තේජෝ යනු උෂ්ණත්වයට නමකි. උෂ්ණත්ව ස්වභාවයෙන් යුතු කොටස් හතරක් ශරීරයෙහි පිහිටා තිබේ.
- ජීරණ තේජෝ ධාතුව: දිනෙන් දින කය දිරවන, මේරීමට පත් කරවන, හම රැළි වැටීමට හේතුවන, කෙස් සුදු වීමට හේතුවන උෂ්ණත්වයක් ඇත. එය ජීරණ තේජෝ ධාතුවයි.
- සන්තප්පන තේජෝ ධාතුව: උණ, පැපොළ, වසූරිය, සරම්ප, ඩෙංගු, මැලේරියා ආදී රෝගී අවස්ථාවන්හිදී ශරීරයෙහි උණුසුම් වන ස්වභාවය සන්තප්පන තේජෝ ධාතුවයි. වාත්, පිත්, සෙම් යන තුන්දොස් අතරින් එකක් හෝ කීපයක් හෝ කිපීමෙන් කෝෂ්ඨගතව පවතින උෂ්ණත්වය ස්පර්ශ ඉන්ද්‍රිය වෙත පැමිණීම උණ අවස්ථාවේදී සිදුවෙයි. එය සන්තප්පන තේජෝ ධාතුවයි. ඒ හැරුණු විට නොයෙක් රෝගී ස්වභාවයන් නිසා ඇඟෙහි ඇතිවන උෂ්ණත්වයද මෙයටම අයත්ය.
- පරිඩහන තේජෝ ධාතුව: රෝගාතුර ස්වභාවයකින් තොරව, හිරු එළිය නිසා, ගිනි රස්නය නිසා, අව් රස්නය නිසා, වැඩපොළ කිරීම නිසා නොයෙක් ආකාරයෙන් ඇතිවන ආගන්තුක උෂ්ණත්වය පරිඩහන තේජෝ ධාතුවයි.
- පාචක තේජෝ ධාතුව: අප විසින් කන බොන, රස විඳින, අනුභව කරන ආහාරයන් දිරීමට හේතු වන්නා වූ උෂ්ණත්වය පාචක තේජෝ ධාතුවයි.