පොත් ලැයිස්තුව

ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් සිත දෙස බැලීම:

star_outline

​"ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහරති"

සරල අර්ථය: මෙසේ යෝගාවචරයා රාගාදී වූ හෝ වීතරාගාදී වූ ඒ ඒ සිත් පවතින විට, ඒ ඒ සිතේ ස්වභාවය හුදෙක් සිතක් ලෙසම ලකුණු කරගනිමින්, තමා තුළම (ආධ්‍යාත්මිකව) මනා සිහියෙන් යුතුව මෙනෙහි කරමින් වාසය කරයි.

​"බහිද්දා වා චිත්තේ චිත්තානුපස්සී විහරති"

සරල අර්ථය: තමාගේ සිත යම් ආකාරයකට, යම් විදිහකට, යම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ ද, පවතින්නේ ද, බාහිර අන් අයගේ සිත් ද ඒ ආකාරයටම, ඒ විදිහටම, ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් පවතින බවත් නිරුද්ධ වන බවත් තේරුම් ගනිමින්, බාහිර පුද්ගලයන්ගේ සිත් පිළිබඳව ද වරින් වර මනා ප්‍රඥාවෙන් විමසා බලයි.

​"අජ්ජත්තබහිද්දා වා චිත්තේ චිත්තානුපස්සී විහරති"

සරල අර්ථය: වරෙක තමාගේ සිත ද, වරෙක අනුන්ගේ සිත ද යන උභය ආකාරයෙන්ම සිත් කෙරෙහි සිහිය පිහිටුවාගෙන, සිතේ ඇති අනිත්‍ය ස්වභාවය නුවණින් දකිමින් වාසය කරයි.

​සිතේ සමුදය සහ වය (හටගැනීම හා ක්ෂය වීම) දැකීම:

​"සමුදයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති"

සරල අර්ථය: සිත (විඤ්ඤාණය) හට ගැනීමට බලපාන මූලික හේතූන් ක්ෂණයක් පාසා සිදුවන ආකාරය දකිමින් වාසය කරයි. ඒ අනුව සිතේ සමුදයට ප්‍රධාන හේතු පහක් (5) බලපායි:

​අවිද්‍යා සමුදය: සත්‍යය නොදැනීම නිසා විඤ්ඤාණය හටගනී.

​තණ්හා සමුදය: අරමුණු කෙරෙහි ඇති වන ඇලීම නිසා සිත හටගනී.

​කම්ම සමුදය: පෙර කරන ලද කුසල් අකුසල් කර්මයන් නිසා සිත හටගනී.

​නාමරූප සමුදය: සිතට ප්‍රතිබද්ධ නාමරූප ධර්මයන්ගේ පැවැත්ම නිසා සිත හටගනී.

​උප්පාද ලක්ෂණය: වර්තමාන ක්ෂණයෙහි සිතේ ක්ෂණික හටගැනීම (උප්පාදය) දැකීම ද සමුදය දැකීමකි.

​"වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති"

සරල අර්ථය: ඉහත සඳහන් කළ හේතූන් නිරුද්ධ වීමෙන් සිත ක්ෂය වී, නිරුද්ධ වී යන ආකාරය (වය ස්වභාවය) දකිමින් වාසය කරයි. එනම්, අවිද්‍යා, තණ්හා, කර්ම සහ නාමරූප නිරෝධයෙන් සිත නිරුද්ධ වන ආකාරයත්; ක්ෂණයක් පාසා උපදින සිත චිත්තක්ෂණයක් පැවතී ඊළඟ ක්ෂණයේදීම බිඳී යන (භංග ලක්ෂණය) ආකාරයත් ශ්‍රාවකයා මනාකොට පුහුණු විය යුතුය.

​"සමුදයවයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති"

සරල අර්ථය: එසේම සිතේ හටගැනීම සහ ක්ෂය වීම යන උදයව්ව්‍ය ලක්ෂණ දෙකම එකවර වර්තමාන මොහොතේදී නුවණින් විමසා බැලීමට ශ්‍රාවකයා මනාව පුහුණු වෙයි.

​(සටහන: මෙම සමුදය සහ වය ලක්ෂණ පිළිබඳව වේදනානුපස්සනා පරිච්ඡේදයෙහි ඉතාමත් සවිස්තරාත්මකව විග්‍රහ කළ බැවින් මෙහිදී සංක්ෂිප්තව දක්වා ඇත).