ඛුද‍්දකනිකායො ඉතිවුත‍්තකපාළි තිකනිපාතො චතුත්‍ථො වග‍්ගො
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ දේශනා කරන ලදී. මා විසින් අසන ලදී.
"තයෝ මේ භික්ඛවේ අකුසල විතක්කා, කථමේ තයෝ?
අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ විතක්කෝ,
ලාභ සක්කාර සිලෝක පටිසංයුත්තෝ විතක්කෝ,
පරානුද්දයතා පටිසංයුත්තෝ විතක්කෝ."
මහණෙනි, අකුසල විතර්කයෝ තුනකි. කවර තුනක්ද?
අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ විතක්කෝ - අන් අයගෙන් නින්දා අවමන් කැමති නොවීම සම්බන්ධව යෙදෙන පාප විතර්කය.
ලාභ සක්කාර සිලෝක පටිසංයුත්තෝ විතක්කෝ - ලාභ, සත්කාර, කීර්ති යන මේවා අරමුණු කිරීම් වශයෙන් උපදින පාප විතර්කය.
පරානුද්දයතා පටිසංයුත්තෝ විතක්කෝ - අනුන්ට අනුකම්පා කිරීමේ අදහසින් යුතුව, ගේහසිත ප්‍රේමයෙන් යුතු පාප විතර්කය.
මහණෙනි, මෙම තුන අකුසල විතර්කයෝ වෙති.
අනවඤ්ඤත්ති විතර්කය..
අනුන්ගෙන් තමාට අවඥාවක් නැති බව, තමා ගැන පිළිකුල් නොකරන බව, තමා නින්දා නොලබන බව, අනවඤ්ඤත්ති යනුවෙන් හඳුන්වයි. අහෝ! අන් අය මට අවමන් නොකරන්නේ නම් යහපත්ය. අන් අය මාව පිළිකුල් නොකරන්නේ නම් යහපත්ය. අන් අය මට නින්දා නොකරන්නේ නම් හොඳය. මෙසේ සිටීම 'අනවඤ්ඤත්ති' නම් වූ පාපක විතර්කයයි. මෙම පාපක විතර්කය හෙවත් පව්කාර කල්පනාව ඇති තැනැත්තා, ගිහියෝද පැවිද්දෝද මාව පහත් කොට නො සලකත්වා.යි සිතයි. මට ගරු කරත්වායි සිතයි. ගෞරව ලබා ගැනීමේ අදහස ඇති වෙයි. එම ලාමක කල්පනාවෝ මේ නමින් හඳුන්වති.
ලාභ සත්කාර සිලෝක පටිසංයුත්තෝ විතක්කෝ..
ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලබාගන්නේ කෙසේද යනුවෙන් හිතන ස්වභාවය, කල්පනා කරන ස්වභාවය අදහස් කරයි. කිරිබත් කන කෙනෙකු ගැන සිතන්න. අතේ ඇඟිලි දිගු කොට කිරිබත් කෑල්ල මත අත තැබුවාට කිරිබත් අතට ගත නොහැකිය. කිරිබත් කෑල්ල අතට ගැනීමට නම් ඇඟිලි වකුටු කොට එය ඇල්ලිය යුතුය. එසේම ලාභ සත්කාර ලබා ගැනීමට නම්, අවංකව කටයුතු කිරීමට වඩා වංකව කටයුතු කිරීම පහසුය. එහෙත් එය නින්දිතය. පාප ක්‍රියාවකි.මෙසේ ලාභ සත්කාර ලබන්නා වූ ක්‍රමය ගැන සිතන සිතුවිලි පව්කාර කල්පනාය.
පරානුද්දයතා පටිසංයුත්තෝ විතක්කෝ..
අනුන් කෙරෙහි ඇති දයාව, අනුකම්පා ස්වභාවයෙන් උපන්නා වූ ගේහසිත ප්‍රේමයෙන් යුක්තවූ පව්කාර කල්පනා මින් අදහස් කරයි. දූ දරුවන් සමඟ, ඥාති හිත මිතුරන් සමඟින් අධික ලෙස ඇලී ගැලී වාසය කරන, ඔවුන් ශෝක කරන විට ඔවුන් සමග ශෝක වීම, ඔවුන් සැප විඳින විට ඔවුන් සමග සතුටු වීම ආදී කෙලෙස් මිශ්‍රිත වූ ප්‍රේමය මින් අදහස් කරයි. මෙය අනුකම්පාව ස්වභාවයෙන් සිත තුළ පවතින ලාමක පාපකාර සිතුවිල්ලකි.
අනවඤ්ඤත්ති සංයුත්තෝ,
ලාභ සක්කාර ගාරවෝ,
සහනන්දි අමච්චේහි,
ආරා සංයෝජනක්ඛයා.
අනුන් විසින් තමාට අවමන් කිරීම නොකැමති වන බවින් යුක්ත වූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උසස් කොට සලකන්නා වූ, ඇමතිවරු සමඟද, අන්‍ය ගෘහස්ථයන් සමඟද සතුටු වන, ඇලී ගැලී වසන ඔහු, සංයෝජන ක්ෂය කිරීම නම් වූ රහත් බවින් දුරය.
යෝ ච පුත්ත පසූ හිත්වා,
විවාහේ සංගහානි ච,
භබ්බෝ සෝ තාදිසෝ භික්ඛු,
ඵුට්ඨුං සම්බෝධි මුත්තමන්තී.
යම් කෙනෙක් අඹු දරුවන්ද, සිවුපා සතුන්ද, විවාහයන්ද, පරිවාර ජන සංග්‍රහයන්ද අතහැර දමා සිටියේද, එම භික්ෂුව සම්බෝධිය ස්පර්ශ කරන්නට හෙවත් රහත් බවට පැමිණීමට සුදුසුය.