පොත් ලැයිස්තුව

උපපරික්ඛ සූත්‍රය

star_outline

(ඉතිවුත්තකපාලිය - තික නිපාතය)

​භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදී. අරිහත් වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මා විසින් මෙසේ අසන ලදී:

​"යථා යථා, භික්ඛවේ, භික්ඛු උපපරික්ඛෙය්‍ය, තථා තථාස්ස උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඤ්ඤාණං අවික්ඛිත්තං හෝති අවිසටං, අජ්ඣත්තං අසණ්ඨිතං අනුපාදාය න පරිතස්සෙය්ය. බහිද්ධා චස්ස විඤ්ඤාණේ අවික්ඛිත්තේ අවිසටේ සති, අජ්ඣත්තං අසණ්ඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතිං ජාතිජරාමරණ දුක්ඛසමුදයසම්භවෝ න හෝති."

​මහණෙනි, යම් යම් ආකාරයකින් භික්ෂුව සංස්කාර ධර්මයන් නුවණින් විමසීම කරන්නේද, ඔහුගේ විදර්ශනා සිත රූප ආදී බාහිර අරමුණු කෙරෙහි නොවිසිරුණේ වෙයි, නොපැතුරුණේ වෙයි, තමා තුළ (හෙවත් භාවනා කර්මස්ථානය තුළ) නොපිහිටියේ, (තණ්හා දිට්ඨි වශයෙන්) දැඩි සේ ග්‍රහණය නොකරගෙන (අනුපාදාය), තැති නොගන්නේද, ඒ ඒ ආකාරයෙන් භික්ෂුව නුවණින් විමසීම සිදු කරන්නේය. මහණෙනි, සිතක් බාහිර අරමුණෙහි නොවිසිරෙන විට, නොපැතිරෙන විට, අධ්‍යාත්මයෙහි හෙවත් භාවනා කමටහනෙහි නොපිහිටන විට, තණ්හා දිට්ඨි වශයෙන් නොගෙන, තැති නොගන්නා වූ භික්ෂුවට මතු ජාති, ජරා, මරණ දුක්ඛයන්ගේ හට ගැනීමක් නොවන්නේය.

උපපරික්ඛ සූත්‍රයේ වචනාර්ථ

​උපපරික්ඛෙය්‍ය: නුවණින් විමසීම, නුවණින් සම්මර්ශනය කිරීම, මෙම වචනයෙහි අර්ථයයි.

​අවික්ඛිත්තං: බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යන අරමුණුවල සිත් සිතුවිලි ඉපදීම් වශයෙන් සිතේ ඇතිවන විසිරීම නැති බව, සමාහිත බවයි.

​අවිසටං: යනු නොපැතිරීමයි. කෙලෙස් සහිත අරමුණුවලට ගමන් නොකිරීමයි. සමාහිත බවයි.

​යම්කිසි භික්ෂුවක් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසමින් විදර්ශනා වඩනවා යැයි සිතන්න. එසේ විදර්ශනා වඩන විට, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි ආදී බාහිර අරමුණු වෙතට සිත ගමන් කරන්නේ නැත්නම්, කෙලෙස් සහිත අරමුණුවල සිත පවතින්නේ නැත්නම්, එම අවස්ථාවේ පවතින්නේ සමාධිගත වූ සිතකි. එම සමාධිගත සිත ඉහත සඳහන් කරන ලද අවික්ඛිත්තං, අවිසටං යන වචනවලින් පැහැදිලි කර දෙයි.

​සමාධි භාවනා අරමුණක් සකස් කොට, හෙවත් පිළිවෙළකට නිරන්තරයෙන් මෙනෙහි කරන තැනැත්තාගේ සිත බාහිර අරමුණු වෙත සිත ගමන් කිරීම සිදු නොවේ නම්,. කෙලෙස් සහිත අරමුණුවල සිත නොපවතී නම්, එවිට උද්දච්චයට සිත නොයන්නේය. බාහිර අරමුණු තුළින් සිත නො විසිරෙන්නේය.

එසේම විදර්ශනා භාවනා කමටහනක් ඉතාම හොඳින් මෙනෙහි කරන තැනැත්තාට, අරඹන ලද වීර්යයෙන් මෙනෙහි කරන තැනැත්තාට සිතේ විසිරීම සිදු නොවන්නේය. මෙහිදී අදහස් කරන්නේ සමාධිගත සිතකින් සමථ භාවනාව හෝ විදර්ශනා භාවනාව හෝ වැඩිය හැකි මට්ටමට දියුණු වූ අවස්ථාවක් ගැනයි.

අජ්ඣත්තං අසණ්ඨිතං: ආධ්‍යාත්මයෙහි නොපිහිටීම. මෙහි ආධ්‍යාත්මය යනුවෙන් භාවනා කර්මස්ථානය සඳහන් වෙයි. නොපිහිටීම යනුවෙන් ථීනමිද්ධය තුළ නොපිහිටීම අදහස් කරයි. වීර්යය අඩුවීම් හේතු කරගෙන, සමාධිය බලවත් වීම හේතු කරගෙන, කුසීත බව යට කරගෙන සිත මනාව අරමුණු කරගත්තා වූ භාවනා ආරම්මණය තුළම පිහිටා තිබෙන්නේය. යන අර්ථය මින් අදහස් කරයි. මේ ආකාරයට විදර්ශනා වැඩීම පුරුදු කරගෙන යන කල්හි "එතං මම, ඒසෝ හමස්මි, ඒසෝ මේ අත්තා" යනුවෙන් "මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි" කියා තණ්හා දිට්ඨි වශයෙන් උපාදාන කර ගැනීම දුරුවෙයි. එම නිසාම තැති ගැනීමද දුරුවෙයි. ත්‍රිවිධ මානයද ප්‍රහාණය වෙයි. උද්දච්චය හෙවත් සිත විසිරීම කෙරෙහි යාමට නොදී, කුසීත බවටත් යාමට නොදී, ඒවායෙන් සිත වළක්වා, වීර්යය යොදාගෙන විදර්ශනා උපක්ලේශයන්ගෙන් සිත පිරිසිදු කරමින් මනාකොට විදර්ශනා ඥාන උපදවා ගැනීම, විදර්ශනා භාවනාව තුළ පිළිවෙත් පිරීම හෙවත් විදර්ශනා වැඩීම මෙහි අදහස් කරයි.

ගාථා විස්තරය

​මෙම අර්ථය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. එය ගාථාවලින්ද මෙසේ කියනු ලැබේ:

​"සත්තසංගපහීනස්ස,

නෙත්තිඡින්නස්ස භික්ඛුනෝ;

ඛීණෝ ජාතිසංසාරෝ,

නත්ථි තස්ස පුනබ්භවෝ."

​තණ්හා ආදී සත්වැදෑරුම් සංග හෙවත් කෙලෙස් ප්‍රහීණ කරන ලද, භව නෙත්ති යනුවෙන් හඳුන්වන තණ්හාව සිඳ දැමූ භික්ෂූන් පිළිබඳ උප්පත්ති සංසාරය ක්ෂය වූයේ වෙයි. එම නිසාම ඔහුට නැවත ඉපදීමක් නැත.

​මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. මා විසින් මෙසේ අසන ලදී.

​ගාථා විස්තරය:

​සංග යනුවෙන් හඳුන්වන කෙලෙස් ධර්මයෝ හත් දෙනෙක් වෙති. එනම්, තණ්හාව, දිට්ඨිය, මානය, ක්‍රෝධය, අවිද්‍යාව, කෙලෙස්, දුෂ්චරිත යන මේවාය. අනුසය ධර්ම හතද සංග යනුවෙන් අදහස් කරති. භව නෙත්තිය යනු තණ්හාවයි. ජාති සංසාරය යනු නැවත නැවත ඉපදීම් වශයෙන් පවතින, ඉපදීම හේතු කරගෙන පවතින්නා වූ සසර ගමනයි. එය ජාති සංසාරයයි. භව නෙත්තිය නසන ලද, ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කරන ලද රහතන් වහන්සේට නැවත ඉපදීමක් නැති බව මෙම සූත්‍රයේදී දේශනා කළහ.