පොත් ලැයිස්තුව

සතර අපාය

star_outline

​නිරය යනු කුමක්ද?

​සැපයෙන් තොර වූ, සත්වයන් දුක් විඳින්නා වූ ස්ථාන 'නිරය' නමින් හඳුන්වනු ලබයි. පෘථිවියේ සිට යොදුන් පහළොස් දහසක් යටින් පළමුවන නිරය පිහිටා ඇති බව දේශනාවන්හි සඳහන් වේ.

​නිරය පිහිටි ස්ථානය පිළිබඳ විග්‍රහය

​පෘථිවිය යනු යොදුන් පහළොස් දහසක් තරම් ඉතාම ගැඹුරක් නැති ග්‍රහ වස්තුවකි. ඒ අනුව මෙම නිරයන් පිහිටා ඇත්තේ වෙනම ග්‍රහලෝකයක යැයි සිතීම තර්කානුකූල වන අතර, එය ධර්මානුකූල බවට ද විරුද්ධ නොවේ. කෙසේ නමුත්, මෙය මාගේ පෞද්ගලික අදහසකි.

​අටමහා නිරයන්

​බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ප්‍රධාන වශයෙන් නිරයන් අටක් තිබේ. එනම්:

සංජීව නිරය

කාලසූත්‍ර නිරය

සංඝාත නිරය

රෞරව නිරය

මහා රෞරව නිරය

තාප නිරය

ප්‍රතාප නිරය

අවීචි නිරය

​සංජීව නිරයේ ස්වභාවය

​මෙම නිරයන් අතුරින් පළමුවැන්න 'සංජීව' නම් වේ. මෙහි උපන් සත්වයා කොපමණ වධහිංසාවන්ට භාජනය වුවද, නැවත නැවතත් අංගසම්පූර්ණ ශරීරයක් ඇතිව කර්මානුරූපව නිර්මාණය වන බැවින් මෙම නිරය 'සංජීව' නමින් හඳුන්වයි.

​මෙහි උපන් සත්වයන් යමපල්ලන් විසින් කඩකඩ කොට කපනු ලබයි. එසේ කැබලිවලට කපනු ලැබූ සත්වයන්, නැවත නැවතත් සිටි ආකාරයටම කර්මානුරූපව අංගසම්පූර්ණ ශරීර ඇතිව සකස් වේ. එවිට යමපල්ලන් විසින් නැවතත් එම සත්වයන් කැබලිවලට කපනු ලබයි.

ආයු කාලය

​සංජීව නිරයේ ආයුෂ ප්‍රමාණය මෙසේය:

​චාතුම්මහාරාජික වැසි දෙවියන්ගේ ආයුෂ අවුරුදු අනූ ලක්ෂයකි.

​එම අවුරුදු අනූ ලක්ෂය සංජීව නිරයට එක් දවසකි.

​එබඳු දවස් තිහක් මාසයකි.

​එබඳු මාස දොළහක් වසරකි.

​එබඳු වසර පන්සියයක් මෙහි පරමායුෂ වේ.

​නිරයේ උපත ලැබීමට හේතු වන අකුසල්

​ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් මැඩී හෙවත් ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් යුක්තව සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම ආදී වූ පවුකම් කරන සත්වයෝ මෙහි උපත ලබති.

​එසේම ධර්මයෙන් තොරව වැරදි ආකාරයට ලෝකවාසී සත්වයන්ට දුක් දෙන අය ද, අනුන් කෙරෙහි ක්‍රෝධයෙන් හා සැඩ බවින් යුක්තව යුද කලාකෝලාහල සිදු කරන අය ද මෙම සංජීව නරකයේ උපත ලබන බව ධර්මය තුළ සඳහන් වේ.

​කාලසූත්‍ර නිරය

​අටමහා නිරයන් අතර දෙවන නිරය කාලසූත්‍ර නිරයයි. මෙය සංජීව නිරයට යොදුන් පහළොස් දහසක් යටින් පිහිටා ඇත. මෙම නිරයෙහි උපදින සත්වයන් ගිනිබත් යකඩ පොළොවෙහි පෙරළා කූඤ්ඤ සහ කළුනූල්, ගිනිබත් යකඩ වෑ, පොරෝ ආදියෙන් නොයෙක් හැඩතලවලට කපනු ලබයි. අකුසල කර්මය බලවත් බැවින් නැවත නැවත සත්වයාගේ ශරීරය සිටි ආකාරයටම කර්මානුරූපව නිර්මාණය වෙයි. නැවත නැවත යමපල්ලන් විසින් ඔවුන්ගේ ශරීරය කැපීම, පලු කිරීම සිදු කරනු ලබයි. මෙහි උපන් සත්වයා විඳින දුක කියා, සිතා ලියා නිම කළ නොහැක.

කාලසූත්‍ර නිරයේ උපදින සත්වයෝ

​කාලසූත්‍ර නිරයෙහි උපත ලබන්නේ මවුපියන්ට නින්දා කරන, අපහාස කරන, චරිත ඝාතනය කරන, මවුපියන් නිවෙස්වලින් පන්නා දමන, මවුපියන්ට අවැසි ආහාරපාන ආදිය නිසි කල්හි ලබා නොදෙන අපරාධ කරන පුද්ගලයෝය.

​එසේම ගුරුවරුන්ට අගෞරව කරන, නින්දා කරන, වද හිංසා පමුණුවන සත්ත්වයෝ ද මෙහි උපත ලබති.

​තමාගේ පවුලේ සිටින නැන්දම්මා, මාමා, අයියා, අක්කා ආදී කුල දෙටුවන්ට නින්දා කරන, අපහාස කරන, චරිත ඝාතනය කරන, ගුටිබැට දෙන, එළවා දමන, වද හිංසා කරන සත්වයෝ ද එම අකුසල කර්ම බලයෙන් කාලසූත්‍ර නිරයට උපත් වශයෙන් පැමිණෙති.

​දුගී මගී අසරණ යාචකයන්ට නින්දා අපහාස කරන්නෝ ද, පහර දෙන්නෝ ද, පීඩා කරන්නෝ ද, ඔවුන් සතු වස්තුව පැහැර ගන්නෝ ද මෙම නිරයේ උපත ලබති.

​බොරු කියමින් ලෝකවාසී සත්වයා රැවටීමට පත් කරන අය මෙම නිරයෙහි උපත ලබති.

නිරයේ ආයුෂ ප්‍රමාණය

​අපගේ වසර තුන්කෝටි හැට ලක්ෂයක් කාලසූත්‍ර නිරයට එක දවසකි. එබඳු දවස් තිහක් මාසයකි. එබඳු මාස දොළහක් වසරකි. එබඳු වසර දහසක් මෙහි පරමායුෂ වෙයි.

​සංඝාත නිරය

​මෙම නිරයෙහි උපදින සත්වයන් යකඩ පොළොවෙහි එරී උපත ලබයි. එහෙට මෙහෙට ගමන් කිරීමට, දිවීමට හැකියාවක් නැත. සුවිශාල ගිනිගත් යකඩ පර්වතයක් පෙරළීගෙන පැමිණ මෙම සත්ත්වයන් යට කරගෙන යයි. එවිට එම සත්ත්වයන් එම පර්වතයට යට වී සුනු විසුණු බවට පත් වෙයි. නමුත් අකුසල කර්ම බලය නිසා නැවතත් එම සත්වයන් කර්මානුරූපව සිටි ආකාරයටම නිර්මාණය වෙයි. නැවතත් යකඩ පර්වතය පෙරළීගෙන එයි. එම ගිනිගත් යකඩ පර්වතයට යට වී සුණු විසුණු වෙයි. මේ මහා දුක එහි ජීවත් වන තාක් කල්ම විඳිනු ලබයි. එම නිරය සංඝාත නම් නිරයයි.

​අතු, දඬු මුගුරු ආදියෙන් අනුන්ට පහර දෙන සත්වයෝ ද... ඇතුන්, අශ්වයන්, ගවයන්, මී ගවයන් වැනි සතුන්ට දුක් දෙන අය ද සංඝාත නිරයෙහි උපත ලබති.

​අපගේ වසර දාහතර කෝටි හතළිස් ලක්ෂයක් එම නිරයට එක දවසකි. එබඳු දවස්වලින් තිහක් මාසයකි. එබඳු මාස දොළහක් වසරකි. එබඳු වසර දෙදහසක් මෙම නිරයෙහි පරමායුෂයි.

​රෞරව මහා නිරය

​මෙම නිරයෙහි උපන් සත්වයාගේ ඇස් සිදුරු දෙක, කන් සිදුරු දෙක, නාස් සිදුරු දෙක, මුව සිදුර, මළ සිදුර, මුත්‍ර සිදුර යන නව මහා දොරටුවලින් ශරීරය ඇතුළට ගිනි ජාලාවන් ඇතුළු වෙයි. ශරීරය පිටත ද ගිනි ජාලාවන්ගෙන් දැවෙයි. ශරීරය ඇතුළත සහ පිටත ගිනි ජාලාවන්ගෙන් දැවෙමින් වද හිංසා විඳින්නට සිදුවන නිරය රෞරව නම් වේ. නිරයෙහි උපදින සත්වයන් මහත් හඬින් කෑගසමින් දුක් විඳින නිසා ද එම නිරය රෞරව, රෝරුව යන නම්වලින් හඳුන්වනු ලබයි.

​බොරු සාක්ෂි ප්‍රකාශ කරන්නෝ, හොරෙන් වෙළඳාම් සිදු කරමින් මුදල් උපයන්නෝ, ජාල මායාකාරයෝ ද මෙම නිරයෙහි උපත ලබති. අපගේ වසරවලින් පනස් හත් කෝටි හැට ලක්ෂයක් එම නිරයට එක දවසකි. එබඳු දවස් තිහක් මාසයකි. එබඳු මාස දොළහක් වසරකි. එබඳු වසර 4000ක් මෙම නිරයේ පරමායුෂ වෙයි.