පොත් ලැයිස්තුව

සම්මා සමාධිය

star_outline

​සම්මා සමාධිය සිතෙහි එකඟ බව, තැන්පත් බව, එක අරමුණක සිත රඳවා ගැනීමේ හැකියාව ආදී නමින් හඳුන්වයි. බුද්ධ ශාසනයෙන් බාහිර වූ නොයෙක් ආගම් තුළ, දර්ශනයන් තුළ ද සමාධිය පිළිබඳව උගන්වති; ධ්‍යාන ආදිය පිළිබඳව ද උගන්වති. එහෙත් බුද්ධ ශාසනය තුළ පවතින්නේ එම සමාධියම නොවේ; වෙනසක් ඇත.

​"නිබ්බානං ආරම්මණං කත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස ඒකග්ගතං, අයං සම්මාසමාධි."

(සංයුත්ත නිකාය)

​යනුවෙන් සංයුත්ත නිකායේදී නිවන අරමුණු කරගෙන භාවනා වඩා සමාධියක් ලබයි ද, චිත්ත ඒකාග්‍රතාවයක් ලබයි ද, එය සම්මා සමාධිය බව සඳහන් කර ඇත. ඒ අනුව බුදු දහමෙහි සම්මා සමාධිය යනු නිවන අවබෝධ කරගැනීමේ අදහසින් යුතුව, සමථ භාවනාවක් හෝ විදර්ශනා භාවනාවක් හෝ දියුණු කරගෙන ඇති කරගන්නා වූ සමාධියයි.

​සමථ සහ විදර්ශනා ප්‍රතිපදාවන්හි සමාධිය

​සමථ ප්‍රතිපදාව තුළ: සමථ භාවනාවක් වඩා සිත පංච නීවරණයන්ට නොයන ආකාරයේ උපචාර සමාධියක් හෝ, එම උපචාර සමාධියේදී ලැබෙන පටිභාග නිමිත්ත ඇසුරු කරගෙන ධ්‍යාන හෙවත් අප්පනා සමාධියක් හෝ උපදවා ගනියි ද, එය සම්මා සමාධියකි.

​විදර්ශනා ප්‍රතිපදාව තුළ: සමථ භාවනා නොවඩා, විදර්ශනා භාවනාව පමණක්ම වඩා යම් කෙනෙක් පංච නීවරණයන් යටපත් කොට සමාධිමත් බවක් ලබා ගනියි ද, එම සමාධිය තුළ ද විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන ධ්‍යාන අංග පවතින මුත් එය ධ්‍යාන ප්‍රාප්ත නොවේ; ධ්‍යානයකට ගමන් නොකරයි. එය උපචාර සමාධි මාත්‍රයක් පමණකි; එය ද සම්මා සමාධියකි.

​අට්ඨකථාවේදී "සඋපචාරා අඨට සමාපත්තියෝ සම්මා සමාධි නාම" යනුවෙන් උපචාර සමාධිය ද, අෂ්ට සමාපත්තීන් ද සම්මා සමාධිය බව දේශනා කොට ඇත.

​සමාධි බොජ්ඣංගය පිළිබඳව මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන කොටස හොඳින් කියවා තේරුම් ගන්න.