පොත් ලැයිස්තුව

උපක්ලේස සූත්‍රය

star_outline

අංගුත්තර නිකාය චතුක්ක නිපාතය

​මහණෙනි, හිරුටත් සඳුටත් උපක්ලේශයෝ හතරකි. එම උපක්ලේශයන්ගෙන් අපිරිසිදු වූ විට හිරු සඳු දෙදෙනා බැබලීමට පත් නොවෙති. හිරු සඳු දෙදෙනාට ඇති එම උපක්ලේශ හතර මොනවාද?

  1. අබ්භා භික්ඛවේ චන්දිමසුරියානං උපක්කිලේසෝ

මහණෙනි, වළාකුළු සඳහිරු දෙදෙනාගේ උපක්ලේශයයි.

  1. මහිකා භික්ඛවේ චන්දිමසුරියානං උපක්කිලේසෝ

මහණෙනි, හිම සඳහිරු දෙදෙනාගේ උපක්ලේශයෝය.

  1. ​ධූමරාජෝ භික්ඛවේ චන්දිමසුරියානං උපක්කිලේසෝ

මහණෙනි, දුම සහ දූවිලි සඳහිරු දෙදෙනාගේ උපක්ලේශයයි.

  1. ​රාහු භික්ඛවේ අසුරින්දෝ චන්දිමසුරියානං උපක්කිලේසෝ

මහණෙනි, රාහු අසුරේන්ද්‍රයාද සඳහිරු දෙදෙනාගේ උපක්ලේශයයි.

​මෙම උපක්ලේශයන්ගෙන් අපිරිසිදු වූ විට සඳමඩල, හිරුමඩල බබලන්නේ නැත.

ඒවමේව ඛෝ භික්ඛවේ චත්තාරෝ සමණබ්‍රාහ්මණානං උපක්කිලේසා යේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨා ඒකේ සමණබ්‍රාහ්මණා න තපන්ති න භාසන්ති න විරෝචන්ති. කතමේ චත්තාරෝ?

​මහණෙනි, ඒ ආකාරයෙන්ම යම් උපක්ලේශයකින් අපිරිසිදු වූ යම්කිසිම සමණබ්‍රාහ්මණ කෙනෙක් හෝ බැබලීමට පත් නොවෙත්ද, භික්ෂුවකගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ හෝ ඒ උපක්ලේශයෝ හතර දෙනෙකි. ඒ කවර හතර දෙනෙක්ද යත්?

  1. ​සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සුරාමේරය පානය කරති. සුරාමේරයෙන් වෙන්ව වාසය නොකරති.
  2. සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේථුන ධර්මය සේවනය කරති. මේථුන ධර්මයෙන් වැළකී වාසය නොකරති.
  3. ​සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ රන් රිදී මුතු මැණික් පිළිගනිති. රන් රිදී පිළිගැනීමෙන් වැළකී වාසය නොකරති.
  4. සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙති. මිත්‍යා ආජීවයෙන් වැළකී වාසය නොකරති.

​මෙම උපක්ලේශයන්ගෙන් යුක්ත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බබලන්නේ නැත.

​රාගදෝසපරික්කිට්ඨා ඒකේ සමණබ්‍රාහ්මණා,

අවිජ්ජානිවුතා පෝසා පියරූපාභිනන්දිනෝ

​යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් රාගයෙන්ද දෝෂයෙන්ද එහෙට මෙහෙටද අදිනා ලද්දෝ වෙති. ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ආරම්මණෙහි විශේෂයෙන් ඇලුන ඒ පුරුෂයෝ අවිද්‍යාවෙන් වැසුනෝය.

​සුරං පිවන්ති මේරයං පටිසේවන්ති මේථුනං,

රජතං ජාතරූපඤ්ච සාදියන්ති අවිද්දසූ

​ඒ අන්ධබාලයෝ සුරාමේරය බොති. මේථුන දම් සේවනය කරති. රන් රිදී පිළිගනිති.

​මිච්ඡාජීවේන ජීවන්ති ඒකේ සමණබ්‍රාහ්මණා,

ඒතේ උපක්කිලේසා වුත්තා බුද්ධේනාදිච්චබන්ධුනා.

​සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙති. සූර්ය බන්ධු බුදුරජාණන් වහන්සේ විසින් මේවා උපක්ලේශයෝ යැයි දේශනා කරන ලදී.

​යේහි උපක්කිලිට්ඨා ඒකේ සමණබ්‍රාහ්මණා,

න තපන්ති න භාසන්ති අද්ධුවා සරජාපගා

​සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එම උපක්ලේශයන්ගෙන් කිලිටි වූවෝය. ස්ථීර නොවූ කෙලෙස් වැගිරෙන ඔවුහු බැබලීමට පත් නොවෙති. ගුණයෙන් දිලිසීමට පත් නොවෙති.

​අන්ධකාරේන ඕනද්ධා තණ්හාදාසා සනෙත්තිකා,

වඩ්ඪෙන්ති කටසිං ඝෝරං ආදියන්ති පුනබ්භවන්ති

​මෝහ අන්ධකාරයෙන් වැසුනා වූ තණ්හාවට දාස වූ භවරැහැන් සහිත වූ ඔවුහු ගොරෝසු වූ ආත්මභාවය වර්ධනය කරති. නැවත භවයෙහි ඉපදීම ගනිති.

ධර්මාර්ථ විස්තරය

​ජීවිතයේ ඇති බැබලීම නැති කරන කරුණු හතරක් මෙම දේශනාවේදී පැහැදිලි කොට ඇත. පැවිදි ජීවිතයක් ගත කරන අයගේ ජීවිත එම කරුණු හතරෙන් යුක්ත වන්නේ නම් බබලන්නේ නැත. සුරා පානය කිරීම, මේථුන ධර්මය සේවනය කිරීම, රන් රිදී පිළිගැනීම සහ මිථ්‍යා ආජීවයෙන් යුතුව ජීවත්වීම යන කරුණු හතර පැවිදි ජීවිතයට උපක්ලේශ වන අතර, සුරා පානය කිරීම, කාමයන්හි වරදවා හැසිරීම (වැරදි මේථුන ධර්ම සේවනය), වැරදි අයුරින් ධනය හෝ වස්තුව ලබාගැනීම සහ මිථ්‍යා ආජීවයෙන් යුතුව ජීවත්වීම යන කාරණා ගිහියාගේ ජීවිතයද බැබලීමට පත් නොවන තත්ත්වයට පත් කරයි.