තණ්හාව යනු සිත තුළ පවතින ආශාවයි. රාගය යන නමින්ද, තෘෂ්ණාව යන නමින්ද, කැමැත්ත යන නමින්ද, ඡන්දරාගය යන නමින්ද, කාමච්ඡන්දය යන නමින්ද, තවත් නොයෙක් නම් වලින්ද තණ්හාව හඳුන්වනු ලබයි. තණ්හාව වේදනාව නිසා හට ගනී. තණ්හා සමූහ හෙවත් රාශී හයක් තිබේ.
ඒ බව විභංග සූත්‍රයෙහි සඳහන්ය. එය මීට පෙර දක්වන ලදී:
- රූප තණ්හා
- ශබ්ද තණ්හා
- ගන්ධ තණ්හා
- රස තණ්හා
- පොට්ඨබ්බ තණ්හා
- ධම්ම තණ්හා
ඇසට පෙනෙන රූපයන් කෙරෙහි ඇති ආසාව රූප තණ්හාවයි. කණට ඇසෙන ශබ්දයන් කෙරෙහි ඇති ආසාව ශබ්ද තණ්හාවයි. නාසයෙන් ආඝ්‍රහණය කරන ගඳ-සුවඳ කෙරෙහි ඇති තණ්හාව ගන්ධ තණ්හාවයි. දිවෙන් රසවිඳින රසයන් කෙරෙහි ඇති ආසාව රස තණ්හාවයි. කයින් ලබන ස්පර්ශයන් කෙරෙහි ඇති ආසාව පොට්ඨබ්බ තණ්හාවයි. මනසට එන සිතුවිලි කෙරෙහි ඇති ආසාව ධම්ම තණ්හාවයි.
කාමරාගය මුල්වී එම තණ්හා හය උපදී. එවිට කාම තණ්හා යන නම භාවිතා කරයි. ඒ අනුව කාම තණ්හා හයකි.
"රූපය නිත්‍යයි, රූපය ස්ථිරයි, රූපය සදාකාලිකයි, රූපය වෙනස් නොවේ, රූපය මෙලොවින් පරලොවට යයි" ආදී වශයෙන් ශාස්වත දෘෂ්ටිය මුල්වී තණ්හාව ඉපදීම භව තණ්හාව යන නමින් හඳුන්වනු ලබයි.
"රූපය මෙලොවින් පරලොවට නොයයි. රූපය මරණයත් සමඟම සිඳෙන්නේය, නැසෙන්නේය, විනාශ වන්නේය" යන අදහසින් රූපයට ඇලුම් කිරීම විභව තණ්හාවයි. සෙසු ශබ්ද ආදිය පිළිබඳවද එසේමය.
මේ අනුව කාම තණ්හා හයකි, භව තණ්හා හයකි, විභව තණ්හා හයකි. මෙම තණ්හා අටළොස (18) අතීතයෙහිද පැවැතියේය, අනාගතයෙහිද ඇතිවන්නේය, වර්තමානයෙහිද පවතින්නේය. එබැවින් තණ්හා පනස් හතරකි (18 × 3 = 54). එම තණ්හා පනස් හතර තමා තුළද ඇත, අන් අය තුළද ඇත. එවිට තණ්හා එකසිය අටකි (108).
බොහෝ දෙනකු කාමය කියා සිතා සිටින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාරණා පහයි. සැබැවින්ම ඒවා කාමයෝ නොවෙති; ඒවා කාම වස්තුන්ය. කාම ගුණ යන නමින්ද හඳුන්වනු ලබයි. පංච කාම වස්තූන් යන නමද, පංච කාම ගුණ යන නමද, වස්තු කාමය යන නමද විවිධ අවස්ථාවන් සඳහා ධර්මයෙහි භාවිතා කරයි.
"සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ..." කාමය යනු සංකල්පීය රාගය බව නිබ්බේදික පරියාය සූත්‍රයෙහි සඳහන්ය. එම කාමය දැඩි සේ ග්‍රහණය කර ගැනීම කාම උපාදානයයි. එකසිය අටක් වූ තණ්හාවෙහි දැඩි බවම කාම උපාදානයයි.
දිට්ඨි උපාදානය
"තත්‍ථ කතමං දිට්ඨූපාදානං, නත්‍ථි දින්නං, නත්‍ථියිඨං, නත්‍ථිහුතං -පෙ- සච්ඡකත්‍වා පවෙදෙන්ති. යා එව රූපාදිට්ඨි, විපරියෙසගාහො ඉදං වුච්චති දිට්ඨූපාදානං" (විභංග පාලිය)
දිට්ඨි උපාදානය යනු දස වස්තුක මිථ්‍යාදෘෂ්ටියයි. ඒ බව ඉහත සඳහන් කරන ලද විභංගපාලි පාඨයෙන්ම පැහැදිලි වෙයි.