අංගුත්තර නිකාය අට්ඨකථාවෙහි 'විඤ්ඤූහී' යනු පණ්ඩිතයන් බව දක්වා ඇත. විසුද්ධි මාර්ගයේදී එම පණ්ඩිතයන් යන වචනය තවදුරටත් විස්තර කර දී ඇත. එනම් උග්ඝටිතඤ්ඤු, විපචිතඤ්ඤු සහ නෙය්‍ය යන පුද්ගලයන් තිදෙනාම පණ්ඩිතයන් වන බව, හෙවත් 'විඤ්ඤූහී' යන වචනයෙන් අදහස් කරන බව දක්වා ඇත.
උග්ඝටිතඤ්ඤු: දහම් මාතෘකාවක් ඇසීමෙන් පමණක්ම ධර්මය අවබෝධ කරගන්නා තැනැත්තා උග්ඝටිතඤ්ඤු නම් වේ.
විපචිතඤ්ඤු: මාතෘකාව විස්තර කරමින් ධර්ම දේශනා කරන කල්හි ධර්මය අවබෝධ කරගන්නා තැනැත්තා විපචිතඤ්ඤු නම් වේ.
නෙය්‍ය: දහම අසා සිත තුළ දරාගෙන බොහෝ කාලයක් සීල, සමාධි, ප්‍රඥා පිළිවෙත් පුරා මේ ජීවිතය තුළදීම ධර්මය අවබෝධ කරගන්නා තැනැත්තා නෙය්‍ය නමින් හඳුන්වනු ලබයි.
උග්ඝටිතඤ්ඤු ආදී බුද්ධිමත් පණ්ඩිත ජනයන් විසින් තම තමා කෙරෙහිම දතයුතු බැවින් 'පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී' නම් වේ.
දතයුත්තේ කෙසේද?
"මා විසින් මාර්ගය වඩන ලදී, ඵලය ලබන ලදී, නිවන සාක්ෂාත් කරන ලදී" යනුවෙන් දතයුතුය.
එසේමයි;
ආචාර්යයන් වහන්සේ මාර්ගය වැඩූ කල්හි ශිෂ්‍යයාගේ කෙලෙස් ප්‍රහීන නොවේ.
ආචාර්යයන් වහන්සේ ඵලය ලබාගත් කල්හි, ඵල සමාපත්ති සුවයෙන් ශිෂ්‍යයා සුවසේ වාසය නොකරයි.
ආචාර්යයන් විසින් සාක්ෂාත් කළ නිර්වාණය ශිෂ්‍යයා සාක්ෂාත් කරන්නේ නොවෙයි.
නව ලෝකෝත්තර ධර්මය අන්‍යයන්ගේ හිස පැළඳි ආභරණයක් සේ දැකිය හැකි නොවේ. නුවණැත්තන් විසින්ම තම තමාගේ සිතෙහිම උපදවාගෙන දැකිය යුතුය, වින්දනය කළ යුතුය. එබැවින් 'පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී' නම් වෙයි.