පොත් ලැයිස්තුව

සම්මා සතිය

star_outline

සම්මා සතිය යනු සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහිය පැවැත්වීමයි. සෑම මාර්ග අංගයක් සමඟම සිහිය යෙදෙන ආකාරය මහා චත්තාරීසක සූත්‍රය අනුව ඔබ විසින් ඉගෙන ගන්නා ලදී.

සම්මා සතිය යනු සතර සතිපට්ඨානය තුළ සිහිය පැවැත්වීමයි. සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තයෙහි 'දට්ඨබ්බ' නම් සූත්‍රයක් ඇත. එහි:

"කත්ථ සතින්ද්‍රියං දට්ඨබ්බං? චතුසු සතිපට්ඨානේසු."

යනුවෙන් සතිය සතර සතිපට්ඨානය තුළ දතයුතු බව දක්වා තිබේ. ඒ අනුව සිහිය යනු සතර සතිපට්ඨානය තුළ යෙදෙන්නා වූ සිහියයි.

සතිපට්ඨාන භාවනාව ඔබ ඉගෙන ගෙන ඇත. එහිදී තථාගතයන් වහන්සේ, නිවන අවබෝධ කරගැනීම සඳහා අවබෝධ කරගත යුතු ප්‍රධාන ධර්මතා හතරක් දක්වා ඇත:

නිවන අවබෝධ කරගැනීම සඳහා කය හෙවත් රූපස්කන්ධය පිළිබඳව අවබෝධ කරගත යුතුය.

සැප, දුක්, උපේක්ෂා, සාමිස, නිරාමිස යන වේදනාවන් පිළිබඳව අවබෝධ කරගත යුතුය.

සරාග සිත, දෝස සිත, මෝහ සිත ආදී සිත් පිළිබඳව අවබෝධ කරගත යුතුය.

සිත තුළ හටගන්නා වූ පංච නීවරණ ආදී අකුසල ධර්මයන්ද කුසල ධර්මයන්ද හඳුනාගත යුතුය.

මේවා පිළිබඳව තේරුම් කරදීම සඳහා තථාගතයන් වහන්සේ:

රූපස්කන්ධය අවබෝධ කරගැනීම පිණිස කායානුපස්සනාව ද,

වේදනා ස්කන්ධය අවබෝධ කරගැනීම පිණිස වේදනානුපස්සනාව ද,

විඤ්ඤාණස්කන්ධය අවබෝධ කරගැනීම පිණිස චිත්තානුපස්සනාව ද,

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්කන්ධ ධර්මයන්ද, චතුරාර්ය සත්‍යය ධර්මය ද, බොජ්ඣංග ධර්මයද අවබෝධ කරගැනීම පිණිස ධම්මානුපස්සනාව ද දේශනා කොට වදාළ සේක.

එම සතර සතිපට්ඨාන භාවනා අරමුණක් ඉගෙනගෙන ඒ තුළ මනාව සිහිය පැවැත්වීම සම්මා සතිය නම් වූ මාර්ග අංගයයි. මෙම ග්‍රන්ථයේ බොජ්ඣංග විස්තර කිරීමේදී සති සම්බොජ්ඣංගය දීර්ඝ ලෙස විස්තර කර ඇත; එබැවින් ඒ පිළිබඳව දීර්ඝව නොලියනු ලැබේ.