භාග්‍යවතුන් වහන්සේ විසින්ම මෙම සූත්‍ර දේශනාව වදාළ සේක. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් මෙය දේශනා කළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
"තයෝ’මේ භික්ඛවේ අද්ධා. කතමේ තයෝ? අතීතෝ අද්ධා, අනාගතෝ අද්ධා, පච්චුප්පන්නෝ අද්ධා. ඉමේ ඛෝ භික්ඛවේ තයෝ අද්ධා’ති."
මහණෙනි, කාල තුනක් තිබේ. එම කාලතුන මොනවාද? අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය. මහණෙනි, මේ කාල තුනයි.
"අක්ඛෙය්‍යසඤ්ඤිනෝ සත්තා අක්ඛෙය්‍යස්මිං පතිට්ඨිතා, අක්ඛෙය්‍යං අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ"
සත්වයෝ පංච උපාදානස්කන්ධයෙහි මමය, මගේය යන හැඟීම් ඇත්තෝය. හෙවත් සත්ව පුද්ගලයා සංඥා ඇත්තෝය. පංච උපාදානස්කන්ධයෙහි කෙලෙස් වසයෙන් පිහිටියෝය. පංච උපාදානස්කන්ධය පිරිසිඳ නොදැන, මාරයාගේ වසඟයට පැමිණෙති.
කාලය
සූත්‍ර දේශනාවලට අනුව ප්‍රතිසන්ධියට පෙර පැවතුණා වූ කාලය අතීත කාලය නමින් හඳුන්වයි. චුතියෙන් හෙවත් මරණයෙන් පසු කාලය අනාගත කාලය යන නමින් හඳුන්වයි. උපතත් මරණයත් අතර කාලය වර්තමාන කාලය යන නමින් හඳුන්වයි. පැවති කාලය, පවතින කාලය, නොපැමිණි කාලය යනුවෙන්ද මෙය විස්තර කළ හැකිය. මීට මොහොතකට පෙරදී අතීත කාලයයි, මොහොත වර්තමාන කාලයයි, ඊළඟ මොහොත අනාගත කාලයයි.
උප්පාද, ඨිති, භංග යන ක්ෂණත්‍රයට පැමිණ නිරුද්ධ වූ නාම ධර්ම හෙවත් චිත්ත චෛතසික අතීත කාලයට අයත්ය. ක්ෂණත්‍රයට නොපැමිණියා වූ නාම ධර්ම අනාගත කාලයට අයත්ය. මේ මොහොතේ, මේ ක්ෂණයේ, ක්ෂණත්‍රයට පැමිණි නාම ධර්ම වර්තමාන කාලයට අයත්ය. අභිධර්මයට අනුව කාලය එසේ විස්තර කරනු ලැබේ. තවත් ගැඹුරින් කිවහොත්, එක් ජවනවාරයකදී උපදින චිත්තජ රූප වර්තමාන කාලයයි. ඊට පෙර පැවැති චිත්තජ රූප අතීත කාලයයි. ඉන් පසු ඇතිවන චිත්තජ රූප අනාගත කාලයයි. "අතීතං නිරුද්ධං විපරිණතං" යනුවෙන් අතීතයේ නිරුද්ධ වී ගියේය, වෙනස් වී ගියේය.
අක්ඛෙය්‍ය
දෙවියාය, මනුස්සයාය, ගෘහස්ථයාය, පැවිද්දාය, සත්වයාය, පුද්ගලයාය යනුවෙන් ලෝකයා විසින් කරනු ලබන කතා ව්‍යවහාරයට වස්තු වූ පංච උපාදානස්කන්ධය 'අක්ඛෙය්‍ය' යනුවෙන් හඳුන්වනු ලැබේ. එම නිසා සත්වයෝ පංච උපාදානස්කන්ධය කෙරෙහි සත්ව පුද්ගලයාදීන් ආදී හැඟීම් ඇත්තෝය. "අක්ඛෙය්‍යසඤ්ඤිනෝ සත්තා" යනුවෙන් දක්වා ඇත්තේ එයයි.
අක්ඛෙය්‍යස්මිං පතිට්ඨිතා
ලෝක සත්ත්වයා පංච උපාදානස්කන්ධයෙහි පිහිටියෝය. සත්වයා පංච උපාදානස්කන්ධය තුළින් කෙලෙස් වශයෙන් පිහිටාගෙන සිටී.
රාගයෙන් රත් වූ විට රාග වශයෙන් පිහිටා සිටියි.
ද්වේෂයෙන් දූෂිත වූ විට දෝස වශයෙන් පිහිටා සිටියි.
මෝහයෙන් මුළා වූ විට මෝහ වසයෙන් පිහිටා සිටියි.
දැඩි ගැනීම් වශයෙන් දෘෂ්ටි වශයෙන් පිහිටා සිටියි.
අනුසය වශයෙන් පිහිටා සිටියි. අනුසය යනු සිත තුළ නිදා සිටින්නාක් මෙන් පවතින ක්ලේශයෝය. ඔවුන් හත් දෙනෙකි.
මාන වශයෙන්ද පිහිටා සිටියි.
විචිකිච්ඡා වශයෙන්ද පිහිටා සිටියි.
උද්දච්ච වශයෙන්ද පිහිටා සිටියි.
මේ අනුව සත්ත්වයෝ රාග, දෝස, මෝහ, දිට්ඨි, අනුසය, මාන, විචිකිච්ඡා, උද්දච්ච යන කෙලෙසුන්ගෙන් පංච උපාදානස්කන්ධය තුළ පිහිටා සිටිති.
ඔබගේ සිත තුළ යම් අවස්ථාවකදී ආසාවක් පවතින්නේ නම් එම අවස්ථාවේදී ඔබ රාග වශයෙන් පංච උපාදානස්කන්ධයෙහි පිහිටා සිටින බව තේරුම් ගත යුතුය. සිත තුළ තරහක්, වෛරයක්, කෝපයක්, පළිගැනීමක්, එකට එක කිරීමක්, ඉරිසියාවක් පවතී නම් එම අවස්ථාවේදී දෝස වශයෙන් පංච උපාදානස්කන්ධය තුළ පිහිටා සිටින බව තේරුම් ගත යුතුය. කුසල අකුසල ආදී යථාර්ථය නොවැටහෙන අවස්ථාවන්වලදීද, නිත්‍ය, ආත්ම, සුභ අදහස් ඇති අවස්ථාවන්වලදීද මෝහ වශයෙන් පිහිටා සිටියි. දානයෙහි විපාක නැත, පූජාවේ විපාක නැත, ආශිර්වාද පතා දෙන දානයෙහි විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත ආදී මිථ්‍යා දෘෂ්ටි දරන්නෝ දෘෂ්ටි වශයෙන් පංච උපාදානස්කන්ධය තුළ පිහිටා සිටින්නෝය.
"මම අන් අයට වඩා උසස්ය" යන සෙය්‍යමානය ඇත්තෝද, "මම අන් අය හා සම වන්නේය" යන සදිසමාන ඇත්තෝද, "මම අන් අයට වඩා පහත්ය" යන හීනමාන ඇත්තෝද මාන වශයෙන් පංච උපාදානස්කන්ධයෙහි පිහිටා සිටින්නෝය. සත්ව සන්තානය තුළ නිදාගෙන සිටින්නාක් මෙන් යටපත්වී පවතින ක්ලේශ ධර්මයෝ ඇත. එම ක්ලේශ ධර්මයන් අනුසය යන නමින් හඳුන්වනු ලැබේ. අනුසය සහිත පුද්ගලයා අනුසය වශයෙන් පංච උපාදානස්කන්ධයන්හි පිහිටා සිටිති. බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි යම් සැක සංකාවක් ඇති වන්නේ නම් එම අවස්ථාවේදී විචිකිච්ඡා වශයෙන් පංච උපාදානස්කන්ධය තුළ පිහිටා සිටියි. සිත නොසන්සුන් වේ නම්, එක අරමුණක සිත නොපවතී නම්, සිත තුළ උද්දච්චය බැස ගනීනම් එම අවස්ථාවේදී උද්දච්ච වශයෙන් පංච උපාදානස්කන්ධයෙහි පිහිටා සිටිති.
අක්ඛෙය්‍යං පරිඤ්ඤාය...
පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැනගෙන යනු, පිරිසිඳ දැනගැනීම යනු ඉතිරියක් නැතුව අවබෝධ කරගැනීමයි. පංච උපාදානස්කන්ධයෙහි පවතින විශේෂිත ලක්ෂණ ඇත.
රූපයෙහි රූපණ ස්වභාවය,
වේදනාවෙහි විඳින ස්වභාවය,
සංඥාවෙහි අරමුණු හඳුනාගන්නා ස්වභාවය,
සංස්කාරයන්ගේ අභිසංඛත ස්වභාවය,
විඤ්ඤාණයෙහි අරමුණු දැනගන්නා ස්වභාවය,
ආදී ස්වභාවයෝ ඇත්තාහ. ස්වභාව වශයෙන් පංච උපාදානස්කන්ධය දැනගැනීම "ඥාත පරිඤ්ඤා" යනුවෙන් හඳුන්වනු ලැබේ.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ වශයෙන් තීරණය කිරීම "තීරණ පරිඤ්ඤා" යනුවෙන් හඳුන්වනු ලැබේ.
අරිහත් මාර්ගඥානයෙන් පංච උපාදානස්කන්ධයෙහි පවතින ඡන්දරාගය (ඇල්ම) දුරු කිරීම "පහාන පරිඤ්ඤා" යනුවෙන් හඳුන්වනු ලැබේ.
මෙම ත්‍රිවිධාකාරයෙන් පංච උපාදානස්කන්ධය ඉතිරියක් නැතුවම අවබෝධ කර ගැනීම මෙයින් අදහස් කෙරේ.
මේ ආකාරයෙන් පංච උපාදානස්කන්ධය, පිරිසිඳ අවබෝධ කර නොගැනීම නිසා, සත්වයෝ මාර වසඟයට යන බව, පළමුවන ගාථාවෙන් දේශනා කළ සේක. පංච උපාදානස්කන්ධය, පිරිසිඳ දැනගත් තැනැත්තා, තිස්ස, නිමල් ආදී සත්ව පුද්ගල ආත්ම ලෙස පංච උපාදානස්කන්ධය වරදවා හඳුනා නොගන්නා බව දෙවන ගාථාවේදී දේශනා කළ සේක. පංච උපාදානස්කන්ධය හඳුනාගත් තැනැත්තා බිමෝක්ෂය නමින් හඳුන්වන අනුත්තර වූ සාන්ත පදය යැයි කියන ලද නිර්වාණයෙන්ම මනසින් ස්පර්ශ කරන බවද සඳහන් කළහ.