පොත් ලැයිස්තුව

විපල්ලාස සූත්‍රය.

star_outline

අංගුත්තර නිකාය චතුක්ක නිපාතය.

චත්තාරෝ’මේ භික්ඛවේ, සඤ්ඤාවිපල්ලාසා චිත්තවිපල්ලාසා දිට්ඨිවිපල්ලාසා. කතමේ චත්තාරෝ?

අනිච්චේ භික්ඛවේ නිච්චන්ති සඤ්ඤාවිපල්ලාසෝ චිත්තවිපල්ලාසෝ දිට්ඨිවිපල්ලාසෝ. දුක්ඛේ භික්ඛවේ සුඛන්ති සඤ්ඤාවිපල්ලාසෝ චිත්තවිපල්ලාසෝ දිට්ඨිවිපල්ලාසෝ. අනත්තනි භික්ඛවේ අත්තාති සඤ්ඤාවිපල්ලාසෝ චිත්තවිපල්ලාසෝ දිට්ඨිවිපල්ලාසෝ. අසුභේ භික්ඛවේ සුභන්ති සඤ්ඤාවිපල්ලාසෝ චිත්තවිපල්ලාසෝ දිට්ඨිවිපල්ලාසෝ. ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ සඤ්ඤාවිපල්ලාසා චිත්තවිපල්ලාසා දිට්ඨිවිපල්ලාසා.

මහණෙනි, සංඥා විපර්යාස (වරදවා ගත් හඳුනාගැනීම්), චිත්ත විපර්යාස, දෘෂ්ටි විපර්යාස හතරකි.

​මහණෙනි, අනිත්‍ය වූ දෙය "මෙය නිත්‍යයි" කියා ගන්නා වූ සංඥා විපර්යාසයකි, චිත්ත විපර්යාසයකි, දෘෂ්ටි විපර්යාසයකි. දුක් වූ දෙය "මෙය සැපයයි" කියා ගන්නා වූ සංඥා විපර්යාසයකි, චිත්ත විපර්යාසයකි, දෘෂ්ටි විපර්යාසයකි. අනාත්ම වූ දෙය "ආත්මයයි" කියා ගන්නා වූ සංඥා විපර්යාසයකි, චිත්ත විපර්යාසයකි, දෘෂ්ටි විපර්යාසයකි. අසුභ වූ දෙය "සුභ යැයි" කියා ගන්නා වූ සංඥා විපර්යාසයකි, චිත්ත විපර්යාසයකි, දෘෂ්ටි විපර්යාසයකි. මහණෙනි, මේ සතරක් සංඥා විපල්ලාසයෝය, චිත්ත විපල්ලාසයෝය, දෘෂ්ටි විපල්ලාසයෝය

ධර්මාර්ථ විස්තරය

සඤ්ඤා විපල්ලාසාති සඤ්ඤාය විපල්ලත්ථභාවා චස්සෝ විපරීත සඤ්ඤාති අත්ථෝ.(සූත්‍ර අටුවාව. )

​"සංඥා විපර්යාස" යනු සංඥාව (හඳුනාගැනීම) විපරීත වීම හේතුවෙන් හතර ආකාරයක විපරීත සංඥා වෙති යන්නයි.

​වරදවාගත් හඳුනාගැනීම, විකෘති හඳුනාගැනීම, යථාර්ථවාදී නොවන හඳුනාගැනීම සංඥා විපල්ලාසයයි. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස හතරකි. එහි චිත්ත විපල්ලාස යනු වරදවාගත් චිත්ත ස්වභාවයකි, හෙවත් විපරීත චිත්ත ස්වභාවයකි. දිට්ඨි විපල්ලාස යනු වරදවාගත් දෘෂ්ටියකි.

​සංඥා විපල්ලාස හතර කවරේද?

  1. ​අනිත්‍ය වූ දෙය, මෙය නිත්‍යය කියා හඳුනාගැනීම සංඥා විපල්ලාසයකි.
  2. ​දුක් වූ දෙය මෙය සැප දෙයකි කියා හඳුනා ගැනීම සංඥා විපල්ලාසයකි.
  3. ​අනාත්ම වූ දෙය මෙය ආත්මයි කියා හඳුනා ගැනීම සංඥා විපල්ලාසයකි.
  4. ​අසුභ වූ දෙය මෙය සුභයි කියා හඳුනා ගැනීම සංඥා විපල්ලාසයකි.

​"හුත්වා අභාවතෝ අනිච්චං" යනුවෙන් පැවතී නැතිවී යන ස්වභාවය නිසා අනිත්‍යයි කියා කියනු ලැබේ. හේතූන්ගෙන් හටගත් දෙය සංස්කාර කියා හඳුන්වයි. සෑම සංස්කාරයකම ඉපදීම, පැවතීම, නැතිවීම යනුවෙන් ලක්ෂණ තුනකි. එම ලක්ෂණ තුන හඳුන්වන තනි වචනය අනිත්‍ය කියා කිව හැකිය.

​"යදනිච්චං තං දුක්ඛං" – යමක් අනිත්‍ය නම් එය දුකකි (සලායතන සංයුක්තය). ඒ අනුව අනිත්‍ය නිසාම දුකක් වෙයි. ඉපදීම්, පැවතීම් දෙකෙන් නිරතුරුවම පීඩා ලබන නිසාද, නිතර වෙනස් වීම නම් වූ විපරිණාම ලක්ෂණය ඇති නිසාද, දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ කියන ත්‍රිවිධ දුකට හේතුවක් වන නිසාද දුක යැයි කියනු ලැබේ.

​"යං දුක්ඛං තදනත්තා" – යමක් දුක නම් එය අනාත්මයි (සලායතන සංයුක්තය). මේ අනුව දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නිසාම අනාත්මයි කියා සලකනු ලැබේ. සාරයක් හෙවත් අරටුවක් නැති නිසා අසාර යන අර්ථයෙන්ද අනාත්මයි. ආත්මයක් නොමැති නිසාද අනාත්මයි. නිත්‍ය වූ, ස්ථිර වූ, සදාකාලික වූ, වෙනස් නොවන්නා වූ ස්වභාවය නැති බැවින්ද අනාත්මයි. තම තමා කැමති ලෙස නොපැවැත්විය හැකි බැවින්ද අනාත්මයි.

​අසුභ යනු ප්‍රිය නොවන, මිහිරි නොවන ස්වභාවයයි. අනිත්‍ය වූ දෙය නිත්‍ය වශයෙන් ගැනීමද, දුක් වූ දෙය සැප වශයෙන් ගැනීමද, අනාත්ම වූ දෙය ආත්ම වශයෙන් ගැනීමද, අසුභ වූ දෙය සුභ වශයෙන් ගැනීමද වරදවාගත් හඳුනාගැනීමකි. වරදවාගත් චිත්ත ස්වභාවයකි. වරදවාගත් දෘෂ්ටියකි.

වරදවාගත් යනු විපරීත යන අර්ථයයි.

චත්තාරෝ’මේ භික්ඛවේ න සඤ්ඤාවිපල්ලාසා න චිත්තවිපල්ලාසා න දිට්ඨිවිපල්ලාසා. කතමේ චත්තාරෝ?

​මහණෙනි, සංඥා විපර්යාස නොවන, චිත්ත විපර්යාස නොවන, දෘෂ්ටි විපර්යාස නොවන හතරකි. එම හතර කවරේද?

අනිච්චේ භික්ඛවේ අනිච්චන්ති න සඤ්ඤාවිපල්ලාසෝ න චිත්තවිපල්ලාසෝ න දිට්ඨිවිපල්ලාසෝ. දුක්ඛේ භික්ඛවේ දුක්ඛන්ති න සඤ්ඤාවිපල්ලාසෝ න චිත්තවිපල්ලාසෝ න දිට්ඨිවිපල්ලාසෝ. අනත්තනි භික්ඛවේ අනත්තාති න සඤ්ඤාවිපල්ලාසෝ න චිත්තවිපල්ලාසෝ න දිට්ඨිවිපල්ලාසෝ. අසුභේ භික්ඛවේ අසුභන්ති න සඤ්ඤාවිපල්ලාසෝ න චිත්තවිපල්ලාසෝ න දිට්ඨිවිපල්ලාසෝ.

​මහණෙනි, අනිත්‍ය වූ දෙය අනිත්‍යයයි කියා ගන්නේ නම්, සංඥා විපර්යාස නොවේ, චිත්ත විපර්යාස නොවේ, දෘෂ්ටි විපර්යාසද නොවේ. මහණෙනි, දුක් වූ දෙය මෙය දුකයි කියා ගන්නේ නම්, සංඥා විපර්යාස නොවේ, චිත්ත විපර්යාස නොවේ, දෘෂ්ටි විපර්යාස නොවේ. මහණෙනි, අනාත්ම වූ දෙය අනාත්මයි කියා ගන්නේ නම්, සංඥා විපර්යාස නොවේ, චිත්ත විපර්යාස නොවේ, දෘෂ්ටි විපර්යාස නොවේ. මහණෙනි, අසුභයෙහි අසුභයි කියා ගන්නේ නම්, සංඥා විපර්යාස නොවේ, චිත්ත විපර්යාස නොවේ, දෘෂ්ටි විපර්යාස නොවේ.

ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ න සඤ්ඤාවිපල්ලාසා න චිත්තවිපල්ලාසා න දිට්ඨිවිපල්ලාසාති.

​මහණෙනි, මේ හතරදෙනාම සංඥා විපර්යාස නොවෙති, චිත්ත විපර්යාස නොවෙති, දිට්ඨි විපර්යාස නොවෙති.

​අනිච්චේ නිච්චසඤ්ඤිනෝ දුක්ඛේ ච සුඛසඤ්ඤිනෝ,

අනත්තනි ච අත්තාති අසුභේ සුභසඤ්ඤිනෝ

​අනිත්‍ය වූ දෙයතුළ නිත්‍යයි කියා සංඥා ඇති, දුක් වූ දෙය තුළ සැප සංඥා ඇති, අනාත්ම වූ දෙය තුළ ආත්ම සංඥා ඇති, අසුභ වූ දෙය තුළ සුභ සංඥා ඇති...

​මිච්ඡාදිට්ඨිගතා සත්තා ඛිත්තචිත්තා විසඤ්ඤිනෝ,

තේ යෝගයුත්තා මාරස්ස අයෝගක්ඛේමිනෝ ජනා.

​දිට්ඨි විපර්යාස වශයෙන් මිත්‍යාදෘෂ්ටියට ගියා වූ, චිත්ත විපර්යාස වශයෙන්ම වික්ෂිප්ත වූ සිත් ඇති, විපරීත සංඥා ඇති, යෝගක්ඛේම නම් වූ නිවනට නොපැමිණි ඒ ජනයෝ මාරයෝගයෙහි යෙදුනෝය.

​සත්තා ගච්ඡන්ති සංසාරං ජාතිමරණගාමිනෝ,

යදා ච බුද්ධා ලෝකස්මිං උප්පජ්ජන්ති පභංකරා.

​ජාති මරණ කරා ගමන් කරන සත්ත්වයෝ සංසාරයෙහි ගමන් කරති. යම් කාලයකින් ලෝකයෙහි ඥානාලෝකය ඇති කරන බුදුවරු උපදිත් ද...

​තේමං ධම්මං පකාසෙන්ති දුක්ඛූපසමගාමිනං,

තේසං සුත්වාන සප්පඤ්ඤා සචිත්තං පච්චලද්ධ තේ

​ඒ බුදුවරු දුක සංසිඳවීමට පත් කරන ධර්මය ප්‍රකාශ කරති. ප්‍රඥාව ඇත්තෝ ඔවුන්ගේ ධර්මය අසා තමාගේ සිත ලබා ගනිති (ස්වකීය සිත ලැබීම යනු අටුවාවයි. අපිරිසිදු නොවූ පිරිසුදු සිතක් ලබා ගනී යන අර්ථයයි.).

​අනිච්චං අනිච්චතෝ දක්ඛුං දුක්ඛමද්දක්ඛු දුක්ඛතෝ,

අනත්තනි අනත්තාති අසුභං අසුභතද්දසුං,

සම්මාදිට්ඨිසමාදානා සබ්බං දුක්ඛං උපච්චගුන්ති

​අනිත්‍ය දෙය අනිත්‍ය වශයෙන් දුටුවෝය, දුක් දෙය දුක් වශයෙන් දුටුවෝය, අනාත්ම දෙය අනාත්ම වශයෙන් දුටුවෝය, අසුභ දෙය අසුභ වශයෙන් දුටුවෝය. මේ ලෙස සම්මාදිට්ඨිය ලබා ගැනීමෙන් සියලු දුක් ඉක්මවා යති...