පොත් ලැයිස්තුව

සම්මා සමාධිය

star_outline

සම්මා සමාධිය සිතෙහි එකඟ බව, තැන්පත් බව, එක අරමුණක සිත රඳවා ගැනීමේ හැකියාව ආදී නමින් හඳුන්වයි. බුද්ධ ශාසනයෙන් බාහිර වූ නොයෙක් ආගම් තුළ, දර්ශනයන් තුළ ද සමාධිය පිළිබඳව උගන්වති; ධ්‍යාන ආදිය පිළිබඳව ද උගන්වති. එහෙත් බුද්ධ ශාසනය තුළ පවතින්නේ එම සමාධියම නොවේ; වෙනසක් ඇත.

"නිබ්බානං ආරම්මණං කත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස ඒකග්ගතං, අයං සම්මාසමාධි."

(සංයුත්ත නිකාය)

යනුවෙන් සංයුත්ත නිකායේදී නිවන අරමුණු කරගෙන භාවනා වඩා සමාධියක් ලබයි ද, චිත්ත ඒකාග්‍රතාවයක් ලබයි ද, එය සම්මා සමාධිය බව සඳහන් කර ඇත. ඒ අනුව බුදු දහමෙහි සම්මා සමාධිය යනු නිවන අවබෝධ කරගැනීමේ අදහසින් යුතුව, සමථ භාවනාවක් හෝ විදර්ශනා භාවනාවක් හෝ දියුණු කරගෙන ඇති කරගන්නා වූ සමාධියයි.

සමථ සහ විදර්ශනා ප්‍රතිපදාවන්හි සමාධිය

සමථ ප්‍රතිපදාව තුළ: සමථ භාවනාවක් වඩා සිත පංච නීවරණයන්ට නොයන ආකාරයේ උපචාර සමාධියක් හෝ, එම උපචාර සමාධියේදී ලැබෙන පටිභාග නිමිත්ත ඇසුරු කරගෙන ධ්‍යාන හෙවත් අප්පනා සමාධියක් හෝ උපදවා ගනියි ද, එය සම්මා සමාධියකි.

විදර්ශනා ප්‍රතිපදාව තුළ: සමථ භාවනා නොවඩා, විදර්ශනා භාවනාව පමණක්ම වඩා යම් කෙනෙක් පංච නීවරණයන් යටපත් කොට සමාධිමත් බවක් ලබා ගනියි ද, එම සමාධිය තුළ ද විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන ධ්‍යාන අංග පවතින මුත් එය ධ්‍යාන ප්‍රාප්ත නොවේ; ධ්‍යානයකට ගමන් නොකරයි. එය උපචාර සමාධි මාත්‍රයක් පමණකි; එය ද සම්මා සමාධියකි.

අට්ඨකථාවේදී "සඋපචාරා අඨට සමාපත්තියෝ සම්මා සමාධි නාම" යනුවෙන් උපචාර සමාධිය ද, අෂ්ට සමාපත්තීන් ද සම්මා සමාධිය බව දේශනා කොට ඇත.

සමාධි බොජ්ඣංගය පිළිබඳව මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන කොටස හොඳින් කියවා තේරුම් ගන්න.