උරග සුත්තං - නිදාන කතාව
එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අලව් නුවර අග්ගලාව චේතිය නම් ස්ථානයෙහි වැඩ සිටින සේක. ඒ කාලයෙහි භික්ෂූන් වහන්සේලා නව කර්මාන්ත කරන්නේ, ගස් කැපීම සිදුකරති; අන් අය ලවාද ගස් කැපීම කරවති. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ගසක් කපයි. එසේ ගස කපන කල්හි එම ගසට අධිපති දේවතාවිය පැමිණ ඒ භික්ෂුවට මෙසේ කීවාය: "ස්වාමීනී, මෙම ගස මගේ දිව්‍ය විමානයයි. එම නිසා මෙම ගස නොකපන්න." එසේ කියද්දීත් එම භික්ෂුව එම ගස කපන ලදී.
එසේ ගස කපන විට එම දේවතාවියගේ දරුවෙකුගේ අතෙහි පොරෝ පහරක් වැදුනේය. එයින් කෝපයට පත් දිව්‍යාංගනාව "මම මේ භික්ෂුව ජීවිතයෙන් තොර කරන්නෙමි" යනුවෙන් භික්ෂුව ඝාතනය කිරීමට සිතුවාය. නැවතත් මෙසේ සිතයි: "එය මට නොගැළපෙයි; භික්ෂුවගේ ජීවිතය විනාශ නොකළ යුතුයි. මම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව ප්‍රකාශ කළ යුතුයි."
එසේ සිතා එම දෙව්දුව බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ බුදුරජාණන් වහන්සේට එම කාරණාව ප්‍රකාශ කළාය. එවිට තථාගතයන් වහන්සේ, "සාධු! සාධු! දේවතාවිය, සාධු! දේවතාවිය, එම භික්ෂුවගේ ජීවිතය විනාශ නොකිරීම ඉතා යහපත්ය. එසේ කළා නම් ඔබට බොහෝ පව් රැස් වන්නේය. ඔබ යන්න, අසවල් ස්ථානයෙහි ගසක් ඇත, එම ගසෙහි වාසය කරන්න" යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේවතාවියට උපදෙස් ලබා දුන්හ. එම දේවතාවියගේ සිත තුළ උපන් ක්‍රෝධය දුරු කිරීම පිණිස තථාගතයන් වහන්සේ මෙම දේශනාව වදාළ සේක.
උරග සූත්‍රය පළමුවන ගාථාව
“යෝ උප්පතිතං විනේති කෝධං,
විසටං සප්පවිසංච ඕසධේහි;
සෝ භික්ඛු ජහාති ඕරපාරං,
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං.”
යම් භික්ෂුවක් උපන්නා වූ ක්‍රෝධය, ශරීරය පුරා පැතිරී ගියා වූ සර්ප විෂක් ඖෂධයකින් නසා දමන්නා සේ දුරුකරයිද, එම භික්ෂුව සර්පයෙකු දිරාගිය පැරණි හැවක් අතහැර දමන්නා මෙන්, පංච ඕරම්භාගිය සංයෝජන සංඛ්‍යාත ඕරපාරය අතහැර දමයි
කිපීම ක්‍රෝධය යන නමින් හඳුන්වයි. යමෙක් කිපී සිටිනවා දැක ඔහු කෙරෙහි කිපෙන්නේ නම් එය ඉතා පහත් වූ දෙයකි. යමෙක් කිපී සිටිනවා දුටු විට ඔහු කෙරෙහි නොකිපී ඉවසීම කළ හැකිනම් එය ඉතා උසස් වූ දෙයකි. ඔහු දිනීමට නොහැකියි; සංග්‍රාමයක්, යුද්ධයක් ජයගත් කෙනෙක් බඳුය. යමෙක් කිපී සිටින විට ඔහු කිපී සිටිනවා දැක, සිහියෙන් යුතුව, නොකිපී ඉවසන්නේ නම්, එම තැනැත්තා තමාටද අනුන්ටද යහපත පිණිස හැසිරෙයි.
ක්‍රෝධයේ ආදීනව මනාකොට තේරුම් ගැනීම පිණිස, අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ කෝධන සූත්‍රය බලන්න. එහි ඉතා දීර්ඝ ලෙස ක්‍රෝධයෙහි විපාක දක්වා ඇත. එම සූත්‍රයෙහි සරල අදහස මෙසේය:
යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ "මාගේ සතුරා දුර්වර්ණ වේවා!" යැයි ප්‍රාර්ථනා කරයි. එහෙත් ඒ හේතුවෙන් ක්‍රෝධය නිසා ඔහුම දුර්වර්ණ කෙනෙක් බවට පත්වෙයි.
"මගේ සතුරා දුකසේ නිදත්වා!" යැයි ප්‍රාර්ථනා කරයි. එහෙත් ඔහුම දුකසේ නිදයි.
"මගේ සතුරාට බොහෝ සම්පත් නොලැබේවා!" යැයි ප්‍රාර්ථනා කරයි. එහෙත් ඔහුටම සම්පත් නොලැබී යයි.
"මගේ සතුරා යසසට පත් නොවේවා!" යැයි ප්‍රාර්ථනා කරයි. එහෙත් ඔහුටම යසස නොලැබී යයි.
"මගේ සතුරාට මිතුරන් නොසිටීවා!" යැයි ප්‍රාර්ථනා කරයි. එහෙත් ඔහුටම මිතුරන් නැතිවී යයි.
"මගේ සතුරා මරණින් මතු නිරයේ උපදේවා!" යැයි ප්‍රාර්ථනා කරයි. එහෙත් ක්‍රෝධයෙන් යුක්ත වූ තැනැත්තා කයින් පව් කොට, වචනයෙන් පව් කොට, මනසින් පව් කොට, කය බිඳී මරණින් මතු බොහෝ දුක් ඇති නිරයේ උපත ලබයි.
කෝප වූ තැනැත්තා යහපත් අර්ථය නොදනියි, නිවැරදිව කරුණු නොදනියි. කෝපයෙන් සිටින අය දුගතියට යති. කෝපයෙහි තිබෙන ආදීනව නුවණින් දැක, කෝපය දුරු කළ යුතුය. කෝපය අනර්ථය, අයහපත උදාකරයි; තදබල ලෙස සිත කෝපයටම පත් කරයි. එබැවින් මහා නුවණැති තැනැත්තා කෝපය දුරු කරයි.
සර්පයෙකු තමාගේ දිරාගිය හැව ඉවත් කරන්නාක් මෙන්ම, බුද්ධිමත් වූ ශ්‍රාවකයා කෝපය දුරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ උරග සූත්‍රයේ පළවෙනි ගාථාවෙන් දේශනා කළ සේක. එසේ කෝපය දුරු කිරීමෙන් ඔහු සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, ව්‍යාපාද යන පංච ඕරම්භාගිය සංයෝජන ධර්ම සිඳ දමන බවද දේශනා කළ සේක. මෙහිදී කෝපය දුරුකිරීම යනු අනාගාමී මාර්ගයෙන් ව්‍යාපාද සංයෝජනය දුරු කිරීමයි.
“යො රාගමුදච්ඡිදා අසෙසං,
භිසපුප්ඵංව සරොරුහං විගය්හ;
සො භික්ඛු ජහාති ඔරපාරං,
උරගො ජිණ්ණමිවත්තචං පුරාණං.”
යම් භික්‍ෂුවක් විලට බැස නෙලුම්මල් නෙළන්නා මෙන්, පඤ්චකාම වස්තූන් කෙරෙහි ඇති රාගය ඉතුරුවක් නැතුව සිඳ දමන්නේ නම්, එම භික්‍ෂුව දිරාගිය හම ඉවත් කරන්නා වූ සර්පයෙකු සේ, පංච ඕරම්භාගිය සංයෝජන නම් වූ ඕරපාරය හැරදමයි..
නිදාන කතාව.
මෙම ගාථාව තථාගතයන් වහන්සේ විසින් සාරිපුත්ත තෙරුන් වහන්සේගේ සිසුවෙකු වූ භික්ෂුවක් උදෙසා දේශනා කළ සේක. රන්කරුවෙකුගේ පුතෙකු සාරිපුත්ත තෙරුන් වහන්සේ සමීපයෙහි පැවිදි බිමට පත්විය. සාරිපුත්ත තෙරුන් වහන්සේ එම භික්ෂුවට අශුභ භාවනා කර්මස්ථානය දේශනා කළහ. එම භික්‍ෂුව විසින් මාස හතරක් පුරාවට එම කර්මස්ථානය පුරුදු පුහුණුකළහ. එහෙත් චිත්ත සමාධියක්වත් උපදවා ගත නොහැකි විය.
එම භික්‍ෂුව තථාගතයන් වහන්සේ සමීපයට කැඳවාගෙන ආවේය. එවිට බුදුරජාණන් වහන්සේ මෙම භික්‍ෂුවගේ අතීත භාවිතය පිළිබඳ නුවණින් විමසා බැලූහු. අතීතයේ ආත්ම පන්සීයක් එක දිගටම රන්කරුවෙකු ලෙස කටයුතු කළ කෙනකි. එබැවින් රත්තරන් උණු කිරීම සඳහා භාවිතා කරන ලිපේ ගිනි දැල්ල ඉතා හොඳින් දැකපුරුදුය. එයම හේතු කරගෙන එම භික්ෂුවගේ සිත සමාධිගත කරන අදහසින් උන්වහන්සේ විසින් රන්වන් නෙළුම් මලක් මවා දුන්හ.
එය ගඟ සමීපයේ වැලිතලාවේ රදවා, ඒ දෙස බලමින් "ලෝහිත, ලෝහිත" යනුවෙන් මෙනෙහි කරන ලෙස දේශනා කළහ. එසේ මෙනෙහි කරමින් සිටින විට ලෝහිත කසිණය මුල්කරගෙන ධ්‍යාන ලබා ගත හැකි විය. එම භික්‍ෂුව ධ්‍යානයන්ට සම වැදී වාසය කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ නෙළුම් මල ක්‍රමයෙන් මැලවී යන ලෙස අධිෂ්ඨාන කළහ. එම අවස්ථාවේදී නෙළුම් මල මැලවී ගියේය. එවිට එම භික්ෂුව සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන රහත්ඵලයට පත්විය. මෙම කතාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ උරග සූත්‍රයේ දෙවන ගාථාව දේශනා කළ සේක.
ධර්මාර්ථ විස්තරය🙏
දෙවන ගාථාව සහ එහි සරල අර්ථය පෙර දක්වන ලදී. මෙම ගාථාවෙන් විශේෂයෙන් කීමට ඇත්තේ රාගය විනාශ කිරීම යන වචනයේ අර්ථයයි. "ඇලෙනවා" යන අර්ථයෙන් රාගය කියා කියනු ලබයි.
"රාගෝති, පංචකාම ගුණික රාගස්සේතං අධිවචනං..." (උරග සූත්‍ර අටුවා)
රාගය යනු පංචකාම ගුණික රාගයට කියන නමකි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේවා පංචකාම වස්තූන් යන නමින් හඳුන්වනු ලබයි. එම පංචකාම වස්තූන් කෙරෙහි ඇති ආසාව, තණ්හාව රාගය යන නමින් හඳුන්වනු ලබයි. කාමච්ඡන්දය යනුද මෙයටම නමකි. රාගයෙහි ආදීනව බොහෝය. "රාගයට සමාන වූ ගින්නක් නැත" යි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. "කාම රාගය නිසා දැවෙන්නේය, මගේ සිත විශේෂයෙන් දැවෙන්නේය" යනුවෙන් රාගයෙන් පීඩිත වූ වංගීස තෙරුන් වහන්සේ ප්‍රකාශ කළහ. (වංගීස සංයුත්තය )
ඒ අනුව රාගය යනු සිත, කය දවන මහා ගින්නකි. රාගය නම් වූ ක්ලේශය කාමය යන නමින්ද හඳුන්වනු ලබයි. මකුළුවෙකු දැලක් වියාගෙන එම දැල තුළට වී සිටින්නාක් මෙන්, රාගයෙන් යුක්ත තැනැත්තා රාගය තුළ ජීවත්වෙයි. රාගයෙන් සිත දූෂිත වූ විට අර්ථය නොදැනෙයි, ධර්මය නොදැනෙයි. එම නිසා ඔහු නොයෙක් පාප ධර්ම සිදු කරයි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර තික නිපාතයේ බ්‍රාහ්මණ සූත්‍රයේදී එක්තරා බ්‍රාහ්මණයෙකුට මෙසේ දේශනා කළහ:
බ්‍රාහ්මණතුමනි, රාගයෙන් රත් වූ විට, රාගයට සිත යටවූ විට ප්‍රාණඝාතය සිදුකරයි, සොරකම් කිරීම සිදුකරයි, කාමයෙහි වරදවා හැසිරීම සිදුකරයි, බොරු කීම සිදුකරයි, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම සිදුකරයි. අන්සතු වස්තුවට ආසා කිරීම නම් වූ අභිජ්ඣා යන අකුසලය සිදුකරයි. ව්‍යාපාද, මිථ්‍යාදිට්ඨි යන අකුසලයෝද රාගය මුල් වී ඇතිවන අවස්ථා ඇත.
මේ ආකාරයෙන් රාගයේ ආදීනව සලකා රාගය යටපත් කරගත යුතුය. සීල සංවරයෙන්ද රාගය යටපත් කරගත හැකිය. අශුභ භාවනා කර්මස්ථානය ඉගෙන ගැනීමෙන්ද රාගය යටපත් කළ හැකිය. අශුභ භාවනා කර්මස්ථානය සජ්ඣායනා කිරීමෙන්, මෙනෙහි කිරීමෙන්, භාවනා වැඩීමෙන්ද රාගය යටපත් කර ගතහැකිය. එසේ යටපත් කරගන්නා ලද රාගය අනාගාමී මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීම සිදුවෙයි.
උරග සූත්‍රයේ තුන්වන නිදාන කතාව, ගාථාව සහ ධර්මාර්ථ විස්තරය🙏
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ මහා විහාරස්ථානයෙහි වැඩ වාසය කළ සේක. එවිට එක්තරා භික්‍ෂුවක් ගග්ගරා පොකුණ සමීපයෙහි වාසය කරයි. එම භික්ෂුව තණ්හාව මුල්කරගෙන අකුසල විතර්ක සිතමින් සිටියි. භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂුවගේ සිත තමන් වහන්සේගේ සිතින් බලා ආලෝකයක් විහිදුවා, එම භික්‍ෂුවට ඇසෙන සේ මේ ගාථාව දේශනා කළ සේක.
“යො තණ්හමුදච්ඡිදා අසෙසං,
සරිතං සීඝතරං විසෝසයිත්වා;
සො භික්ඛු ජහාති ඔරපාරං,
උරගො ජිණ්ණමිවත්තචං පුරාණං.”
යම් කෙනෙක් වියලී ගලා බසිනා කුඩා ගංගාවක් බඳු තණ්හාව ඉතුරුවක් නොවන ආකාරයෙන් වියලවා සිඳ දමන්නේද, එම භික්ෂුව උරගයෙකු තම පැරණි හම අතහැර දමා යන්නාක් මෙන් (ඕරම්භාගිය සංයෝජන නම් වූ) ඕරපාරය හැර දමයි.
ධර්මාර්ථ විවරණය🙏
ආසාව, ආසා පිපාසය,යන නම් වලින් තණ්හාව හඳුන්වයි. එය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙන් කොටස් තුනකට බෙදෙයි.
“ඡ ඉමේ භික්ඛවේ තණ්හාකායා... රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා.” (විභංග සූත්‍රය අභිසමය සංයුත්තය)
මහණෙනි, තණ්හා සමූහ හයකි. රූප කෙරෙහි ඇති ආසාව, ශබ්ද කෙරෙහි ඇති ආසාව, සුවඳ කෙරෙහි ඇති ආසාව, රසය කෙරෙහි ඇති ආසාව, ස්පර්ශය කෙරෙහි ඇති ආසාව, සිතුවිලි කෙරෙහි ඇති ආසාව යනුවෙනි. (විභංග සූත්‍රය - අභිසමය සංයුත්තය)
මෙම තණ්හා හය කාමරාගය මුල් වී ඇතිවන විට කාම තණ්හා යන නමින් හඳුන්වනු ලබයි. ශාස්වත දෘෂ්ටිය මුල් වී ඇතිවන විට භව තණ්හා යන නමින් හඳුන්වනු ලබයි. උච්ඡේද දෘෂ්ටිය මුල් වී ඇතිවන විට විභව තණ්හා යන නමින් හඳුන්වනු ලබයි. එවිට තණ්හාවේ ප්‍රභේද 18ක් දක්නට ලැබෙයි. එම තණ්හා 18, ආධ්‍යාත්මික - බාහිර හෙවත් තමා සහ අනුන් යන ප්‍රභේද දෙකෙන් වැඩි කළ කල්හි තිස් හයකි. එම තණ්හා තිස් හය අතීත, අනාගත, වර්තමාන යන ත්‍රිවිධ කාලයෙන් වැඩි කළ කල්හි එකසිය අටකි.
ලෝභය යනුද තණ්හාවටම නමකි.
“ලෝභං භික්ඛවේ ඒක ධම්මං පජහථ, අහං වෝ පාටිභෝගෝ අනාගාමිතායා”ති (ඉතිවුත්තක පාලි)
මහණෙනි, ලෝභය නම් වූ එකම අකුසල ධර්මය ප්‍රහාණය කරව. ඔබ අනාගාමී ඵලයට පත්වන බවට මම ඇප වෙමි.
ලෝභය ගැන විස්තරය
ලෝභය යනු කාමරාගයට කියන නමකි. “ඉධ පන කාමරාග වචනතෝ වේදිතබ්බෝ” (ඉතිවුත්තක පාලි අට්ඨකථා) යන අටුවා පාඨයෙන් එය පැහැදිලි වෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ඇති ඇලීම කාමරාගයයි. එම කාමරාගයම ලෝභය වන බව දත යුතුය.
ලෝභය ප්‍රහාණය කිරීමට කැමති තැනැත්තා පළමුවෙන්ම එහි ආදීනව නුවණින් විමසා බැලිය යුතුය. ලෝභයේ ආදීනව බොහෝය.
“අනත්ථ ජනනෝ ලෝභෝ,
ලෝභෝ චිත්තප්පකෝපනෝ,
භයමන්ත රතෝ ජාතං, තං ජනෝ නාවබුජ්ඣති.”
ලෝභය අනර්ථය උපදවන්නේය. සිත කළඹවන්නේය. සිත ඇතුළත උපදින ඒ භය, අඥාන ජනයා අවබෝධ කර නොගනී. (ඉතිවුත්තක පාලි)
“ලුද්ධෝ අත්ථං න ජානාති,
ලුද්ධෝ ධම්මං න පස්සති;
අන්ධං තමං තදා හෝති, යං ලෝභෝ සහතේ නරං.”
ලෝභී තැනැත්තා අර්ථය නොදනී. ලෝභී තැනැත්තා ධර්මය නොදනී. ලෝභය යම්කිසි කෙනෙකු යටපත් කරයිද, එවිට අන්ධභාවය ඇති කරන අඳුර වෙයි. (අංගුත්තර තික නිපාතය)
රාගයෙන් රත් වූ කල්හි, මැඩුණු කල්හි ප්‍රාණඝාතය සිදු කරයි. සොරකම් කරයි. ගෙවල් බිඳ දමයි. අන් සතු වස්තුව පැහැර ගනී. එක ගෙයක් පැහැර ගැනීමද සිදු කරයි. මාර්ගයේ සැඟවී සිට මංකොල්ලකෑම සිදු කරයි. පර අඹුවන් වෙත ගමන් කරයි. බොරු කියයි. (අංගුත්තර තික නිපාතය - බ්‍රාහ්මණ වර්ගය)
මේ අනුව පැහැදිලි වන්නේ ලෝභය ඇති කල්හි ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන් සිදුකරන බවයි. එබැවින් ලෝභය අකුසලයන්ට මුල්වන අකුසල මූලයකි. අංගුත්තර තික නිපාතයේදී “ලෝභෝ අකුසල මූලං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ලෝභයේ ඇති දරුණු බව තේරුම් ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම සූත්‍ර කොටසට අවධානය යොමු කරන්න:
“චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති...” (අභිසමය සංයුත්තය)
ඇසත් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. එම තිදෙනාගේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි. තණ්හාව නිසා උපාදානය උපදියි. උපාදානය නිසා භවය උපදියි. භවය නිසා ජාතිය උපදියි. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස හටගනියි. මේ ආකාරයට මුළු මහත් දුකම හටගනියි.
මෙම ඡේදයෙහි සඳහන් වන ලද තණ්හාව යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කෙරෙහි ඇති ආශාවයි. උපාදානය යනු දැඩි ග්‍රහණයයි. කාමච්ඡන්දය හෙවත් කාමරාගය කාම උපාදානය ලෙසද, මිථ්‍යා සීලව්‍රතයන් දැඩිව ග්‍රහණය කර ගැනීම සීලබ්බත උපාදානය ලෙසද, නත්ථි දින්නං ආදී මිථ්‍යාදෘෂ්ටි දැඩිව ග්‍රහණය කර ගැනීම දිට්ඨි උපාදානය ලෙසද, ආත්මයක් ඇත යන දැඩි ග්‍රහණය අත්තවාද උපාදානය ලෙසද දක්වා තිබේ. භවය යනු කර්ම හැඳින්වීම සඳහා යොදන ලද නමකි. ජාතිය යනු ඉපදීමය; හෙවත් මේ ජීවිතයට අදාළ ස්කන්ධයන්ගේ පළමු පහළවීම ජාතියයි. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව ආදී දුක් රැස හට ගනියි.
මේ ආකාරයටම ආයතන හය ඔස්සේ තණ්හාව හටගන්නා ආකාරයත්, තණ්හාව මුල් වී මුළු මහත් දුකම හටගන්නා ආකාරයත් විස්තර කරමින් පැහැදිලි කරගත යුතුය.
කාමරාගය හෙවත් කාම උපාදානය අනාගාමී මාර්ගයෙන් ප්‍රහාණය වෙයි.
කාම තණ්හාවද අනාගාමී මාර්ගයෙන් ප්‍රහාණය වෙයි.
එහෙත් රූපරාග, අරූපරාග අරිහත්වය දක්වාම පවතියි. එම රාගයන් ප්‍රහාණය වන්නේ අරිහත් මාර්ග ඥානයෙනි.
උරග සූත්‍රය
හතරවන ගාථාව
නිදාන කතාව
භාග්‍යවතුන් වහන්සේ සැවැත් තරණය කිරීම පිණිස බටලී වලින් ඒ දණ්ඩක් සකසා තිබුනි. අධික වැසි සහිත කාලයක් විය. ගඟේ සැඩ පහර ඉතා දරුණු විය. භික්‍ෂුව ගඟසමීපයෙහි සිටින අවස්ථාවේදී සැඩවූ දියය පහරට හසුවී බට දඬුවලින් සාදන ලද ඒදණ්ඩ ගැලවී යනවා දුටුවේය. එවිට එම භික්‍ෂුවට මෙසේ සිත් විය. හේතූන්ගෙන් හටගත් සියලු සංස්කාර අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චා.. බුදුරජාණන් වහන්සේ එම භික්ෂුවගේ සිත තමන් වහන්සේගේ සිතින් දැක ආලෝකයක් විහිදුවා, ආලෝකය තුළින් තමන් වහන්සේව දකින්නට සලස්වා, මේ ගාථාව දේශනා කළ සේක.
යෝ මානමුදබ්බධී අසේසං, නළසෙතුංව සුදුබ්බලං මහොඝො;
සො භික්ඛු ජහාති ඔරපාරං, උරගො ජිණ්ණමිව තචං පුරාණං.
යම් භික්‍ෂුවක් මහ වතුරක් ඉතා දුබල වූ බටදඬු වලින් හැදූ ඒදණ්ඩක් බිඳ දමන්නාක් මෙන්, මානය ඉතුරු නොකොට නසා දමන ලද්දේ ද, උරගයෙකු දිරාගිය පැරැණි හම (හැව) ඉවත් කරන්නාක් මෙන් ඕරපාරය හැර දමයි.
ධර්මාර්ථ විස්තරය
මෙම ගාථාවේ විශේෂිත කාරණාවක් විදිහට දක්වා ඇත්තේ මානය ප්‍රහාණය කිරීමයි. මානය යනු අපගේ සිත තුළ ඇතිවන කෙලෙස් සහගත හැඟීමකි. එය සිතෙහි ඇතිවන කම්පනයකි. මානය ඇති තැනැත්තා "මම අන් අයට වඩා උසස් යැයි", නැතහොත් "මම අන් අයට සමාන වෙමි" යනුවෙන් සිතයි; "මම අන් අයට වඩා පහත් වෙමි" යනුවෙන්ද සිතයි. මෙය පිළිවෙළින් සෙය්‍යමානය, සදිසමානය, හීනමානය යන නම් වලින් හඳුන්වනු ලබයි. එම ත්‍රිවිධ මානය උප්පත්ති ස්ථාන වශයෙන් හෙවත් උපදින ආකාරය අනුව කොටස් නමයකට බෙදා දක්වා ඇත:
සෙය්‍යස්ස සෙය්‍යොහමස්මීති මානො - මම උසස් කෙනාට වඩා උසස් වෙමි යන මානය.
සෙය්‍යස්ස සදිසොහමස්මීති මානො - මම උසස් කෙනාට සමාන වෙමි යන මානය.
සෙය්‍යස්ස හීනොහමස්මීති මානො - මම උසස් කෙනාට වඩා පහත් වෙමි යන මානය.
සදිසස්ස සෙය්‍යොහමස්මීති මානො - මම සමාන කෙනාට වඩා උසස් වෙමි යන මානය.
සදිසස්ස සදිසොහමස්මීති මානො - මම සමාන කෙනාට සමාන වෙමි යන මානය.
සදිසස්ස හීනොහමස්මීති මානො - මම සමාන කෙනාට වඩා හීන වෙමි යන මානය.
හීනස්ස සෙය්‍යොහමස්මීති මානො - හීන කෙනාට වඩා උසස් වෙමි යන මානය.
හීනස්ස සදිසොහමස්මීති මානො - හීනයාට සමාන වෙමි යන මානය.
හීනස්ස හීනොහමස්මීති මානො - හීනයාටත් වඩා හීන වෙමි යන මානය.
මෙසේ මානය ආකාර නවයකින් සත්ත්වයාගේ සිත් සතන් තුළ උපදී.
මානයෙන් යුක්ත වූ තැනැත්තා උමතු වූවෙකු බඳුය. ඔහු තමා උසස් කොට සිතන්නේය, අන් අය පහත් කොට සිතයි. ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු නොකරන්නේය. වැඳිය යුතු පුද්ගලයන්ට නොවඳින්නේය. ආසනයෙන් නැගිටීම කළ යුතු අවස්ථාවන්වලදී ආසනයෙන් නැගිටින්නේ නැත. දෑත් එකතු කොට දොහොත් මුදුන් තබා වැඳිය යුතු පුද්ගලයාට දොහොත් මුදුන් දී වඳින්නේ නැත. වත්පිළිවෙත් කළ යුතු තැනැත්තාට වත්පිළිවෙත් කරන්නේ නැත. "මම උසස් ජාතියක කෙනෙක්ය" කියා ජාති මදයෙන් මත්ව සිටින්නේය. "මම ශක්තිමත්ය, බලවත්ය" කියා පුරුෂ මදයෙන් මත්ව සිටින්නේය. "මම බොහෝ කල් ජීවත්වන්නෙමි" යනුවෙන් ජීවන මදයෙන් මත්වන්නේය. "මම නීරෝගී කෙනෙක්මි" යනුවෙන් ආරෝග්‍ය මදයෙන් මත්වන්නේය. "මම යෞවනයෙක්මි" යනුවෙන් යොබ්බන මදයෙන් මත්වන්නේය.
මෙසේ මානයෙහි දෝෂ සලකා තාවකාලිකව මානය යටපත් කළ යුතුය, අබල දුබල බවට පත් කරගත යුතුය. ඉන්පසුව අරිහත් මාර්ගයෙන් මානය සම්පූර්ණයෙන්ම සිඳ දමන්නේය. මේ ගාථා දේශනාව අවසානයේදී එම භික්‍ෂුව රහතන් වහන්සේ කෙනෙක් බවට පත්විය.
පස්වන ගාථාව
නිදාන කතාව
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩවාසය කරති. ඒ කාලයෙහි එක්තරා බ්‍රාහ්මණ කෙනෙක් තමාගේ දියණියගේ විවාහ මංගල්‍යයේදී, පහත් යැයි සැලකෙන කිසියම් වසලයෙකු විසින් අතීතයේ පටන්ම පරිහරණය නොකරන ලද මල්වලින් දියණිය අලංකාර කොට, පති කුලයට යවන්නෙමි යි සිතුවේය. ඔහු සැවැත් නුවර නගරය ඇතුළතත් නුවරින් පිටතත් එසේ පරිහරණය නොකරන ලද කිසියම් මලක් ඇත්දැයි සොයන්නට විය. ඔහුට එබඳු තණකොළ ගසක හැදෙන මලක්වත් සොයා ගත නොහැකි විය.
මේ අතර නෝමනා දේවල් පිළිබඳව කතාබහ කරන අසංවර හැසිරීම් ඇති තරුණයින් පිරිසක් දක්නට ලැබුණේය. බ්‍රාහ්මණතුමා එම තරුණයන්ගේ සමීපයට ගොස් කිසිම පහත් මිනිසෙකු විසින් කිසිම දවසක පරිභෝග නොකරන ලද මල් වර්ගයක් තිබේදැයි ඇසුවේය. එවිට තරුණයෝ මෙම බ්‍රාහ්මණතුමාව විහිළුවට ගෙන එබඳු මල් වර්ගයක් ඇත, එම මල් වර්ගයේ නම "උදුම්බරා" යනුවෙන් ප්‍රකාශ කළහ.
එවිට බ්‍රාහ්මණතුමා පසුදින උදෑසනම ගඟ සමීපයට ගොස් ගඟේ එක තීරයක ඔබ මොබ යමින් උදුම්බරා ගස් බලමින් මල් සොයන්නට විය. මල් දක්නට ලැබුණේ නැත. සවස් කාලයේ ගඟේ අනික් පැත්තේ ඉවුරට ගමන් කොට, ගඟ අයිනේ තිබෙන උදුම්බරා ගස් පරීක්ෂා කර බලන ලදී. මල් දක්නට ලැබුණේ නැත.
ඉන්පසුව වනයට පිවිස උදුම්බරා මල් සොයන්නට විය. වනයේ එක්තරා භික්ෂුවක් උඩුකය සෘජුව තබාගෙන වාඩිවී භාවනායෝගීව වැඩ සිටියි. එම භික්‍ෂුව අසලට ගිය බ්‍රාහ්මණතුමා උදුම්බරා ගස් දෙස බලමින් වරින් වර ඉඳගෙනද සිටගෙනද උදුම්බරා ගස් දෙස බලන්නට විය. එම අවස්ථාවේදී එය දුටු එම භික්‍ෂුව මෙසේ විමසයි:
"ඔබ වටිනා යමක් සොයනවාද?"
"ඔව්, ස්වාමීනී, වටිනා යමක් සොයමි."
"ඔබ සොයන්නේ කුමක්ද?"
"ස්වාමීනී, මම උදුම්බරා මල් සොයමි."
"උදුම්බරා යනුවෙන් මල් විශේෂයක් නැත, වෙහෙසට පත් නොවන්න" යනුවෙන් එම භික්ෂුව දේශනා කළහ.
එවිට බ්‍රාහ්මණතුමා යථාර්ථය තේරුම් ගත්තේය. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ එම භික්ෂුවගේ සිත දැක ආලෝක කිරණ විහිදුවා පස්වන ගාථාවේ සිට අවසානය දක්වා ඇති සියලු ගාථා දේශනා කළ සේක.
“යො නාජ්ඣගමා භවෙසු සාරං, විචිනං පුප්ඵමිව උදුම්බරෙසු;
සො භික්ඛු ජහාති ඔරපාරං, උරගො ජිණ්ණමිව තචං පුරාණං.”
යම් භික්‍ෂුවක් මල් නෙළන්නෙකු දිඹුල් ගස්වලින් මල් නොලබන්නාක් මෙන් කාමාදී බවයෙහි සාරයක් නොලබන්නේ ද, එම භික්ෂුව උරගයෙකු දිරාගිය හැව අතහැර දමන්නාක් මෙන් ඕරපාරය හැර දමයි.
ධර්මාර්ථ විස්තරය
මෙම ගාථාවේ විස්තර කිරීම සඳහා විශේෂ දෙයක් ලෙස ඇත්තේ භවය පිළිබඳවයි. භවය යනු කර්මය හැඳින්වීමටද, ස්කන්ධ හැඳින්වීමටද යොදන වචනයකි. කර්මය කර්ම භවය යන නමින් හඳුන්වනු ලබයි. කර්මය නිසා හටගන්නා වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ උත්පත්ති භවය යන නමින් හඳුන්වනු ලබයි
.
කර්ම භවය
කර්ම භවය යනු කුමක්දැයි පෙර සඳහන් කරන ලදී. දිනක් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සමීපයට පැමිණියහ. ආදරයෙන්, ගෞරවයෙන් යුතුව වන්දනා කළහ. එකත්පසෙක වාඩි වී මෙසේ විමසූහ: "ස්වාමීනී, 'භවය, භවය' යනුවෙන් කියනු ලැබේ. කොපමණකින් භවය වේද?"
එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කළහ:
"ආනන්ද, කාම ධාතුවෙහි විපාක දීම පිණිස කර්ම නොවී නම්, කාම භවයක් පැනවිය හැකිද?"
"බැහැ, ස්වාමීනී" යනුවෙන් ආනන්ද තෙරුන් වහන්සේ පිළිතුරු ලබා දුන්හ. (භවපඤ්හ සූත්‍රය - අංගුත්තර තික නිපාතය)
මෙම දේශනාවට අනුව භවය යනු කර්මය බව මැනවින් පැහැදිලි වෙයි. කර්ම භවය කොටස් තුනකට බෙදෙයි:
1 කාම භවය - කාම ලෝකයෙහි විපාක දෙන කර්ම කාම භවය
නමින් හඳුන්වනු ලබයි.
2 රූප භවය - රූපාවචර බ්‍රහ්ම ලෝකවල විපාක දීමට තිබෙන කර්ම රූප භවය යන නමින් හඳුන්වයි.
3 අරූප භවය - අරූපාවචර බ්‍රහ්ම ලෝකවල විපාක දෙන කර්ම අරූප භවය යන නමින් හඳුන්වයි.
උපාදාන පච්චයා භවෝ
“තත්ථ කතමෝ උපාදානපච්චයා භවෝ? භවෝ දුවිධේන, අත්ථි කම්මභවෝ, අත්ථි උපපත්තිභවෝ. තත්ථ කතමෝ කම්මභවෝ? පුඤ්ඤාභිසංඛාරෝ අපුඤ්ඤාභිසංඛාරෝ ආනෙඤ්ජාභිසංඛාරෝ, අයං වුච්චති කම්මභවෝ, සබ්බම්පි භවගාමිකම්මං කම්මභවෝ. තත්ථ කතමෝ උපපත්තිභවෝ? කාමභවෝ රූපභවෝ අරූපභවෝ, සඤ්ඤාභවෝ අසඤ්ඤාභවෝ නේවසඤ්ඤානාසඤ්ඤාභවෝ, ඒකවෝකාරභවෝ, චතුවෝකාරභවෝ, පඤ්චවෝකාරභවෝ. අයං වුව්චති උපපත්තිභවෝ, අයං වුච්චති උපාදානපච්චයා භවෝ.”
මෙහි තේරුම මෙසේය :-
“උපාදාන හේතුවෙන් හටගන්නා භවය කවරේද? භවය දෙපරිද්දකින් දත යුතු ය. කර්මභවයෙක් ද ඇත. උපපත්තිභවයෙක් ද ඇත. එහි කර්මභවය කවරේ ද? පුණ්‍යාභිසංස්කාරය (පින් රැස්කිරීම) අපුණ්‍යාභිසංස්කාරය (පව් රැස් කිරීම) ආනෙඤ්ජාභිසංස්කාරය (අරූප ධ්‍යාන චිත්තය සහ චෛතසික )යන මෙය කර්මභවය යි කියනු ලැබේ. සකල භවගාමීකර්මය කර්මභවය ය. එහි උපපත්තිභවය කවරේ ද? කාමභවය, රූපභවය, අරූපභවය, සංඥාභවය, අසංඥාභවය, නේවසංඥානාසංඥාභවය, ඒකවෝකාරභවය, චතුවෝකාරභවය, පඤ්චවෝකාරභවය යන මෙය උපපත්තිභවය යි කියනු ලැබේ. මෙය උපාදාන හේතුවෙන් හටගන්නා භවය”යි කියනු ලැබේ.
(විභංගපාලිය)
06. යස්සන්තරතෝ න සන්ති කෝපා
ඉති භවාභවතං ච වීතිවත්තෝ
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං
යම් භික්‍ෂුවකගේ සිත තුළ කෝපය නැද්ද, ඉති භවාභවතාවය ඉක්මවා සිටියේද, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පැරණි හැව අතහැර දමන්නාක් මෙන් ඕරපාරය හැර දමයි.
ධර්මාර්ථ විස්තරය
මෙම ගාථාවෙහි පැහැදිලි කිරීමට ඇති කරුණු දෙකකි. කෝපය සහ ඉති භවාභවතාවය ඒ කරුණු දෙකයි. කෝපය ද්වේෂයටම අයත් වෙයි. ඒ පිළිබඳව සූත්‍රයේ පළමු ගාථාවෙහි ප්‍රමාණවත් විස්තර ඇතුළත් කරන ලදී. එබැවින් ඒ පිළිබඳව නැවත නොලියන්නෙමු.
ඉති භවාභව යනු කුමක්ද?
භවය යනු සම්පත්තියයි. විභවය යනු විපත්තියයි. භවය යනු වර්ධනය වීමයි. විභවය යනු පිරිහීමයි. භවය යනු ශාස්වත දෘෂ්ටියයි. විභවය යනු උච්ඡේද දෘෂ්ටියයි. භවය යනු පිනයි. විභවය යනු පාපයයි. භවය, අභවය යන වචන දෙකෙහිම අර්ථය එකයි. මෙම ගාථාවේ සඳහන් වෙන "භවාභවතඤ්ච වීතිවත්තෝ" යනු සම්පත්ති-විපත්ති, දියුණුව-හානිය, ශාස්වත-උච්ඡේද, පින-පව මෙසේ නොයෙක් ආකාරයෙන් විස්තර කරනු ලැබේ. මෙම වැරදි අදහස් මාර්ග ඥානයන්ගෙන් ප්‍රහාණය කළ යුතුය (උරග සූත්‍ර අට්ඨකථාව).
යස්ස විතක්කා විධූපිතා
අජ්ඣත්තං සුවිකප්පිතා අසේසා
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං
යම් භික්‍ෂුවක් විසින් අකුසල විතර්කයෝ සමනය කරන ලද්දේ වෙත්ද, තමාගේ සන්තානයෙහි සියලු විතර්ක මනාව සංසිඳුණාහු වෙත්ද, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පැරණි හැව අතහැර දමන්නාක් මෙන් ඕරපාරය අතහැර දමයි.
ධර්මාර්ථ විස්තරය
මෙම ගාථාවෙහි විතර්ක යනුවෙන් කාමාදී අකුසල විතර්ක විස්තර කරනු ලැබේ.
1කාම විතර්ක - රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව කැමැත්තෙන්, ආසාවෙන් යුතුව සිතීම.
2ව්‍යාපාද විතර්ක - අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි මුල්වී ඇතිවන තරහා සිතුවිලි.
3විහිංසා විතර්ක - අන් අයට ගහන්න, බනින්න, රවන්න, ඔරවන්න, එකට එක කරන්න, අතින් පයින් පහර දීමට, ගල් කැට කැබලිවලින් පහර දීමට, දඬු මුගුරුවලින් පහර දීමට, නින්දා කිරීමට, අපහාස කිරීමට, පීඩාවට, හිංසාවට පත් කිරීමට, කායිකව මානසිකව වෙහෙසට පත් කිරීමට ඇතිවන සිතුවිලි.
4පරානුදයතා පටිසංයුක්ත විතර්ක - අන් අය කෙරෙහි අනුකම්පා ස්වරූපයෙන් ඇතිවන කාම මිශ්‍රිත වූ විතර්ක. ලස්සන කෙනෙකු කෙරෙහි අනුකම්පා ස්වරූපයෙන් රාගයම ඇතිවී උපකාර කිරීමට සිතීම වැනි විතර්ක බව තේරුම් ගත යුතුය. ඥාතීන් කෙරෙහි අධික බැඳීම, දූ දරුවන් කෙරෙහි අධික බැඳීම, ප්‍රියමනාප පුද්ගලයන් කෙරෙහි අධික බැඳීම, ප්‍රියමනාප ස්ත්‍රීන් කෙරෙහි අධික බැඳීම, ප්‍රියමනාප සතුන් කෙරෙහි අධික බැඳීම මෙම සිතුවිලි කොටසට අයත්ය.
5ලාභ සක්කාර සිලෝක විතර්ක - ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදිය කෙසේ ලබා ගන්නේද, ප්‍රසිද්ධ වන්නේ කෙසේද ආදිය වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද ආදිය පිළිබඳ හිතන ස්වභාවය.
6අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතර්ක - ජාතියෙන් හෝ කුලයෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශිල්පයෙන්, ශාස්ත්‍රයෙන් හෝ අන් කරුණකින් හෝ අන් අය මා පහත් කොට නොසිතත්වා, පහත් කොට කතා නොකෙරෙත්වා, පහත් කොට බැහැර නොකෙරෙත්වා, උසස් කොට හෝ සම කොට හෝ සලකත්වා, මා පිළිගනිත්වා යි ඇතිවන තෘෂ්ණා සහගත වූ, මාන සහගත වූ හෝ මිථ්‍යා කල්පනාව “අනවඤ්ඤත්ති පටිසංයුක්ත විතක්ක” නම් වේ.
මෙම විතර්කයන්ගේ ආදීනව නුවණින් විමසා බලා ඒවා යටපත් කරගත යුතුය. පසුව,
කාම විතර්කය අනාගාමී මාර්ගයෙන්ද,
ව්‍යාපාද විතර්කය අනාගාමී මාර්ගයෙන්ද,
විහිංසා විතර්කය අනාගාමී මාර්ගයෙන්ද
ප්‍රහාණය කළ යුතුය.
අටවන ගාථාව.
යෝ නාච්චසාරී න පච්චසාරී
සබ්බං අච්චගමා ඉමං පපඤ්චං
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං
යම් භික්ෂුවක් අතිධාවනය නොකරන්නේද, පසු නොබසින්නේ වේද, ඒ හැම ප්‍රපංච ඉක්මවා ගියේ වේද, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පරණ හැව අතහැර දමා යන්නාක් මෙන් ඕරපාරය හැරදමයි.
ධර්මාර්ථ විස්තරය
මෙම අටවන ගාථාවේ අතිධාවනය කිරීම සහ පසුබැසීම යන කාරණා දෙකද, ප්‍රපංච දුරු කිරීම ගැනද සඳහන් වෙයි.
නාච්චසාරී යනු අතිධාවනය නොකිරීමයි.
න පච්චසාරී යනු පසු නොබැසීමයි.
ඒ පිළිබඳ අටුවාවෙහි මෙසේ විස්තර කර දී ඇත:
1.දැඩි වීරිය හේතුකොටගෙන සිත උද්දච්චයෙහි හෙවත් විසිරීමට පත්වෙයි; එය අතිධාවනය කිරීමය.
2 ලිහිල්ව ගන්නා ලද වීර්යය හේතුකොටගෙන සිත කුසීත බවට පත්වෙයි; එය පසුබැසීමයි.
3 ඒ ආකාරයෙන්ම භව තණ්හාවෙන් යුතුව තමාගේ ජීවිතය ක්ලාන්ත කරවීම අතිධාවනය කිරීමකි.
4 කාම තණ්හාවෙන් යුතුව කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදී වාසය කිරීම පසුබැසීමකි.
"6 ආත්මයක් ඇත, පුද්ගලයෙක් ඇත, සත්ත්වයෙක් ඇත, ජීවයක් ඇත" යනුවෙන් නිත්‍ය වූ දෙයක් ඇත යන ශාස්වත දෘෂ්ටියෙහි යෙදීම අතිධාවනය කිරීමකි.
7 "ආත්මය මරණින් මතු බිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මතු නොවන්නේය" යනුවෙන් සිතන උච්ඡේද දෘෂ්ටියෙන් යුක්ත වීම පසුබැසීමකි.
8 අතීතය ගැන සිතා ශෝක කිරීම අතිධාවනය කිරීමකි.
9 අනාගතය පිළිබඳව ප්‍රාර්ථනා කරමින් කල්ගත කිරීම පසුබැසීමකි.
10 පූර්වාන්තය පිළිබඳ දෘෂ්ටිය අතිධාවනය කිරීමකි.
අපරාන්තය පිළිබඳ දෘෂ්ටිය පසුබැසීමකි.
ධ්‍යාන බලයක් උපදවා ගන්නා ලද තාපසයෙක්, තමාගේ පෙර ජීවිත දකිමින් "එම පෙර ජීවිතවලින් මාගේ ආත්මය මෙසේ ක්‍රියාත්මක විය, මාගේ ආත්මය මෙසේ ක්‍රියාත්මක විය" ආදී වශයෙන් වැරදි සහගතව සිතීම පූර්වාන්ත දෘෂ්ටියයි. "මා මේ කරන දාන, සීල, භාවනා ආදියෙන් අනාගතයෙහි මෙබඳු කෙනෙක් වෙමි, දෙවියෙක් වෙමි, මිනිසෙක් වෙමි" ආදී වශයෙන් ආත්ම දෘෂ්ටිය ගැන සිතන ස්වභාවය අපරාන්ත දෘෂ්ටියයි.
මෙම අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙහි පිළිපැදීම අතිධාවනය නොකිරීම සහ පසුබැසීම යනුවෙන් හඳුන්වනු ලැබේ.
ප්‍රපංච
වේදනා, සංඥා, විතර්ක ප්‍රපංච යනුවෙන් හඳුන්වනු ලබයි. එසේම තණ්හා, දිට්ඨි, මාන ප්‍රපංච යනුවෙන්ද හඳුන්වනු ලබයි. මෙම සියලු ප්‍රපංච මධ්‍යම ප්‍රතිපදාවෙහි ගමන් කොට අරිහත් මාර්ග අවසානයෙහි ප්‍රහාණය කළ යුතුය, ඉක්මවිය යුතුය.
යෝ නාච්චසාරී න පච්චසාරී
සබ්බං විතථමිදන්ති ඤත්වා ලෝකේ
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං
යම් භික්ෂුවක් ලෝකය තුළ පවතින සියලු දෙය විතථ වශයෙන් දැන අතිධාවනය නොකරන්නේද, පසු නොබසින්නේ වේද, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පැරණි හැව හැර දමන්නාක් මෙන් ඕරපාරය අතහැර දමයි.
ධර්මාර්ථ විවරණය
මෙම ගාථාවේදී "සබ්බං" යනුවෙන් සියල්ල අදහස් කරයි. ස්කන්ධ, ධාතු, ආයතන ආදී සියලු සංඛත ධර්ම (හේතු-ඵල දහමින් හටගත් සියල්ල) "සබ්බං" යන වචනයෙන් අර්ථවත් කරයි. "තථ" යනු සත්‍ය වූ දෙයයි. "විතථ" යනු අසත්‍ය වූ දෙයයි. සත්‍ය බවින් තොර වූ, අසත්‍ය වූ දෙය විතථ නම් වෙයි.
නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, සුබ වශයෙන්, ආත්ම වශයෙන් ඒ ඒ ආකාරයෙන් ගන්නේ කෙලෙස් ඇති අඥාන ජනයාය. නමුත් සත්‍ය වශයෙන් නිත්‍ය වූ දෙයක්, ස්ථිර වූ දෙයක්, සුබ වූ දෙයක්, ආත්ම වූ දෙයක් නැත. එම ස්වභාවය විතථ යනුවෙන් හඳුන්වයි.
යම්කිසි කෙනෙක් විදර්ශනා නුවණින් ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ආදී ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන්නේ නම්, එය සත්‍ය වශයෙන් බැලීමකි. එසේ බලන තැනැත්තා අතිධාවනය නොකරන බවත්, පසු නොබසින බවත් මින් අදහස් කරයි. "නිත්‍යයි" කියා සිතන දෙය නිත්‍ය වන්නේ නැත; "සැපයි" කියා සිතන දෙය තුළ සැපයක්ද නැත; "සුබයි" කියා සිතන දෙය තුළ සුබ බවක්ද නැත; "ආත්මයි" කියා සිතන දෙය තුළ ආත්මයක්ද නැත. එසේනම් එය සත්‍යයක් වන්නේ කෙසේද යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා නුවණින් දැකීම මින් අදහස් කරයි.
යෝ නාච්චසාරී න පච්චසාරී
සබ්බං විතථමිදන්ති ඤත්වා ලෝකේ
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං
යම් භික්ෂුවක් ලෝකය තුළ පවතින සියලු දෙය විතථ වශයෙන් දැන අතිධාවනය නොකරන්නේද, පසු නොබසින්නේ වේද, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පැරණි හැව හැර දමන්නාක් මෙන් ඕරපාරය අතහැර දමයි.
ධර්මාර්ථ විවරණය
මෙම ගාථාවේදී "සබ්බං" යනුවෙන් සියල්ල අදහස් කරයි. ස්කන්ධ, ධාතු, ආයතන ආදී සියලු සංඛත ධර්ම (හේතු-ඵල දහමින් හටගත් සියල්ල) "සබ්බං" යන වචනයෙන් අර්ථවත් කරයි. "තථ" යනු සත්‍ය වූ දෙයයි. "විතථ" යනු අසත්‍ය වූ දෙයයි. සත්‍ය බවින් තොර වූ, අසත්‍ය වූ දෙය විතථ නම් වෙයි.
නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, සුබ වශයෙන්, ආත්ම වශයෙන් ඒ ඒ ආකාරයෙන් ගන්නේ කෙලෙස් ඇති අඥාන ජනයාය. නමුත් සත්‍ය වශයෙන් නිත්‍ය වූ දෙයක්, ස්ථිර වූ දෙයක්, සුබ වූ දෙයක්, ආත්ම වූ දෙයක් නැත. එම ස්වභාවය විතථ යනුවෙන් හඳුන්වයි.
යම්කිසි කෙනෙක් විදර්ශනා නුවණින් ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ආදී ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන්නේ නම්, එය සත්‍ය වශයෙන් බැලීමකි. එසේ බලන තැනැත්තා අතිධාවනය නොකරන බවත්, පසු නොබසින බවත් මින් අදහස් කරයි. "නිත්‍යයි" කියා සිතන දෙය නිත්‍ය වන්නේ නැත; "සැපයි" කියා සිතන දෙය තුළ සැපයක්ද නැත; "සුබයි" කියා සිතන දෙය තුළ සුබ බවක්ද නැත; "ආත්මයි" කියා සිතන දෙය තුළ ආත්මයක්ද නැත. එසේනම් එය සත්‍යයක් වන්නේ කෙසේද යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා නුවණින් දැකීම මින් අදහස් කරයි.
යෝ නාච්චසාරී න පච්චසාරී
සබ්බං විතථමිදන්ති වීතලෝභෝ
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං
යම් භික්ෂුවක් සියල්ල අසත්‍ය බව දැන, දුරුවූ ලෝභය ඇතුව අතිධාවනය නොකරන්නේද, පසු නොබසින්නේ වේද, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පැරණි හැව හැර දමන්නාක් මෙන් ඕරපාරය හැරදමයි.
මෙහි වීතලෝභය යනු තුන්වන ගාථාවේ තණ්හාව යනුවෙන් විස්තර කළ එකසිය අටක් වූ තණ්හාවේ දුරුවීමයි; හෙවත් දුරුකරන ලද තණ්හා ඇති බවයි.
එකොළොස්වන ගාථාවේ වෙනසකට ඇත්තේ වීතරාගය කියන වචනයයි. රාගය යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි ඇති තණ්හාවය; පංචකාම ගුණික රාගය හෙවත් කාමච්ඡන්දයයි.
දොළොස්වන ගාථාවේ වෙනසකට ඇත්තේ වීතදෝස යන වචනයයි. වීතදෝස යනු ද්වේෂයෙන් තොරවීමයි.
දහතුන්වන ගාථාවේ වෙනසකට ඇත්තේ වීතමෝහ යන වචනයයි. මෝහය යනු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධනොවීමයි. වීතමෝහ යනු මෝහයෙන් දුරුවීම හෙවත් මෝහයෙන් තොරවීමයි.
දහවන ගාථාවෙන්, එකොළොස්වන ගාථාවෙන්, දොළොස්වන ගාථාවෙන්, දහතුන්වන ගාථාව යන ගාථාවලින් පිළිවෙළින් ලෝකයේ ඇති සියල්ල නිත්‍ය, සුඛ, ආත්ම, සුභ යන ස්වභාවයන්ගෙන් හිස් බව දැනගෙන, දුරුකරන ලද ලෝභය ඇතුව, දුරුකරන ලද රාගය ඇතුව, දුරුකරන ලද දෝෂය ඇතුව, දුරුකරන ලද මෝහය ඇතුව, කටයුතු කරන තැනැත්තා අතිධාවනය නොකරයි. ලිහිල් වීර්යයක් හේතු කරගෙන පසුබැසීම සිදු නොකරයි යනුවෙන් දේශනා කළ සේක.
11. එකොළොස්වන ගාථාව
පාලි ගාථාව:
යෝ නාච්චසාරී න පච්චසාරී,
සබ්බං විතථමිදන්ති වීතරාගෝ;
සො භික්ඛු ජහාති ඕරපාරං,
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං.
අර්ථය සහ ධර්මාර්ථ විස්තරය:
යම් භික්ෂුවක් ලෝකය තුළ පවතින සියල්ල අසත්‍ය (විතථ) බව දැන, දුරු කරන ලද රාගය (වීතරාග) ඇතුව අතිධාවනය නොකරන්නේද, පසු නොබසින්නේ වේද, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පැරණි හැව හැර දමන්නාක් මෙන් ඕරපාරය හැරදමයි.
විශේෂ සටහන: මෙහි සඳහන් "වීතරාග" යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම ගුණ කෙරෙහි ඇති ඇලීම හෙවත් කාමරාගය සම්පූර්ණයෙන්ම දුරු කරගත් බවයි. කාමච්ඡන්දය යටපත් කරමින්, රාගයෙන් තොරව මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටීම මෙයින් අදහස් වේ.
12. දොළොස්වන ගාථාව
පාලි ගාථාව:
යෝ නාච්චසාරී න පච්චසාරී,
සබ්බං විතථමිදන්ති වීතදෝසෝ;
සො භික්ඛු ජහාති ඕරපාරං,
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං.
අර්ථය සහ ධර්මාර්ථ විස්තරය:
යම් භික්ෂුවක් ලෝකය තුළ පවතින සියල්ල අසත්‍ය බව දැන, දුරු කරන ලද ද්වේෂය (වීතදෝස) ඇතුව අතිධාවනය නොකරන්නේද, පසු නොබසින්නේ වේද, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පැරණි හැව හැර දමන්නාක් මෙන් ඕරපාරය හැරදමයි.
විශේෂ සටහන: මෙහි සඳහන් "වීතදෝස" යනු සිතෙහි හටගන්නා කෝපය, තරහව, ව්‍යාපාදය සහ අමනාපය යන සියලු ද්වේෂ සහගත ස්වභාවයන් මුලිනුපුටා දමා, මෛත්‍රියෙන් හා උපේක්ෂාවෙන් යුතුව මධ්‍යම ප්‍රතිපදාව තුළ ගමන් කිරීමයි.
13. දහතුන්වන ගාථාව
පාලි ගාථාව:
යෝ නාච්චසාරී න පච්චසාරී,
සබ්බං විතථමිදන්ති වීතමෝහෝ;
සො භික්ඛු ජහාති ඕරපාරං,
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං.
අර්ථය සහ ධර්මාර්ථ විස්තරය:
යම් භික්ෂුවක් ලෝකය තුළ පවතින සියල්ල අසත්‍ය බව දැන, දුරු කරන ලද මෝහය (වීතමෝහ) ඇතුව අතිධාවනය නොකරන්නේද, පසු නොබසින්නේ වේද, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පැරණි හැව හැර දමන්නාක් මෙන් ඕරපාරය හැරදමයි.
විශේෂ සටහන: මෙහි සඳහන් "වීතමෝහ" යනු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොවීම නමැති මෝහය (අවිද්‍යාව) සම්පූර්ණයෙන්ම නසා, ප්‍රඥාවෙන් ලෝකයේ යථාර්ථය දකිමින් අතිධාවනයෙන් හා පසුබැසීමෙන් තොරව අමා මහ නිවන කරා ගමන් කිරීමයි.
යස්ස අනුසයා න සන්ති කේචි
මූලා අකුසලා සමූහතාසේ
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං
යම් භික්‍ෂුවකට කිසිදු අනුසය ධර්මයක් නැද්ද, මූල නම් වූ අකුසල ධර්මයන් නසන ලද්දේ නම්, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පරණ හැව ඉවත් කරන්නාක් මෙන් ඕරපාරය හැරදමයි.
ධර්මාර්ථ විස්තරය
අප්පහීණට්ඨේන සන්තානේ අනුසෙන්තීති අනුසයා. ප්‍රහීණ නොවූ බැවින් චිත්ත සන්තානය තුළ නිදිගෙන සිටින්නා වූ ක්ලේශයෝ අනුසය නම් වෙති. අනුසය නමින් හඳුන්වන කෙලෙස් හතකි:
1කාමරාග අනුසය
2පටිඝ අනුසය
3මාන අනුසය
4දිට්ඨි අනුසය
5විචිකිච්ඡා අනුසය
6භවරාග අනුසය
7අවිජ්ජා අනුසය
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තූන් කෙරෙහි ඇති ආසාව, තණ්හාව, කාමච්ඡන්දය කාමරාග අනුසයයි. පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා උපදින්නා වූ පටිඝය, ව්‍යාපාදය, වෛරය, කෝපය, තරහ ආදිය පටිඝ අනුසයයි. "මම උසස් වෙමි, මම සමාන වෙමි, මම පහත් වෙමි" ආදී වශයෙන් පවතින මානය මාන අනුසයයි. සියලු මිථ්‍යා දෘෂ්ටි දිට්ඨි අනුසයයි. බුද්ධාදී අට තැනෙහි සැකය විචිකිච්ඡා අනුසයයි. රූපාවචර, අරූපාවචර ධ්‍යාන කෙරෙහි ඇති තණ්හාවද, රූපී-අරූපී බ්‍රහ්ම ලෝක කෙරෙහි ඇති තණ්හාවද, භවය ප්‍රාර්ථනා කිරීමද භවරාග අනුසයයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම අවිජ්ජා අනුසයයි.
අකුසල මූල
සියලු අකුසල ධර්මයන් හට ගැනීමට මුල්වන හේතු කාරණා තුනක් තිබේ. එම ධර්ම අකුසල මූල යන නමින් හඳුන්වනු ලබයි.
"තීණිමානි භික්ඛවේ අකුසලමූලානි. කතමානි තීණි? ලෝභෝ අකුසලමූලං, දෝසෝ අකුසලමූලං, මෝහෝ අකුසලමූලං." (අංගුත්තර තික නිපාතය)
මහණෙනි, අකුසල මූලයෝ තිදෙනෙකි. ලෝභය අකුසල මූලයකි. ද්වේෂය අකුසල මූලයකි. මෝහය අකුසල මූලයකි.
අකුසලයන් පිහිටා සිටීමට උපකාර වන බැවින් "මූල" යන නමින් හඳුන්වනු ලබයි. වැරදි සහගත වූ දුක් විපාක ලබා දෙන බැවින් "අකුසල" කියා හඳුන්වනු ලබයි. ලෝභ, ද්වේෂ, මෝහ වලට කියන නමක් බව පෙර සඳහන් කරන ලදී.
ලෝභය අකුසල මූලයක්ද වෙයි, අකුසලයක්ද වෙයි. ද්වේෂය අකුසල මූලයක්ද වෙයි, අකුසලයක්ද වෙයි. මෝහය අකුසල මූලයක්ද වෙයි, අකුසලයක්ද වෙයි.
15. යස්ස දරථජා න සන්ති කේචි
ඕරං ආගමනාය පච්චයාසේ
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං
යම් භික්‍ෂුවකට සක්කාය (පංචස්කන්ධය) ඉපදීමට හේතුවන, පළමුව පළමුව උපන් කෙලෙස් නම් වූ දරථයෙන් උපන් කෙලෙස් නැත්නම්, එම භික්ෂුව උරගයෙකු දිරාගිය පරණ හැව හැර දමන්නාක් මෙන් සසර ගමන අතහරි.
ධර්මාර්ථ විස්තරය
වනයෙන් උපන්නේ වනථජා වන්නාක් මෙන්, දරථයෙන් උපන්නේ දරථජා නම් වෙයි. පළමුවෙන්ම උපදින කෙලෙස් දැවීම් අර්ථයෙන් "දරථ" යන නමින් හඳුන්වයි. පළමුවෙන් පළමුවෙන් ඉපදී සිත දවන, තවන කෙලෙස් දරථ යන නමින් හඳුන්වන බව මින් පැහැදිලිය. එම දරථයෙන් උපන් කෙලෙස් දරථජා නම් වෙයි.
ඕරං යනු ස්වකීය ශරීරයට නමකි. "ඕරිමං තීරන්ති ඛෝ භික්ඛු සක්කායස්සේතං අධිවචනං" යනු ඕරිම තීරං යනු පංච උපාදානස්කන්ධයට කියන නමකි. ආගමනාය ...යනු උපතයි. පච්චයාසේ... යනු හේතුවයි.
මෙම කරුණු කුමක් නිසා කියන ලද්දේද? යම් පැවිද්දෙකුට දැඩි සේ ඇලුම් කිරීමට ඇති හේතු සෝවාන් ආදී මාර්ගඵලවලට පත්වීමෙන් නැති කර ගත හැකිය. මාර්ගඵලවලට පත් වූ තැනැත්තාට දරථජායයි දැක්වූ කෙලෙස් කිසිවිටෙකත් හටනොගනී. එම භික්‍ෂුව පෙර කියන ලද පරිදි සසර ගමන අතහරී.
යස්ස වනථජා න සන්ති කේචි
විනිබන්ධාය භවාය හේතුකප්පා
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං
යම්කිසි භික්ෂුවකට, තණ්හා සංඛ්‍යාත වනයෙන් උපන්, භව බන්ධනයට හේතුවන කිසිදු ක්ලේෂයක් නැත්නම්, ඒ භික්ෂුව උරගයෙකු පරණ හැව හැර දමන්නාක් මෙන් සසර හැර දමා නිවනට යයි.
ධර්මාර්ථ විස්තරය
වනථජා යනු "වනයෙන් උපන්" යන අර්ථය ඇති වචනයකි. මෙහි වනය යනු තණ්හාවට නමකි. සත්වයා විසින් සේවනය කරන නිසා, ඇසුරු කරන නිසා "වන" යන නමින් හඳුන්වයි. එසේම ලෝකයෙහි ඇති සියලු කෙලෙස්ද වනය යන නමින් හඳුන්වනු ලබයි. "වනං ඡින්දථ මා රුක්ඛං" - කෙලෙස් වනය සිඳින්න, ගස් නොකපන්න යන ධම්මපද පාඨයද මෙයට නිදසුනකි.
විනිබන්ධනාය භවාය.. යනු භවයට බැඳ තබන කෙලෙස්ය; හෙවත් නැවත ඉපදීමට හේතුවන කෙලෙස් මින් අදහස් කරයි. හේතුකප්පා යනු හේතු යන අර්ථය ඇති වචනයකි.
යෝ නීවරණේ පහාය පඤ්ච
ಅනීඝෝ තිණ්ණකථංකථෝ විසල්ලෝ
සෝ භික්ඛු ජහාති ඕරපාරං
උරගෝ ජිණ්ණමිව තචං පුරාණං
යම් භික්ෂුවක් පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය කොට, දුක් නැති වූයේ වේද, මාර්ගයෙන් ප්‍රහාණය කරන ලද සැක ඇත්තේ වේද, රාගාදී කෙලෙස් උල් උදුරා දැමූ, එම භික්ෂුව උරගයෙකු තම පැරණි හැව හැර දමන්නාක් මෙන් සසර හැර දමා නිවනට යයි.
ධර්මාර්ථ විස්තරය
පංච නීවරණ ධර්මයන් හිතවත් වූ පිළිවෙතක් වළක්වාලන නිසාද, සඟවන නිසාද, ආවරණය කරන නිසාද නීවරණ යන නම භාවිතා කරයි. නීවරණ ධර්මයන් සත්වයා අන්ධයකු බවට පත්කරයි; නුවණැස නැති කර දමයි; නිර්වාණය අවබෝධ කරගැනීමට මහත් බාධාවක් වෙයි.
අනීඝෝ යනු දුක් නැති බවයි.
තිණ්ණකථංකථෝ යනු "කෙසේද, කෙසේද" යන සැකය දුරුවීමයි, ඉක්මවා යාමයි.
විසල්ලෝ යනු උල් උදුරා දැමීමයි.
උල් නමින් හඳුන්වන කෙලෙස් පහකි: රාග උල, දෝස උල, මෝහ උල, මාන උල, දිට්ඨි උල. මෙම කෙලෙස් උල් උදුරා දැමූ භික්‍ෂුව සසර අතහැර දමා නිවනට යයි.
තථාගතයන් වහන්සේ විසින් අවසාන ගාථාවෙන් නීවරණ නැති කොට, දුක් රහිතව, සැක දුරු කොට, රාගාදී උල් උදුරා දමන ලද ඒ භික්ෂුව පැරණි හැව හැර දමන උරගයකු සේ සසරින් එතෙර වේ යැයි අරිහත් මාර්ගය අවසන් කරමින් දේශනාව නිම කළ සේක. මේ දේශනාව අවසානයේදී ඒ භික්ෂූහු අරිහත් ඵලයට පත්වූහ.