පොත් ලැයිස්තුව

අට්ඨි පුඤ්ජ සූත්‍රය

star_outline

ඉතිවුත්තක පාලිය - ඒකක නිපාතය

වුත්තං හේතං භගවතා, වුත්තමරහතාති මේ සුතං.

​මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.

​"එකපුග්ගලස්ස, භික්ඛවෙ, කප්පං සන්ධාවතො සංසරතො සියා එවං මහා අට්ඨිකඞ්කලො අට්ඨිපුඤ්ජො අට්ඨිරාසි යථායං වෙපුල්ලො පබ්බතො සචෙ සංහාරකො අස්ස, සම්භතඤ්ච න විනස්සෙය්‍යාති."

​මහණෙනි, මහා කල්පයක් තුළින් සංසාරයෙහි ඇවිදින්නා වූ, ඒ ඒ භවයන්හි හැසිරෙන්නා වූ සත්වයෙකුගේ ඇටගොඩ, අට්ඨිපුඤ්ජය, ඇට සමූහය දිරන්නේ නැතුව පවතින්නේ නම්, එම ඇටගොඩ වේපුල්ල පර්වතය තරම් විශාල වන්නේය.

​සම්මුති දේශනාව යනු කුමක්ද?

​බුදුරජාණන් වහන්සේ වදාළ මෙම දේශනාව සම්මුති දේශනාවකි. එක පුද්ගලයකුගේ ඇටසැකිලි මහා කල්පයක් පුරාවට නොදිරා එකතු කළහොත් වේපුල්ල පර්වතය තරම් විශාල වන බව දේශනා කළහ. මෙසේ සත්ව, පුද්ගල, ආත්ම, ස්ත්‍රී, පුරුෂ, ශාස්තෘ, බ්‍රාහ්මණ, දේව, මාර ආදී වශයෙන් සිදු කරන ධර්ම දේශනා සම්මුති දේශනාය.

​අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ස්කන්ධ, ධාතු, ආයතන, සතර සතිපට්ඨානය ආදී දේශනා පරමාර්ථ දේශනාය. සම්මුති දේශනා අසා මාර්ග ඵල ලබන සත්වයෝ සිටිති. ඔවුන් උදෙසා සම්මුතියෙන් ධර්ම දේශනා කළහ. පරමාර්ථ දේශනාවන් අසා මාර්ග ඵල ලබන්නෝ සිටිති. ඔවුන් උදෙසා පරමාර්ථ දේශනා වදාළ සේක.

​සම්මුති පරමාර්ථ වෙනස කුමක්ද?

​ත්‍රිවේදය පිළිබඳව පරතෙරට පැමිණි ආචාර්යවරයෙකු සිටි. එතුමා තමාගේ සමීපයට එන දෙමළ භාෂාව දන්නා සිසුන්ට දෙමළ භාෂාවෙන් ත්‍රිවේදය ඉගැන්වීම කරති. අන්ධක භාෂාව දන්නා සිසුන් හට අන්ධක භාෂාවෙන් උගන්වති. එසේ තමන්ට තේරෙන භාෂාවෙන් උගන්වන විට සිසුවෝ ද ඉතා දක්ෂ ලෙස වහා ශිල්පය ඉගෙන ගනිති. ඒ ආකාරයෙන්ම තථාගතයන් වහන්සේ විසින් ද සම්මුතියෙන් ධර්මය අවබෝධ කළ හැකි සත්වයන්ට සම්මුතියෙන්ම ධර්මය දේශනා කළහ. පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගත හැකි සත්වයන්ට පරමාර්ථ වශයෙන් ධර්ම දේශනා කළහ.

​පුද්ගල මූලක කතා අට

​තථාගතයන් වහන්සේ විසින් පුද්ගල මූලක කරගෙන කාරණා අටක් පිළිබඳව දේශනා කළහ. එම කාරණා අට දේශනා කිරීම සඳහා සම්මුතිය අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

​හිරොත්තප්පදීපනත්ථං:

හිරි ඔතප් හෙවත් ලැජ්ජා බය පිළිබඳව දේශනා කිරීමට සම්මුතිය අනිවාර්යෙන් තිබිය යුතුය. පවට ලැජ්ජාව සහ පවට බය සම්මුතියෙන් තොරව පැහැදිලි කර දිය නොහැකිය. 'මව' යනු සම්මුතියකි. මව යන සම්මුතිය අතහැර දැමුවහොත්, මවට ගැසීමෙන් ලැජ්ජා විය යුතු කරුණකි, නොකළ යුතු කරුණකි කියා ප්‍රකාශ කළ නොහැකිය.

​කම්මස්සකතා දීපනත්ථං:

කර්මය ස්වකීය දෙයකි. එය තමාටම අයත්ය. තමා විසින් යහපත් කර්මයක් කරන ලද්දේ නම් එහි යහපත් විපාක තමාටම ලැබෙයි. තමා විසින් අයහපත් කර්මයක් කරන ලද්දේ නම් එහි දුක් විපාක තමන්ටම ලැබෙයි. මෙසේ කර්මය තමන්ටම අයත් ය යන්න පරමාර්ථයෙන් පැහැදිලි කළ නොහැකිය.

​පච්චත්ත පුරිසාකාර දීපනත්ථං:

වෙන් වෙන් වූ මිනිස් ස්වරූපය දේශනා කිරීමට සම්මුතිය යොදාගෙන තිබේ. සම්මුතියෙන් තොරව ඒ ඒ මිනිස්සුන්ගේ, ඒ ඒ දෙවියන්ගේ ස්වභාවය පැහැදිලි කළ නොහැකිය.

​ආනන්තරිය දීපනත්ථං:

තථාගතයන් වහන්සේ පංච ආනන්තරිය පාප කර්ම පැහැදිලි කිරීම සම්මුතියෙන්ම කළහ. එය සම්මුතියෙන් තොරව දේශනා කළ නොහැකිය. පරමාර්ථ වශයෙන් මව, පියා, රහතන් වහන්සේ, මහා සංඝරත්නය, බුදුරජාණන් වහන්සේ නොමැති බැවිනි. පරමාර්ථ වශයෙන් ගත් කල, ඒ සියලු දෙනාම ස්කන්ධ, ධාතු, ආයතන මාත්‍රයකි.

​බ්‍රහ්ම විහාරා දීපනත්ථං:

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සම්මුතිය මුල්කරගෙන වඩන භාවනාවය. එබැවින් තථාගතයන් වහන්සේ සම්මුතියෙන්ම ඒ බ්‍රහ්ම විහරණ ගැන දේශනා කළහ.

​පුබ්බේනිවාස දීපනත්ථං:

පෙර ජීවිත පිළිබඳව දේශනා කරන ලද්දේ ද සම්මුතිය තුළ පිහිටාය.

​දක්ඛිණා විසුද්ධි දීපනත්ථං:

දානය පිරිසුදු වන ආකාරය දේශනා කිරීම සම්මුතිය තුළින්ම කළහ.

​ඉහත සඳහන් කරන ලද මෙම කාරණා සම්මුතියෙන් තොරව දේශනා කළ නොහැකිය, පැහැදිලි කළ නොහැකිය. එබැවින් සර්වඥයන් වහන්සේ එම කාරණා සම්මුතියෙන්ම දේශනා කළහ.

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළහ. එම අර්ථය මෙසේ ද ගාථාවලින් කියනු ලැබේ.

​“ඒකස්සේකේන කප්පේන - පුග්ගලස්සට්ඨිසඤ්චයෝ

සියා පබ්බතසමෝ රාසි - ඉති වුත්තං මහේසිනා”

​එක කල්පයක් තුළ පුද්ගලයකුගේ ඇටසැකිලි නොදිරා එකතු කළහොත් පර්වතයක් හා සම වන්නේ යැයි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

​“සෝ ඛෝ පනායං අක්ඛාතෝ - වේපුල්ලෝ පබ්බතෝ මහා

උත්තරෝ ගිජ්ඣකූටස්ස - මගධානං ගිරිබ්බජේ”

​මගධ රට ගිරිබ්බජ නම් ගිජ්ඣකූට පර්වතයට උතුරින් පිහිටි වේපුල්ල පර්වතය විශාල යැයි කියනු ලැබේ. කල්පයක් තුළ සසර ගමන් කරන පුද්ගලයාගේ ඇටසැකිලි එකතු කළහොත් ඒ පර්වතය හා සම වන්නේය.

​“යතෝ ච අරියසච්චානි - සම්මප්පඤ්ඤාය පස්සති

දුක්ඛං දුක්ඛසමුප්පාදං - දුක්ඛස්ස ච අතික්කමං

අරියඤ්චට්ඨංගිකං මග්ගං - දුක්ඛූපසමගාමිනං

සත්තක්ඛත්තුං පරමඤ්ච - සන්ධාවිත්වාන පුග්ගලෝ

දුක්ඛස්සන්තකරෝ හෝති - සබ්බසංයෝජනක්ඛයා”ති

​යම් කලෙක ආර්ය ශ්‍රාවකයා දුක ද, දුක හට ගැනීමට හේතුව ද, දුක ඉක්මවා යාම හෙවත් නිවන ද, දුක ගෙවා දමන ආර්ය අෂ්ටාංගික මාර්ගය ද විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් දකී ද, ඔහු සසරෙහි ආත්ම හතක් ඇවිදගෙන ගොස්, සියලු සංයෝජන ක්ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නේය.

අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා, ඉති මේ සුතං.

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී.