවකයා ප්‍රතිපත්ති පිරීම කළ යුතුය.

මහා චත්තාරීසක සූත්‍රය ඇසුරින් ද්විවිධ සම්මා දිට්ඨිය

"ද්වයං භික්ඛවේ සම්මාදිට්ඨිං වදාමි: අත්ථි, භික්ඛවේ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවේපක්කා; අත්ථි, භික්ඛවේ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා."

(මජ්ඣිම නිකාය, මහා චත්තාරීසක සූත්‍රය)

"මහණෙනි, සම්මා දිට්ඨි දෙකක් ඇතැයි දේශනා කරමි. මහණෙනි, ආශ්‍රව සහිත වූ, පුණ්‍ය භාගීය වූ, හෙවත් පිනට අයත් වූ, මතු සැප විපාක ලබා දෙන්නා වූ සම්මා දිට්ඨියක් ඇත. ආර්ය වූ, ආශ්‍රව රහිත හෙවත් අනාශ්‍රව වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියක් ඇත."

ආශ්‍රව සහිත වූ (සාසව) සම්මා දිට්ඨිය: පිනට අයත් වූ, සැප විපාක ලබා දෙන්නා වූ සම්මා දිට්ඨියක් ඇත; එනම් පෙර සඳහන් කරන ලද දසවස්තුක සම්මා දිට්ඨියයි. කම්මස්සකතා සම්මා දිට්ඨිය නමින් අප විස්තර කරන ලද්දේ එයයි.

ආර්ය වූ අනාශ්‍රව වූ (අනාසව) ලෝකෝත්තර සම්මා දිට්ඨිය: ඒ කුමක්ද? අරියචිත්තස්ස (ආර්ය සිත් ඇති), අනාසවචිත්තස්ස (ආශ්‍රවයන්ගෙන් තොර වූ සිත් ඇති), අරියමග්ගසමංගිනෝ (ආර්ය මාර්ගයෙහි යෙදී සිටින), මග්ගං භාවයතෝ (ආර්ය මාර්ගය වඩන්නා වූ) තැනැත්තාගේ යම් පඤ්ඤා (ප්‍රඥාවක්) වේද, පඤ්ඤින්ද්‍රියං (ප්‍රඥා ඉන්ද්‍රියයක්) වේද, පඤ්ඤාබලං (ප්‍රඥා බලයක්) වේද, ධම්මවිචය සම්බොජ්ඣංගෝ (ධම්මවිචය සම්බොජ්ඣංගයක්) වේද, සම්මාදිට්ඨි මග්ගංගං (මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියක්) වේද—එය ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියයි.

එම සම්මා දිට්ඨියෙන් යුක්ත තැනැත්තා මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කරයි; සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස උත්සාහ කරයි. එය ඔහුගේ සම්මාවායාමයයි. ඔහු සිහියෙන් යුතුව මිථ්‍යාදෘෂ්ටිය දුරු කරයි; සිහියෙන් යුතුව සම්මා දිට්ඨියට පැමිණ වාසය කරයි; එය ඔහුගේ සම්මාසතියයි.

මෙසේ මේ ත්‍රිවිධ ධර්මයෝ සම්මා දිට්ඨිය සමඟ යෙදෙති, ගමන් කරති, අනුව පවතිති. කවර ත්‍රිවිධ ධර්මයෝද යත්? සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති යන ත්‍රිවිධ ධර්මයන්ය.