පොත් ලැයිස්තුව

ආහුනෙය්‍ය සුත්තං

star_outline

අංගුත්තර නිකාය

දසක නිපාතෝ

​"දස ඉමේ භික්ඛවේ පුග්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. කතමේ දස:"

​මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙනා ආහුනෙය්‍ය වෙති, පාහුනෙය්‍ය වෙති, දක්ඛිණෙය්‍ය වෙති, අඤ්ජලිකරණීය වෙති, ලෝකයාට අනුත්තර වූ පින් කෙත ද වෙති. ඒ දස දෙනා කවරේද යත්:

"තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ, පච්චේකබුද්ධෝ, උභතෝභාග විමුත්තෝ, පඤ්ඤාවිමුත්තෝ, කායසක්ඛී, දිට්ඨිප්පත්තෝ, සද්ධාවිමුත්තෝ, ධම්මානුසාරී, සද්ධානුසාරී, ගෝත්‍රභූ."

​"ඉමේ ඛෝ භික්ඛවේ දස පුග්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා, දක්ඛිණෙය්‍යා, අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති."

  • ​තථාගත අරිහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ,
  • පසේබුදුරජාණන් වහන්සේ,
  • උභතෝභාග විමුක්ත පුද්ගලයා,
  • පඤ්ඤාවිමුත්ත පුද්ගලයා,
  • කායසක්ඛී පුද්ගලයා,
  • දිට්ඨිප්පත්ත පුද්ගලයා,
  • සද්ධාවිමුත්ත පුද්ගලයා,
  • ධම්මානුසාරී පුද්ගලයා,
  • සද්ධානුසාරී පුද්ගලයා,
  • ගෝත්‍රභූ පුද්ගලයා යනුවෙනි.

​මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙනා ආහුනෙය්‍ය වෙති, පාහුනෙය්‍ය වෙති, දක්ඛිණෙය්‍ය වෙති, අඤ්ජලිකරණීය වෙති, ලෝකයාට අනුත්තර වූ පින් කෙත වෙති.

ධර්මාර්ථ විවරණය

​ආහුනෙය්‍ය සූත්‍ර දේශනාව තුළ දුර සිට රැගෙන එන ලද සිව්පසය පිදීමට සුදුසු පුද්ගලයෝ දස දෙනෙකු දක්වා තිබෙති.

​සම්මාසම්බුදුරජාණන් වහන්සේ:

​තමන් වහන්සේගේම නුවණින් අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයට අයත් වූ සචේතනික අචේතනික සියලු ධර්මයන් දැන වදාළා වූ, එම නිසාම සර්වඥ නම් වූ උතුමන් වහන්සේ සම්මාසම්බුද්ධ නම් වෙති. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළහ; අන් අයටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවූ සේක. සියල්ල දන්නා සර්වඥ වන සේක, සියල්ල දකින සබ්බදස්සාවී වන සේක. රාගය, දෝෂය, මෝහය දුරු කළ සේක. ලාමක පාපක අකුසල ධර්මයන් දුරු කළ සේක. සියලු ආශ්‍රවයන් නැසූ සේක; නිකෙලෙස් වූ සේක. හුදකලාවම අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කළ සේක. ඒකායන මාර්ගයෙහි ගමන් කළ සේක. අබුද්ධිය නැසූ සේක, බුද්ධිය ලැබූ සේක. එබැවින් බුද්ධ වූ සේක.

​ඒ බුදුරජාණන් වහන්සේගේ ඇසට පෙනෙන රූපකාය සම්පත්තියද වර්ණනා කොට නිමා කළ නොහැකිය. ඥාන සම්පත්තිය ගැන කවර නම් කතාවක්ද! සිතා ලියා නිම කළ නොහැක්කේමය.

​පසේබුදුරජාණන් වහන්සේ:

​පසේබුදුරජාණන් වහන්සේ යන වචනයෙහි අර්ථය තනියම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ සේක යන්නයි. උන්වහන්සේට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥාණය ඇත; එහෙත් දේශනා ඥානය නැත. එබැවින් පසේබුදුවරුන්ගෙන් බණ අසා ඒ ජීවිතයේදීම නිවන අවබෝධ කරගන්නා සත්වයෝ නොවෙති. එහෙත් පසේබුදුරජාණන් වහන්සේලා සීලාදී ගුණ ගැනද, දානය ගැනද අනුශාසනා කරති. බොහෝ සෙයින් වනගතව වැඩ සිටිති

උභතෝභාග විමුක්ත පුද්ගලයා

​සමථ භාවනාවෙන් අෂ්ට සමාපත්ති දක්වා සිත දියුණු කොට, අනතුරුව විදර්ශනා භාවනාව දියුණු කොට සියලු කෙලෙසුන් නසන ලද උතුමන් වහන්සේ උභතෝභාග විමුක්ත යන නමින් හඳුන්වනු ලබයි. දෙපසින්ම හෙවත් දෙපැත්තෙන්ම, දෙයාකාරයෙන්ම කෙලෙසුන්ගෙන් මිදුණු තැනැත්තා උභතෝභාග විමුක්ත නම් වෙයි.

​සමථයෙන් යා යුතු ධ්‍යාන සමාධීන්ගේ ඉහළටම පැමිණියා වූද, විදර්ශනාවෙන් මගඵල ප්‍රඥාවේ ඉහළටම පැමිණියා වූද බැවින් උන්වහන්සේ උභතෝභාග විමුක්ත නම් වෙති.

පඤ්ඤාවිමුක්ත පුද්ගලයා

​ප්‍රඥාව හෙවත් විදර්ශනා භාවනාව දියුණු කොට සියලු කෙලෙසුන් නැසූ (නසන ලද) උතුමා පඤ්ඤාවිමුක්ත යන නමින් හඳුන්වනු ලබයි. විදර්ශනාව පමණක් වඩා සියලු කෙලෙසුන් නසන ලද ශුෂ්ක විපස්සක මහරහතන් වහන්සේ පළමුවන පඤ්ඤාවිමුක්ත පුද්ගලයා වෙයි.

​මීළඟට ප්‍රථම ධ්‍යානය දක්වා සිත දියුණු කොට, ඉන් නැගී සිට සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදසුන් වඩා රහත් ඵලය ලැබූ තැනැත්තා දෙවන පඤ්ඤාවිමුක්ත පුද්ගලයාය. දෙවන ධ්‍යානය දක්වා සිත දියුණු කොට, එම ධ්‍යාන සමාධියෙන් නැගී සිට සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා වඩා අරිහත් ඵලය අවබෝධ කරගත් තැනැත්තා තුන්වන පඤ්ඤාවිමුක්ත පුද්ගලයාය.

​තවද, තෙවන ධ්‍යානය දක්වා සිත දියුණු කොට, එම ධ්‍යානයට සම වැදී ඉන් නැගී සිට සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා වඩා අරිහත්වය අවබෝධ කරගත් තැනැත්තා සිව්වන පඤ්ඤාවිමුක්ත පුද්ගලයාය. සිව්වන ධ්‍යානය දක්වා සිත දියුණු කොට, එම ධ්‍යානයට සම වැදී ඉන් නැගී සිට පෙර සඳහන් කරන ලද ආකාරයෙන්ම සංස්කාරයන් විදර්ශනා වඩා අරිහත්වය සාක්ෂාත් කරගත් තැනැත්තා පස්වන පඤ්ඤාවිමුක්ත පුද්ගලයාය. මෙසේ පඤ්ඤාවිමුක්ත පුද්ගලයෝ පස් දෙනෙකි.

දිට්ඨිප්පත්ති (දිට්ඨිපත්ත) පුද්ගලයා

​සම්බුද්ධ ශාසනය තුළ සිටින ශ්‍රාවකයා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙයි: ශ්‍රද්ධාව මූලික කරගෙන ගුණ පිළිවෙත් පුරන පුද්ගලයා සහ ප්‍රඥාව මූලික කරගෙන ගුණ පිළිවෙත් පුරන පුද්ගලයා වශයෙනි.

​ශ්‍රද්ධාව මූලික කරගත් තැනැත්තාගේ සද්ධා ඉන්ද්‍රිය ඉතා බලවත්ව පිහිටා ඇත; එහෙත් වීර්යය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයෝද ඔහුට ඇත. ප්‍රඥාව මූලික කරගත් පුද්ගලයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය ඉතා ප්‍රබල ලෙස පිහිටා ඇත; සෙසු සද්ධා, වීර්යය, සති, සමාධි යන ඉන්ද්‍රිය ධර්මයන්ද ඔහුට ඇත.

​මෙම පුද්ගලයෝ දෙදෙනාගෙන් ශ්‍රද්ධාව පෙරටු කරගත් තැනැත්තා මාර්ග ඵල ලැබීමේදී, සෝතාපත්ති මාර්ග අවස්ථාවේදී "සද්ධානුසාරී" යන නමින්ද, ප්‍රඥා ඉන්ද්‍රිය බහුල වූ තැනැත්තා සෝතාපත්ති මාර්ග අවස්ථාවේදී "ධම්මානුසාරී" යන නමින්ද හඳුන්වනු ලබයි.

​සද්ධා ඉන්ද්‍රිය බහුල වූ සද්ධානුසාරී පුද්ගලයා මගඵල ලබන විට "සද්ධාවිමුක්ත" යන නමින්ද, ධම්මානුසාරී පුද්ගලයා ප්‍රඥාව ප්‍රබල බැවින් "දිට්ඨිප්පත්ති" (දිට්ඨිපත්ත) යන නමින්ද හඳුන්වනු ලබයි.

ගෝත්‍රභූ යනු ගෝත්‍රභූ ඤාණය දක්වා සිත දියුණු කරගත් තැනැත්තාය.

ආහුනෙය්‍ය සූත්‍රයේ දැක්වෙන දස පුද්ගලයන්ගේ ගුණ විග්‍රහය:

ආහුනෙය්‍ය: දුර සිට ගෙනවිත් පූජා කරන්නාවූ දානය පිළිගැන්වීමට සුදුසු වන තැනැත්තා, එම දානය මහත්ඵල මහානිසංස කරනවා යන අර්ථයෙන් "ආහුනෙය්‍ය" යන නමින් හඳුන්වනු ලබයි. "ආනෙත්වා හුනිතබ්බන්ති ආහුනං" — ගෙනැවිත් පිදිය යුතු නිසා ආහුනෙය්‍ය වන බව අටුවාවෙහි දක්වා ඇත.

පාහුනෙය්‍ය (පාහුණ): ආගන්තුකයන් උදෙසා සකසන ලද භෝජනය "පාහුණ" යන නමින් හඳුන්වනු ලබයි. ආගන්තුකයන් උදෙසා භෝජන සකසා ආගන්තුකයන් එන තෙක් බලාගෙන සිටින විට, ආර්ය මහා සංඝරත්නය පැමිණෙන්නේ නම්, ආගන්තුකයන් උදෙසා තැනූ බොජුන ඔවුන්ට නොතබාම ආර්ය සංඝරත්නයට දීමට සුදුසුය. එබැවින් සංඝරත්නය "පාහුනෙය්‍ය" යන නමින් හඳුන්වනු ලබති.

දක්ඛිණෙය්‍ය: පින් පිණිස අදහාගෙන දෙනු ලබන දානය දක්ෂිණාවයි. පරලොව අදහාගෙන දෙනු ලබන දානයද දක්ෂිණාවයි. මියගිය ඥාතීන් උදෙසා පින් දීමට දෙනු ලබන දානයද දක්ෂිණාවයි. මෙම දක්ෂිණා පිළිගැන්වීමට සුදුසු පුද්ගලයෝ "දක්ඛිණෙය්‍ය" නම් වෙති.

අඤ්ජලිකරණීය: ඇඟිලි එකතු කොට දොහොත් මුදුනෙහි තබා වන්දනා කිරීමට සුදුසු ගුණ ඇති පුද්ගලයෝ "අඤ්ජලිකරණීය" නම් වෙති.

​අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය (ලෝකයාගේ අනුත්තර පින් කෙත): ලෝක සත්ත්වයාගේ පින නැමති බීජය පැළකිරීමට සුදුසු වූ උතුම්ම පින් කෙත ආර්ය මහා සංඝරත්නයයි. එබැවින් සංඝරත්නය අනුත්තර වූ පින් කෙත යැයි කියනු ලැබෙති.

​මෙම දේශනාවේ සඳහන් වන උතුමන් වහන්සේලා සියලු දෙනාද ඉහත සඳහන් කරන ලද ගුණයන්ගෙන් යුක්ත වන උතුමෝය.