ඛුද‍්දකනිකායො ඉතිවුත‍්තකපාළි තිකනිපාතො තතියවග‍්ගො
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ මෙය දේශනා කරන ලදී. මා විසින් අසන ලදී.
තයෝ’මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? අවුට්ඨිකසමෝ, පදේසවස්සී, සබ්බත්ථාභිවස්සී.
මහණෙනි, පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයේ සිටිති, විද්‍යමාන වෙති. ඒ තිදෙනා කවුද?
අවුට්ඨික සම පුද්ගලයා - නොවසිනා වැසි වලාකුලක් බඳු පුද්ගලයාය.
පදේස වස්සී පුද්ගලයා - ප්‍රදේශයකට වසිනා වලාකුලක් බඳු පුද්ගලයාය.
සබ්බත්ථ වස්සී පුද්ගලයා - හැම තැනකටම වහින වලාකුලක් බඳු පුද්ගලයාය.
කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ අවුට්ඨිකසමෝ හෝති? ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සබ්බේසඤ්ඤේව න දාතා හෝති, සමණබ්‍රාහ්මණකපණද්ධික වණිබ්බක යාචකානං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලේපනං සෙය්‍යාවසථ පදීපෙය්‍යං. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ අවුට්ඨිකසමෝ හෝති.
මහණෙනි, නොවසිනා වැසි වලාකුලක් බඳු පුද්ගලයා කවුද? මහණෙනි, මේ ලෝකයේ සමහර පුද්ගලයෙක්, ශ්‍රමණ බ්‍රාහ්මණ, දුගී මගී, වණිබ්බක, යාචකයා යන මේ සියලු දෙනාටම ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්, ගන්ධ, විලේපන, සෙය්‍යා, වසථ, පදීපෙය්‍ය යන මේවා නොදෙයි නම් ඔහු වැසි නොවසිනා වලාකුලක් බඳු 'අවුට්ඨික සම' පුද්ගලයාය.
දහම් විස්තරය
කිසිම කෙනෙකුට දානයක් පූජා නොකරන පුද්ගලයා, අවුට්ඨික සම හෙවත් නොවසිනා වැසි වලාකුලක් හා සමාන වූ පුද්ගලයා යැයි කියනු ලැබේ. ඔහු දස දාන වස්තූන් කිසිවෙකුට නොදෙයි.
දස දාන වස්තු
අන්නං: බත්, කැවිලි පෙවිලි, පලතුරු ආදී ආහාර.
පානං: උණු පැන්, සිසිල් පැන්, තේ, කෝපි, කිරි, පලතුරු යුෂ ආදී පාන වර්ග.
වත්ථං: චීවර හෝ වස්ත්‍ර.
යානං: පාවහන්, සැරයටි, කුඩ, මංමාවත් ඉදිකිරීම, පාලම් හා ඒ දඬු තැනීම.
මාලා: මල් පූජා කිරීම.
ගන්ධ: සුවඳ වර්ග පූජා කිරීම.
විලේපනං: ඇඟ ගල්වන ආලේප පූජා කිරීම.
සෙය්‍යා: ඇඳ, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, පැදුරු පූජා කිරීම.
වසථ: ආවාස, ගෘහ උපකරණ, වලං පිඟන් ආදිය පූජා කිරීම.
පදීපෙය්‍යං: පහන් උපකරණ පූජා කිරීම.
සමහර පුද්ගලයෝ මෙම දාන වස්තූන් අතරින් කීපයක් හෝ සියල්ලම හෝ කිසිවෙකුට පූජා නොකරති. ඔවුහු වැසි නොවසිනා අහසේ දක්නට ලැබෙන වලාකුලක් හා සමානය.
කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ පදේසවස්සී හෝති? ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ ඒකච්චානං දාතා හෝති, ඒකච්චානං න දාතා හෝති.
මහණෙනි, ප්‍රදේශයකට පමණක් වසිනා වැසි වලාකුලක් බඳු 'පදේස වස්සී' පුද්ගලයා කවුද? එම පුද්ගලයා පෙර සඳහන් කරන ලද දස දාන වස්තූන් සමහර අයට පූජා කරයි, සමහර අයට පූජා නොකරයි. ඔහු 'පදේස වස්සී' පුද්ගලයාය.
කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ සබ්බත්ථාභිවස්සී හෝති? ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සබ්බේසඤ්ච දේති.
මහණෙනි, 'සබ්බත්ථ වස්සී' පුද්ගලයා කවුද? මේ ලෝකයේ සමහර කෙනෙක්, ශ්‍රමණ බ්‍රාහ්මණ, දුගී මගී, අසරණ, යාචක ආදී සියලු දෙනාටම ආහාරපාන ආදී දස දාන වස්තූන් පූජා කරති. ඔහු සෑම තැනටම වසිනා වැසි වලාකුලක් බඳු පුද්ගලයාය.