පරලොවක් ඇත, හෙවත් මරණින් මතු උපතක් සිදුවෙයි යන්න විශ්වාස කිරීම මෙම සම්මා දිට්ඨියයි. භෞතිකවාදීහු මතු උපතක් පිළිනොගනිති. මරණින් මතු ජීවිතය නිමාවන්නේ යැයි සිතති; උච්ඡේද දෘෂ්ටිය යනු ද මේමය. උච්ඡේද දෘෂ්ටිය ඇතිව සිටීම බලවත් වූ පාප ධර්මයකි. මක්නිසාද යත්, පරලොව නොපිළිගන්නා බැවින් හොඳින් හෝ නරකින් හෝ පංච ඉන්ද්‍රියන් පිනවීමටම ඔවුන් යොමු වන බැවිනි. සත්ත්වයා මරණින් මතු නැවත නැවත උපත ලබයි. එසේ ඉපදීමේදී කර්මානුරූපව එය සිදු වෙයි.
"ගබ්බමේකේ උප්පජ්ජන්ති - නිරයං පාපකම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්ති - පරිනිබ්බන්ති අනාසවා"
යනුවෙන් ධම්මපදයෙහි දක්වා ඇත්තේ: මරණයට පත්වන සමහර අය මව්කුසක් තුළ උපදින බවයි. පව් කරන තැනැත්තෝ නිරයට යති (නිරය යන්නෙන් සතර අපායම විස්තර වන බව තේරුම් ගත යුතුය). පින් කරන තැනැත්තෝ සුගතියෙහි උපත ලබති (සුගතිය යනු මනුස්ස ලෝකය සහ දිව්‍ය ලෝක හය මෙන්ම බ්‍රහ්ම ලෝක දහසය හැඳින්වීමට යොදන නමකි). කෙලෙසුන් නැසූ නිකෙලෙස් උතුමෝ පිරිනිවණට පත්වෙති, යන්න ඉහත සඳහන් කරන ලද ගාථාවේ සරල අර්ථයයි.
අත්ථි මාතා: මව ඇත; මින් අදහස් කරන්නේ මවට කරන ලද උපකාරයෙන් කුසල් රැස්වන බවත්, මව උදෙසා නොසැලකීමෙන් පාප ධර්ම සිදුවන බවත්ය.
අත්ථි පිතා: පියා ඇත; හෙවත් පියතුමාට උපකාර කිරීමෙන්, සැලකීමෙන් පින් ලැබේ; නොසැලකීමෙන් පාප ධර්ම සිදුවෙයි.
අතීතයේ පටන් මව්පියන්ට නොසලකන දරුවෝ ලොව තුළ සිටියහ. තථාගතයන් වහන්සේ ඔවුන් හැඳින්වීමට "වසලයා" යන වචනය භාවිතා කළහ.
"යෝ මාතරං වා පිතරං වා - ජිණ්ණකං ගතයොබ්බනං
පහූ සන්තෝ න භරති - තං ජඤ්ඤා වසලෝ ඉති"
යම්කිසි කෙනෙක් යොවුන් බව ඉක්මවා ගිය, දිරන ලද ශරීර ඇති මවට හෝ පියාට හැකියාව තිබියදී නොසලකන්නේ නම්, ඔහු වසලයෙක් යැයි දත යුතුය. "වසලයා" යනු ඉතා පහත් කෙනෙකු හැඳින්වීම සඳහා යොදන ලද වචනයකි. පුරාණ භාරතයෙහි පහත් වූ කුලහීනයන් හැඳින්වීමට මෙම වචනය භාවිතා කළහ. එම කුලහීනයන්ට තම නිවසට ඇතුල් වීමටවත්, ඇඳ පුටු ආදියෙහි වාඩි වීමටවත් ඉඩ දුන්නේ නැත; ගෙදර ඉදිරිපස පිලෙහි වාඩි කරවා, ඔවුන් උදෙසාම ඇති වෙනම පිඟන් කෝප්පවලින් ආහාර පාන දීම සිදු කළහ; ගෙට වද්දා ගත්තේ නැත. මව්පියන්ට නොසලකන තැනැත්තා ද වසලයෙකි. ඔවුන් කෙතරම් පහත් දැයි කිවහොත්, ගෙයක් තුළට වද්දා ගැනීමටවත් සුදුසු නැති තරම් පහත් පුද්ගලයෝය. මව්පියන්ට නොසලකන තැනැත්තා එබඳු පහත් ස්වභාවයකට පත්වෙන බව බුද්ධිමත් අය විසින් ඉතා මැනවින් තේරුම් ගෙන මව්පිය උපස්ථානයෙහි යෙදිය යුතුය.
"යෝ මාතරං වා පිතරං වා - ජිණ්ණකං ගතයොබ්බනං
පහූ සන්තෝ න භරති - තං පරාභවතෝ මුඛං"
යම්කිසි කෙනෙකු, දිරන ලද ශරීර ඇති යොවුන් බව ඉක්මවා ගිය මව්පියන්ට හැකියාව තිබියදී නොසලකයි නම් එය පිරිහීමේ දොරටුවකි යනුවෙන් පරාභව සූත්‍රයේදී දේශනා කළහ. එම දේශනාව අනුව මව්පියන්ට නොසැලකීම මහා පාපකර්මයකි. එම පාප කර්මය අද හෙටම විපාක දෙන්නේ නැත; විපාක දීම සඳහා පාපය මේරීමට කලක් ගත වේ.
"යදා ච පච්චතී පාපං - අථ පාපෝ පාපානි පස්සති"
යනුවෙන් ධම්මපදයෙහි, පව් මේරීමෙන් පසු පව් කළ තැනැත්තා දුකට පත්වන බව දේශනා කොට ඇත. මව්පියන්ට නොසැලකීම නම් වූ පාප කර්මය මෝරා විපාක දීමට සුදුසු අවස්ථාවට පැමිණි කල්හි, මව්පියන්ට නොසලකන ලද දරුවා මහත් වූ පරිහානියට පත්වන්නේය. ශරීර ශක්තියෙන් ද, නීරෝගී බවෙන් ද, කීර්තිමත් බවෙන් ද, ධන සම්පත්වලින් ද, වෙනත් දූ දරුවන්ගේ සැලකීම් ආදියෙන් ද පරිහානියටම පත්වන්නේය. අව පක්ෂයෙහි හඳ මඩල දිනෙන් දින පිරිහෙන්නා සේ, ඔවුන්ගේ ලෞකික සැප සම්පත් ද පිරිහීමට පත්වේ. එතැනින් නොනැවතී මරණින් මතු නිරයෙහි උපත ලබයි.
"මාතා පිතූ උපට්ඨානං - ඒතං මංගල මුත්තමං"
යනුවෙන් බුදුරජාණන් වහන්සේ මව්පිය උපස්ථානය උතුම් මංගල කරුණක් බව දේශනා කළහ. මව්පිය උපස්ථානය මෙලොව යහපත පිණිස උපකාර වන, පරලොව සුගතිය පිණිස උපකාර වන, සසර දුක නිමාකොට අමා නිවන ලැබීමට උපකාර වන ශ්‍රේෂ්ඨ පිනකි. එබැවින් එය මංගල කාරණාවකි.
"යෝ මාතරං වා පිතරං වා - මච්චෝ ධම්මේන පෝසති
තාය නං පාරිචරියාය - මාතාපිතුසු පණ්ඩිතා
ඉධේව නං පසංසන්ති - පෙච්ච සග්ගේ පමෝදති"
යනුවෙන් යම්කිසි කෙනෙක් මව්පියන් පෝෂණය කිරීම සිදුකරයි ද, දෙවියෝ ඔහුට ගරු කරති. මරණින් මතු සුගතියෙහි ඉපදීම සැප සම්පත් ලබා සතුටු වෙති; මෙලොවම ප්‍රශංසා ලබති යනුවෙන් ද අංගුත්තර නිකායේ තික නිපාතයේ දක්වා ඇත.
ගිහි පින්වතුන්ට අයිති ප්‍රතිපත්ති පූජාව දක්වන තථාගතයන් වහන්සේ, "මාතරං උපට්ඨාති පිතරං උපට්ඨාති" යනුවෙන් මව්පිය උපස්ථානය ප්‍රතිපත්ති පූජාවක් බව දේශනා කළහ. ඒ බව මහා පරිනිබ්බාන සූත්‍ර අට්ඨකථාවේ සඳහන් වෙයි. මේ අනුව මව්පිය උපස්ථානය ලෞකික වශයෙන් බොහෝ සැප සම්පත් ලැබීමට හේතුවෙන මහා කුසලයකි. එහි ආනිසංස වශයෙන්ම මෙලොව සතුටෙන් ජීවත්වීමට අවකාශ සැලසේ, මරණින් මතු සුගතිගාමී වෙයි, සසර දුක නිමාකොට අමා නිවනින් සැනසීමට ද හේතුවන මහා ප්‍රතිපත්ති පූජාවක් බවට පත්වෙයි. එය සෘජුවම නිවන් දකින්නට හේතුවන මහා කුසලයකි.