විඤ්ඤාණ ධාතුව යනු හුදෙක් විඤ්ඤාණයට පමණක් කියන නමක් නොවේ. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතරම හැඳින්වීම සඳහා විඤ්ඤාණ ධාතුව යන නම භාවිතා කරයි.
සුඛ ධාතු, දුක්ඛ ධාතු ආදී ධාතු හය සහ අභිධර්ම විග්‍රහය
"ස්වාමීනී, ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වන වෙනත් ක්‍රමයක් තිබේද?"
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:
"සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයෝ: සුඛධාතු දුක්ඛධාතු සෝමනස්සධාතු දෝමනස්සධාතු උපෙක්ඛාධාතු අවිජ්ජාධාතු. ඉමා ඛෝ, ආනන්ද, ඡ ධාතුයෝ යතෝ ජානාති පස්සති, එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති."
ආනන්ද, වෙනත් ක්‍රමයක් තිබේ. ආනන්ද, මේ ධාතු හයකි: සුඛ ධාතුවය, දුක්ඛ ධාතුවය, සෝමනස්ස ධාතුවය, දෝමනස්ස ධාතුවය, උපේක්ෂා ධාතුවය, අවිද්‍යා ධාතුවය යනුවෙනි.
ආනන්ද, යම් කලෙක මෙම ධාතු හය දනීද, දකීද, ආනන්ද, මෙපමණකින් ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වෙයි.
ධර්මාර්ථ විස්තරය
- සුඛ ධාතුව: කායික සැප වේදනාවයි.
- දුක්ඛ ධාතුව: කායික දුක් වේදනාවයි.
- සෝමනස්ස ධාතුව: මානසික සැප වේදනාවයි.
- දෝමනස්ස ධාතුව: මානසික දුක් වේදනාවයි.
- උපේක්ෂා ධාතුව: සැප නැති, දුක නැති වේදනාවයි.
- අවිද්‍යා ධාතුව: චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොවීමයි.
මේවා ධාතු ස්වභාවයන් වශයෙන් දැකීමට පුහුණුවීම ඉතා වැදගත්ය. සැපය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන ධාතු ස්වභාවයක් යනුවෙන් දැකීමෙන් එහි යථාර්ථය මනාකොට තේරුම් ගත හැකිය. එවිට සැපයෙහි ගිජු වන ස්වභාවය දුරු වන්නේය; බලාපොරොත්තු වන දෙය නොලැබී යාමෙන් ඇතිවන කම්පනය හා පීඩනය නැති වන්නේය. මෙම අවබෝධය නැති සත්වයා සැපයෙන් උඩඟු වන්නේය; "මම සැප ඇති කෙනෙකි, අන් අය සැප නැති අය වෙති" යනුවෙන් තමා උසස් කොට දක්වමින්, අන් අය පහත් කොට දක්වමින් සිතන්නේය.
ජීවිතයේ දුක් වේදනා විඳීමට සිදුවෙන අවස්ථා ඉතා බහුලය. දුක් වේදනාවක් ඇති වූ විට හැඬීම අඥානයාගේ ස්වභාවයයි. ඔහු ශෝක කිරීමෙන් නවතින්නේ නැත; ඒ පිළිබඳ සිතමින් පරිදේවයට හෙවත් යමක් කිය කියා අඬන ස්වභාවයට පත් වන්නේය. කායික දුක මහත් පීඩාවක් කොට සිතට ගන්නේය; එයින් මානසික දුකක්ද හටගන්නේය. කායික හා මානසික දැඩි වෙහෙසට, උපායාසයට පත්වන්නේය.
දුක් වේදනාව සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන ධාතු මාත්‍රයක් ලෙස බලන්නට පුහුණු වීමෙන් මේ සියලු ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන් යටපත් කරගත හැකිය. දුක් වේදනාව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසීමටද ශ්‍රාවකයා නිතර පුරුදු පුහුණු විය යුතුය.
කායික දුක් වේදනාව ඉවසීමට සුදුසු වන සේ වීර්යය වැඩිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. අංගුත්තර ත්‍රික නිපාතයේ වීර්යය තුනක් පිළිබඳව දක්වා තිබේ:
- පළමුවැන්න අකුසල ධර්මයන් දුරු කිරීමේ වීර්යයයි.
- දෙවැන්න කුසල ධර්මයන් උපදවා ගැනීමේ වීර්යයයි.
- තෙවැන්න කායික දුක් වේදනා ඉවසාගැනීමේ වීර්යයයි.
එබැවින් සම්බුද්ධ ශ්‍රාවකයා වේදනාව ඉවසා ගැනීම සඳහා වීර්යය කිරීම කළ යුතුමය; එවිට මාරාන්තික වේදනාව පවා විදර්ශනා වැඩීමට හැකිවනු ඇත. මෙම බහුධාතුක සූත්‍රයේදී කායික දුක් වේදනාව සත්ත්වයෙක් නොවන, පුද්ගලයෙක් නොවන ධාතු මාත්‍රයක් ලෙස දැන ගැනීමට, දැකීමට උපදෙස් ලබා දෙන්නේය.