අහස යනු යමක් පැවතීමට ඇති ඉඩකඩය. ඉරිනොගැසිය හැකි ස්ථානයද අහස යන නමින් හඳුන්වනු ලබයි. ශරීරය තුළද ඉඩකඩ ඇති ස්ථාන රාශියකි; ඒවා ආකාස ධාතු යන නමින් හඳුන්වයි. නාස් සිදුරු, කන් සිදුරු, මුව සිදුර, මුත්‍රමල සිදුරු සහ ආහාරපාන ශරීරය ඇතුළට ගන්නා වූ සිදුරුත්, ආහාරපාන ආදිය තැන්පත් වන්නා වූ සිදුරුත් මේ සියල්ල ආකාස ධාතුවයි.
හාල් පිටි කෙටීම සහ ආකාස ධාතුව:
පැරැන්නෝ හාල් පිටි තම නිවසේදීම සකස් කර ගත්හ. පළමුවෙන් හාල් පෙඟෙන්නට දැමූහ. මෙහිදී හාල් පෙඟීම යනුවෙන් සිදුවන්නේ කුමක්ද? හාල් ඇට ඇතුළට ජලය ගමන් කොට එහි ජලය තැන්පත් වීම එහිදී සිදුවෙයි. පෙඟුණු සහල් කොටාගනු ලබයි. පැරණි ක්‍රමයට වංගෙඩියකට දමා මෝල්ගසෙන් කෙටීම හෝ පුරහන් ගලකට දමා ඇඹරීම හෝ සිදු කළහ.
හාල් කෙටීමේදීත් හාල් ඇටය තුළ පවතින කුඩා කුඩා කොටස් වෙන් කිරීම සිදුවෙයි. එම කුඩා කුඩා කොටස් අතර ඉඩකඩක් තිබුණි. හාල් පෙඟෙන්නට දැමූ අවස්ථාවේ ජලය තැන්පත් වූයේ ඒ කුඩා ඉඩකඩ අතරය. ආකාස ධාතුව යනු එයයි.
සෑම වස්තුවක් අභ්‍යන්තරයේම ආකාස ධාතුව පිහිටා තිබේ. කෙස් ගසක් දෙස බලන්න. කෙස් ගසක් යනු කුඩා කුඩා අංශු රාශියකි. එම කුඩා අංශු විශාල කර බලන්නේ යැයි සිතන්න. එවිට බෝල ගොඩක් එකට තැන්පත් කර තිබෙන ආකාරයක් දිස්වනු ඇත.එවිට ඒ අතර ඉඩකඩ දක්නට ලැබෙයි; එය ආකාස ධාතුවයි.
එසේ නම් සෑම භෞතික වස්තුවක් තුළම ආකාස ධාතුව ඇති බව මේ සරල ක්‍රමවලින් තේරුම් ගත යුතුය. ආකාස ධාතුව සත්වයෙකු නොවේ; පුද්ගලයකු නොවේ. එබැවින් ධාතු මාත්‍රයකි.