අංගුත්තර නිකාය
පඤ්චක නිපාතෝ
ඒකං සමයං භගවා භද්දියේ විහරති ජාතියා වනේ. අථ ඛෝ උග්ගහෝ මෙණ්ඩක නත්තා යේන භගවා තේනුපංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ උග්ගහෝ මෙණ්ඩකනත්තා භගවන්තං ඒතදවෝච:
අධිවාසේතු මේ භන්තේ භගවා ස්වාතනාය අත්තචතුත්ථෝ භත්තන්ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන. අථ ඛෝ උග්ගහෝ මෙණ්ඩකනත්තා භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
අථ ඛෝ භගවා තස්සා රත්තියා අච්චයේන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන උග්ගහස්ස මෙණ්ඩකනත්තුනෝ නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. අථ ඛෝ උග්ගහෝ මෙණ්ඩක නත්තා භගවන්තං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි. අථ ඛෝ උග්ගහෝ මෙණ්ඩකනත්තා භගවන්තං භුත්තාවිං ඕනීතපත්තපාණිං ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ උග්ගහෝ මෙණ්ඩකනත්තා භගවන්තං ඒතදවෝච:
ඉමා මේ භන්තේ කුමාරියෝ පතිකුලානි ගමිස්සන්ති. ඕවදතු තාසං භන්තේ භගවා, අනුසාසතු තාසං භන්තේ භගවා, යං තාසං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
අථ ඛෝ භගවා තා කුමාරියෝ ඒතදවෝච: තස්මාතිහ කුමාරියෝ ඒවං සික්ඛිතබ්බං: යස්ස වෝ මාතා පිතරෝ භත්තුනෝ දස්සන්ති අත්ථකාමා හිතේසිනෝ අනුකම්පකා අනුකම්පං උපාදාය, තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියෝ පච්ඡානිපාතිනියෝ කිංකාරපටිස්සාවිනියෝ මනාපචාරිනියෝ පියවාදිනියෝති. ඒවං හි වෝ කුමාරියෝ සික්ඛිතබ්බං.
තස්මාතිහ කුමාරියෝ ඒවං සික්ඛිතබ්බං: යේ තේ භත්තු ගරුනෝ භවිස්සන්ති මාතාති වා පිතාති වා සමණබ්‍රාහ්මණාති වා, තේ සක්කරිස්සාම ගරුකරිස්සාම, මානිස්සාම, පූජෙස්සාම, අබ්භාගතේව ආසනෝදකේන පතිපූජෙස්සාමාති ඒවං හි වෝ කුමාරියෝ සික්ඛිතබ්බං.
තස්මාතිහ කුමාරියෝ ඒවං සික්ඛිතබ්බං: යේ තේ භත්තු අබ්භන්තරා කම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා, තත්ථ දක්ඛා භවිස්සාම අනලසා තත්‍රූපායාය වීමංසාය සමන්නාගතා අලං කාතුං අලං සංවිධාතුන්ති ඒවං හි වෝ කුමාරියෝ සික්ඛිතබ්බං.
තස්මාතිහ කුමාරියෝ ඒවං සික්ඛිතබ්බං: යෝ සෝ භත්තු අබ්භන්තරෝ අන්තෝජනෝ, දාසාතිවා පෙස්සාති වා කම්මකරාති වා, තේසං කතඤ්ච කතතෝ ජානිස්සාම, අකතඤ්ච අකතතෝ ජානිස්සාම, ගිලානකානඤ්ච බලාබලං ජානිස්සාම, ඛාදනීයං භෝජනීයං චස්ස පච්චයේන විභජිස්සාමාති. ඒවං හි වෝ කුමාරියෝ සික්ඛිතබ්බං.
තස්මාතිහ කුමාරියෝ ඒවං සික්ඛිතබ්බං: යං භත්තා ආහරිස්සති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා, තං ආරක්ඛේන ගුත්තියා සම්පාදෙස්සාම. තස්ස භවිස්සාම අධුත්තී අථේනී අසොණ්ඩී අවිනාසිකායෝති. ඒවං හි වෝ කුමාරියෝ සික්ඛිතබ්බං.
ඉමේහි ඛෝ කුමාරියෝ පඤ්චහි ධම්මේහි සමන්නාගතෝ මාතුගාමෝ කායස්ස භේදා පරම්මරණා මනාපකායිකානං දේවානං සහව්‍යතං උපපජ්ජතීති.
යෝ නං භරති සබ්බදා නිච්චං ආතාපි උස්සුකෝ
සබ්බකාමහරං පෝසං භත්තාරං නාති මඤ්ඤේති
න චාපි සොත්ථි භත්තාරං ඉච්ඡාචාරේන රෝසයේ
භත්තු ච ගරුනෝ සබ්බේ පටිපූජේති පණ්ඩිතා
උට්ඨාහිකා අනලසා සංගහීතපරිජ්ජනා
භත්තු මනාපා චරති සම්භතං අනුරක්ඛති
යා ඒවං වත්තතී නාරි භත්තුච්ඡන්දවසානුගා
මනාපා නාම තේ දේවා යත්ථ සා උපපජ්ජතී ති
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ භද්දිය නුවර ජාතියා වන නම් ස්වයංජාත වනයෙහි වැඩවාසය කරන සේක. එකල මෙන්ඩක සිටුතුමාගේ මුණුබුරා වූ උග්ගහ සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වැඳ එකත්පසෙක වාඩි විය. එකත්පසෙක වාඩි වූ මෙන්ඩක සිටුතුමාගේ මුණුබුරු උග්ග සිටුතුමා භාග්‍යවතුන් වහන්සේට මෙය ප්‍රකාශ කළේය.
"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේ දානය පිණිස තමන් වහන්සේ ප්‍රධාන භික්ෂූහු හතර නමක් මාගේ නිවසට වැඩම කරන සේක්වා."
භාග්‍යවතුන් වහන්සේ නිහඬව ආරාධනාව ඉවසූ සේක. එවිට මෙන්ඩක සිටුතුමාගේ මුණුබුරා වූ උග්ග සිටුතුමා භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ආසනයෙන් නැඟිට, භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කර, ප්‍රදක්ෂිණා කර නික්ම ගියේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ගෙවී යාමෙන් පසු පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍ර චීවර ගෙන, මෙන්ඩක සිටුතුමාගේ මුණුබුරා වූ උග්ග සිටුතුමාගේ නිවස යම් තැනකද එතැනට වැඩම කළහ. වැඩම කොට පනවන ලද ආසනයෙහි වැඩ සිටියහ. එකල්හි මෙන්ඩක සිටුතුමාගේ මුණුබුරා වූ උග්ග සිටුතුමා භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත වූ කෑමට සුදුසු ආහාරයෙන්ද, අනුභව කිරීමට සුදුසු ආහාරයෙන්ද සියතින්ම සන්තර්පණය කළේය, පැවරීය.
(එදින උග්ග සිටුතුමාගේ නිවසෙහි මහත් වූ මංගල අවස්ථාවකි. බොහෝ මිනිසුන් නිවසට රැස්වන දිනයකි. එම නිසා මහා සංඝරත්නය බොහෝ දෙනෙක් වැඩම කළහොත් උපස්ථාන කිරීම දුෂ්කරය. එබැවින් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂූහු හතර නමක් වැඩම කරවීමට තීරණය කළේය. මහා භික්ෂු සංඝයා මැද තම දියණියට අවවාද ලබාදීම අපහසුය. එබැවින්ද භික්ෂූන් වහන්සේලා සීමිත පිරිසක් වැඩම කරවීමට තීරණය කරන ලදී.)
ඉන්පසු මෙණ්ඩක සිටුතුමාගේ මුණුබුරා වූ උග්ග සිටුතුමා දානය වැළඳීමෙන් පසු පාත්‍රයෙන් ඉවත් කරන ලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේ දැන, එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් මෙණ්ඩක සිටුතුමාගේ මුණුබුරා වූ උග්ග සිටුතුමා භාග්‍යවතුන් වහන්සේට මෙය ප්‍රකාශ කළේය.
"ස්වාමීනී, මේ දූකුමරියෝ (දූවරු) පතිකුලයට යන්නාහ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මේ කුමාරිකාවන්ට අනුශාසනා කරන සේක්වා. ස්වාමීනී, යම්සේ ඔවුන්ට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින්නේ නම්, භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට එසේ අනුශාසනා කරන සේක්වා."
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ කුමාරිකාවන්ට මෙය දේශනා කළ සේක:
"කුමාරිකාවනි, ඔබලා මෙසේ හික්මිය යුතුයි. ඔබලාගේ දියුණුව කැමති, හිතවත් වූ, අනුකම්පා කරන්නා වූ මව්පියෝ අනුකම්පාව උපදවා ස්වාමිපුරුෂයෙකුට ඔබලා විවාහ කර දෙන්නේ නම්, ස්වාමියා අවදි වීමට පෙර අවදි විය යුතුය. සියලු දෙනාට පසුව නින්දට යා යුතුය. කුමක් කළ යුතුදැයි නුවණින් විමසා බලා කටයුතු කළ යුතුය. ස්වාමියාගේ සිත කැමති වන ආකාරයෙන් හැසිරිය යුතුය. ප්‍රිය වචන කතා කළ යුතුය. කුමාරිකාවනි, ඔබලා මෙසේ හික්මිය යුතුයි."
විශේෂ සටහන (අටුවාව ඇසුරින්):
විවාහක කාන්තාව විසින් සැමට පළමුවෙන්ම අවදි විය යුතුය. සියලු දෙනාට පසුව නිදා ගැනීම කළ යුතුය. ස්ත්‍රිය විසින් පළමුවෙන්ම ආහාරපාන අනුභව කොට, සයන (නිදන) ආසනයට ගොස් නිදා ගැනීම නොවටී. නිවසේ සිටින සියලු දෙනාට ආහාරපාන ආදිය ලබා දී, උපකරණ භාණ්ඩ ආදිය ආරක්ෂිතව තබා, හෙට දවසේ කළ යුතු කටයුතු පිළිබඳව නුවණින් විමසා බලා, (සියල්ලන්ගේ කටයුතු අවසන් වූ පසු) ඉතිරි භෝජන තිබේ නම් අනුභව කොට, සැමට පසුව නිදා ගැනීම වටියි.
නිදාගත් විටද සූර්යයා උදාවන තෙක් අධික ලෙස නිදා ගැනීම නොවටී. සියලු දෙනාට පළමුව අවදිවීම, දාස කම්කරු ආදීන් අවදි කරවා "මේ දේ කරව, මේ දේ කරව" යනුවෙන් ඔවුන්ට වැඩ පැවරීම් ආදිය කර ඔවුන් සේවයෙහි යෙදවීම කළ යුතුය. දෙනුන්ගෙන් කිරි දොවා ගැනීම් ආදිය තිබේ නම් ඒ දේවල්ද කළ යුතුය. දවසේ කළ යුතු වැඩකටයුතු නුවණින් විමසා බලා සංවිධානය කර ගැනීමද වටී. එබැවින් සැමට පළමුවෙන් අවදිවන ලෙස බුදුරජාණන් වහන්සේ අවවාද කළ සේක. කුමක් කළ යුතුද කියා නුවණින් විමසා බලා කළ යුතු කටයුතු නොපිරිහෙලා ඉටු කළ යුතුය. ස්වාමියාට ප්‍රියමනාප ආකාරයෙන්ම කතා කළ යුතුය.
දූ කුමාරිකාවනි, ඔබලා විසින් මෙසේ හික්මිය යුතුයි: ස්වාමිපුරුෂයාගේ මවට හෝ පියාට හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හෝ වෙනත් ගරු කටයුතු කෙනෙක් වේ නම්, ඔවුන්ට ඔබලා විසින් සත්කාර කරන්නෙමු, ගරු කරන්නෙමු, වත්පිළිවෙත් කරන්නෙමු, පුදන්නෙමු. (ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට) ආසන පිළියෙල කර දෙන්නෙමු, පා දෝවනය කිරීම සඳහා ජලය ලබා දෙන්නෙමු. කුමාරිකාවනි, ඔබලා මෙසේ හික්මිය යුතුයි.
කුමාරිකාවනි, ඔබලා මෙසේ හික්මිය යුතුයි: ස්වාමිපුරුෂයාට අයත් වූ උත්සාහයෙන් කළ යුතු එලුලොම් ගෙතුම් ගෙතීම් ආදියෙහිද, කපු නූල් සැකසීම් ආදියෙහිද, වෙනත් යම් අභ්‍යන්තරයෙහි හෙවත් නිවසෙහි කර්මාන්තයක් තිබේ නම් ඒවා කෙරෙහි දක්ෂයෝ විය යුතුයි; අලස නොවිය යුතුයි. නිවසේ ඇති කටයුතු කිරීමටද, එම කටයුතු සංවිධානය කිරීමටද හැකි විය යුතුයි. කුමාරිකාවනි, ඔබලා මෙසේ හික්මිය යුතුයි.
එහෙයින් කුමාරිකාවනි, ඔබලා විසින් මෙසේ හික්මිය යුතුයි: යම් කෙනෙක් ස්වාමිපුරුෂයාගේ නිවස අභ්‍යන්තරයේ සිටිත්ද, එනම් දාසයෝ වෙත්ද, මෙහෙකරුවෝ වෙත්ද, කම්කරුවෝ වෙත්ද, ඔවුන්ගේ කරන ලද කටයුත්ත (මෙය කරන ලදී යැයි) කළ අයුරින්ම දන්නෙමු; නොකළ කටයුතු (මෙය නොකරන ලදී යැයි) නොකළ අයුරින්ම දන්නෙමු. ගිලවූවන්ගේ (රෝගීන්ගේ) බල අබල භාවයද දන්නෙමු. කෑ හැකි දේ සහ පානය කළ හැකි දේ (ආහාර පාන ආදිය) ඔවු නොවුන්ට සුදුසු පරිදි බෙදා දෙන්නෙමු. කුමාරිකාවනි, ඔබලා විසින් මෙසේ හික්මිය යුතුයි."
එහෙයින් කුමාරිකාවනි, ඔබලා විසින් මෙසේ හික්මිය යුතුයි: ස්වාමිපුරුෂයා යම් ධනයක් හෝ, ධාන්‍යයක් හෝ, රිදී හෝ, රන් (මසුරන් කැබලි අමුරන් ආදී රත්න) හෝ ගෙන එයි නම්, ඒ සියල්ල හොඳින් ආරක්ෂා කොට ගුප්තව (සුරක්ෂිතව) තබා ගැනීමට කටයුතු කරන්නෙමු. ඒ ධනය නාස්ති නොකරන්නියෝ වන්නෙමු; සොරකම් නොකරන්නියෝ වන්නෙමු; මත්පැන් පානය නොකරන්නියෝ වන්නෙමු; ධනය විනාශ නොකරන්නියෝ වන්නෙමු. කුමාරිකාවනි, ඔබලා විසින් මෙසේ හික්මිය යුතුයි."
කුමාරිකාවනි, මේ ගුණධර්ම පහෙන් යුක්ත වූ කාන්තාවක් කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් සමඟ වාසයට පැමිණෙයි. හෙවත් මනාපකායික දෙවියන් අතර උපත ලබයි.
1. පළමු ගාථාව සහ අර්ථය:
යෝ නං භරති සබ්බදා නිච්චං ආතාපි උස්සුකෝ
සබ්බකාමහරං පෝසං භත්තාරං නාති මඤ්ඤේති
අර්ථය: යම් ස්වාමිපුරුෂයෙක් සැමකල්හි වීර්යය ඇත්තේ, උත්සාහවත් වූයේ, නිතර (තම භාර්යාව) පෝෂණය කරයි නම්, කැමති වන හැමදේම ලබා දී පෝෂණය කරයි නම්, නුවණැති ඇය ඒ ස්වාමියා හෙවත් තම පුරුෂයා ඉක්මවා යාමට (අගෞරව කිරීමට) නොසිතන්නීය.
2. දෙවන ගාථාව සහ අර්ථය:
න චාපි සොත්ථි භත්තාරං ඉච්ඡාචාරේන රෝසයේ
භත්තු ච ගරුනෝ සබ්බේ පටිපූජේති පණ්ඩිතා
අර්ථය: තවද, නුවණැති ඒ භාර්යාව සිතෙන දේ කරමින් ස්වාමියා කුපිත නොකරන්නීය; (කෝපයට පත් නොකරන්නීය) තවද, ස්වාමියාගේ මව්පියන් ආදී සියලු ගරුජනයෝ පුදන්නීය;[ ගරු කරන්නීය.]
3. තෙවන ගාථාව සහ අර්ථය:
උට්ඨාහිකා අනලසා සංගහීතපරිජ්ජනා
භත්තු මනාපා චරති සම්භතං අනුරක්ඛති
අර්ථය: (උදෑසනින්) අවදි වන්නීය, අලස නොවන්නීය, මෙහෙකරුවන් ආදී පිරිස මනාපයෙන් සංග්‍රහ කරන්නීය. ස්වාමියාට ප්‍රියජනක අයුරින් හැසිරෙන්නීය. (ගෙදරට) එකතු කරන ලද ධන ධාන්‍ය ආරක්ෂා කරන්නීය.
4. හතරවන ගාථාව සහ අර්ථය (අවසන් ගාථාව):
යා ඒවං වත්තතී නාරි භත්තුච්ඡන්දවසානුගා
මනාපා නාම තේ දේවා යත්ථ සා උපපජ්ජතීති
අර්ථය: යම් ස්ත්‍රියක් මෙසේ (ගුණධර්මවලින් යුතුව) කටයුතු කරන්නේ නම්, ස්වාමියාගේ කැමැත්ත අනුව හැසිරෙන්නා වූ, යම් දිව්‍ය ලෝකයක ඇය උපදින්නේ නම්, එම දෙවියෝ "මනාපකායික" (නිම්මානරති) නම් වෙති. (ඇය මරණින් මතු ඒ දෙවියන් අතර උපත ලබයි.)