පොත් ලැයිස්තුව

සම්මා සතිය

star_outline

​සම්මා සතිය යනු සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහිය පැවැත්වීමයි. සෑම මාර්ග අංගයක් සමඟම සිහිය යෙදෙන ආකාරය මහා චත්තාරීසක සූත්‍රය අනුව ඔබ විසින් ඉගෙන ගන්නා ලදී.

​සම්මා සතිය යනු සතර සතිපට්ඨානය තුළ සිහිය පැවැත්වීමයි. සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තයෙහි 'දට්ඨබ්බ' නම් සූත්‍රයක් ඇත. එහි:

​"කත්ථ සතින්ද්‍රියං දට්ඨබ්බං? චතුසු සතිපට්ඨානේසු."

​යනුවෙන් සතිය සතර සතිපට්ඨානය තුළ දතයුතු බව දක්වා තිබේ. ඒ අනුව සිහිය යනු සතර සතිපට්ඨානය තුළ යෙදෙන්නා වූ සිහියයි.

​සතිපට්ඨාන භාවනාව ඔබ ඉගෙන ගෙන ඇත. එහිදී තථාගතයන් වහන්සේ, නිවන අවබෝධ කරගැනීම සඳහා අවබෝධ කරගත යුතු ප්‍රධාන ධර්මතා හතරක් දක්වා ඇත:

​නිවන අවබෝධ කරගැනීම සඳහා කය හෙවත් රූපස්කන්ධය පිළිබඳව අවබෝධ කරගත යුතුය.

​සැප, දුක්, උපේක්ෂා, සාමිස, නිරාමිස යන වේදනාවන් පිළිබඳව අවබෝධ කරගත යුතුය.

​සරාග සිත, දෝස සිත, මෝහ සිත ආදී සිත් පිළිබඳව අවබෝධ කරගත යුතුය.

​සිත තුළ හටගන්නා වූ පංච නීවරණ ආදී අකුසල ධර්මයන්ද කුසල ධර්මයන්ද හඳුනාගත යුතුය.

​මේවා පිළිබඳව තේරුම් කරදීම සඳහා තථාගතයන් වහන්සේ:

​රූපස්කන්ධය අවබෝධ කරගැනීම පිණිස කායානුපස්සනාව ද,

​වේදනා ස්කන්ධය අවබෝධ කරගැනීම පිණිස වේදනානුපස්සනාව ද,

​විඤ්ඤාණස්කන්ධය අවබෝධ කරගැනීම පිණිස චිත්තානුපස්සනාව ද,

​රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්කන්ධ ධර්මයන්ද, චතුරාර්ය සත්‍යය ධර්මය ද, බොජ්ඣංග ධර්මයද අවබෝධ කරගැනීම පිණිස ධම්මානුපස්සනාව ද දේශනා කොට වදාළ සේක.

​එම සතර සතිපට්ඨාන භාවනා අරමුණක් ඉගෙනගෙන ඒ තුළ මනාව සිහිය පැවැත්වීම සම්මා සතිය නම් වූ මාර්ග අංගයයි. මෙම ග්‍රන්ථයේ බොජ්ඣංග විස්තර කිරීමේදී සති සම්බොජ්ඣංගය දීර්ඝ ලෙස විස්තර කර ඇත; එබැවින් ඒ පිළිබඳව දීර්ඝව නොලියනු ලැබේ.